ඒරියාගම මාරක අනතුරින් එකම පවුලේ සිව්දෙනෙක් ජීවිතක්‍ෂයට

161

නවතා තිබූ කන්ටේනරයේ වෑන්රථය වැදිලා

තවත් සිව්දෙනකුට තුවාලයි

මක්කම වන්දනා කිරීම සඳහා ගුවන් ගමන් බලපත්‍ර සකස් කිරීමට කොළඹ ගොස් නැවත කහටගස්දිගිලියේ පිහිටි සිය නිවෙස් බලා එකම පවුලේ ඥාතීන් අට දෙනෙක් ගමන් ගත් වෑන් රථයක් පෙරේදා (03 දා) රාත්‍රී 12.10 ට පමණ අනුරාධපුර පාදෙනිය ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම ඒරියාගම ප්‍රදේශයේ ආපනශාලාවක් අසල මාර්ගය අයිනේ නතර කර තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් එහි ගමන් කළ අඹුසැමි යුවළක් ඇතුළු සිව් දෙනෙක් මරුමුවට පත්ව තවත් සිව්දෙනෙක් තුවාල ලැබූහ.

කහටගස්දිගිලිය, කිරාලගල පාරේ පදිංචි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇත. ඔවුන් වෑන් රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර වෑන් රථයට ඉදිරියෙන් එකම දිසාවට මන්නාරම බලා බීම ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයේ රියැදුරු තේ පානය සඳහා තලාව, ඒරියාගම ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක් ඉදිරිපිට මාර්ගය අයිනේ කන්ටේනර් රථය නතර කරනවාත් සමගම පසුපසින් ධාවනය කළ වෑන් රථය එහි පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ. ඒ අනුව වෑන් රථයේ රියැදුරුට එහි වේගය පාලනය කරගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන තඹුත්තේගම පොලිසිය පවසයි. කහටගස්දිගිලිය පල්ලිය පාරේ පදිංචිව සිටි හතළිස් හය හැවිරිදි මව්ලානා සෙයියදු අහමඩ් අස්සෙයියදු, තිස්හය හැවිරිදි සෙයිදු ආබ්දීන් වපා, හතළිස් තුන් හැවිරිදි සෙයිදු අහමදි මව්ලානා ආබ්දා සහ විසි හැවිරිදි අබ්දුල් රහුමාන් මොහොමඩ් රාසික් යන සිව්දෙනා මරුමුවට පත්ව ඇත. මේ අතර මෙම අනතුරින් කුඩා දරුවන් තිදෙනෙක් සහ වැඩිහිටි පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත. අනතුරට සම්බන්ධ කන්ටේනර් රථයේ රියැදුරු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඊයේ (04 දා) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, මිහින්තලේ – රංග චතූ සහ තිසර සමල් – එප්පාවල

advertistmentadvertistment
advertistmentadvertistment