පාස්කු වාර්තාවේ පිටු 1500ක් අපට දීලා නෑ – කාදිනල්තුමා

195

පාස්කු ඉරිදා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ මෘදු පිටපත රජය විසින් ලබාදී තිබූ නමුත් එහි සාක්ෂි ඇතුළත් පිටු 1500කට අධික ප්‍රමාණයක් අතුරුදන්ව ඇතැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි. පසුගිය සතියේ කොළඹ අගරදගුරු මන්දිරයේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති රැස්වීමේදී අදහස් දක්වමින් කාදිනල්තුමා ප්‍රකාශ කළේ රජය විසින් කොමිෂන් වාර්තාවේ මෘදු පිටපත සීඩී තැටි හයකින් ලබාදී ඇති බවයි.

“අප සහ අපගේ නීතිඥයන් විසින් ඒවා පරීක්‍ෂා කිරීමෙන් පසු ජනාධිපති වාර්තාවේ පිටු 70,000 කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බව අපට පෙනී ගියා. කෙසේ වෙතත් රජය පිටු 1500කට වඩා වැඩි ප්‍රමාණයක් අපට භාරදී නැහැ. සහරාන් හෂීම්ගේ බිරිඳ හාඩියා සහ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදී කණ්ඩායම් සමග ඉතා සමීපව ඇසුරු කළ ප්‍රධාන චරිතයක් වන සාරා ජෙස්මින් වැනි ප්‍රධාන සාක්ෂිකරුවන් විසින් ලබාදුන් සාක්ෂි මෙම අතුරුදහන් වූ පිටුවල අඩංගුවී ඇති බව පේනවා යැයි කාදිනල්තුමා පැවසීය.

“මෙම ඇමැතිවරුන් සහ නිලධාරීන් දිගින් දිගටම පවසන්නේ විමර්ශනවලින් සියයට 99ක් අවසන් බවත් ජනාධිපති වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව පල්ලිය තක්සේරු කර ඇති බවයි. ඔවුන්ගේ ප්‍රකාශවල කිසිම සත්‍යතාවක් නැහැ. දැන් ඔවුන් සහරාන් සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් දැන සිටි මුස්ලිම් ජාතිකයන් 23 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා. රජයේ බලධාරීන් දැන් උත්සාහ කරන්නේ ඔවුන්ව බිල්ලක් බවට පත්කිරීම සහ නඩුවේ සියලු පැති විමර්ශනය කිරීම හිතාමතාම නොසලකා හැරීම යැයි කාදිනල්තුමා පැවසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment