එන්නත් මගඩිය: – සෞඛ්‍ය අතිරේක ලේකම්ගෙන් සීඅයිඩීය පැය 8ක් ප්‍රශ්න කරයි

88

එන්න කිව්වත් කෙහෙළිය ඇවිත් නෑ – කල් ඉල්ලයි

මතභේදාත්මක ප්‍රතිදේහ එන්නත් (ඉමියුනොග්ලොබියුලින්) ඖෂධ වංචා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාගෙන් ඊයේ (31 දා) පැය 8ක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. හෙට (02දා) යළි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් කර තිබිණි.

එහෙත් ඊයේ සවස් වනතුරුත් ඒ මහතා ප්‍රකාශ ලබාදීමට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ නැත. තමන්ට වෙනත් දිනයක් ලබාදෙන ලෙස රඹුක්වැල්ල මහතා ඉල්ලා තිබේ. මෙම ඖෂධ වංචා සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ඖෂධ සැපයුම්කරු මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් 07 දෙනකු බන්ධනාගාරගත කරනු ලැබ සිටී.

ඖෂධ වංචා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සිවිල් සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි බලපෑම් මේ වනවිට රජයට එල්ල වෙමින් පවතී.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment