ඌව – මධ්‍යම – සබරගමුව කැලෑ ගිනි තැබීම් 300ක්: අක්කර 2000ක් විනාශයි

81

අධික පෑවිල්ල මධ්‍යම කඳුකරය පුරා ගිනි ගැනීම් බහුලවීමට බලපා තිබේ.

ඌව, මධ්‍යම, සබරගමුව පළාත්වල ඊයේ (04 දා) වන විට ගිනි ගැනීම් සිද්ධීන් තුන්සියයක් ඉක්මවා වාර්තා වූ බවත් ඉන් අක්කර දෙදහසකට අධික රක්ෂිත ගිනි ගෙන ඇතැයි පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහතා පැවැසීය.

වන සතුන් දඩයම් කිරීම, විනෝදය, දැව ජාවාරම්, ගවයින්/ එළුවන් සඳහා නෑඹුල් තෘණ ලබා ගැනීමට ඇතුළු කාරණා නිසා ගිනි තැබීම් බහුලව සිදුවන්නේ යැයි ද ගිනි තැබීම් වැළැක්වීමට ප්‍රතිපත්තිමය තීරණ නොගැනීමට ගිනි තැබීම් බහුල වීමට බලපා තිබෙන බව ද හෙතෙම පැවැසීය.

වියළි කලාපය පුරා වාර්ෂිකව අක්කර විසි දහසකට අධික ප්‍රමාණයක් ගිනි තැබීම්වලින් විනාශයට පත්වෙයි. පෙබරවාරි, මාර්තු, අප්‍රියෙල් දක්වාත් සිදු කෙරෙන ගිනි තැබීම්වලින් අඩු වනාන්තර ප්‍රමාණයක්ද ජූලි, අගෝස්තු, සැප්තැම්බර් දක්වා සිදු කෙරෙන ගිනි තැබීම්වලින් වැඩි වනාන්තර ප්‍රමාණයක් විනාශයට පත් වෙයි. ගිනි තැබීම් මානව ක්‍රියාකාරම් නිසා සිදුවන බව හෙතෙම පැවැසීය.

පසුගිය වසර දෙක තුළ ගිනි තැබීම් රට පුරාම ඉහළ ගොස් තිබෙන බවත් කෘතිම වන වගා (පයිනස්/ඇකේෂියා/ටර්පන්ටයිම්) ආශ්‍රිතව ගිනි තැබීම් වර්ධනය වී තිබෙන බවත් හෙතෙම පැවැසීය. මිහිතල උෂ්ණත්වය ඉහළ යෑමේ අවදානමට ශ්‍රී ලංකාව මුහුණදී ඇති බවත් ඊට මුහුණදීමට පරිසර පද්ධති කළමනාකරණය, උෂ්ණත්වය නිසා සිදුවන අනාගත බලපෑම් පිළිබඳව අවධානයෙන් ගිලිහීම, උෂ්ණත්වයට මුහුණදීමට රට සූදානම් කිරීමේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම ප්‍රමාදය වර්තමානයේ උෂ්ණත්වයට රට මුහුණදීමට බලපා තිබෙන බවද ජයතිස්ස පැවැසීය.

වාර්ෂිකව ඊසාන දිග මෝසම් වැසි රටට ලැබෙන අවස්ථාවේදී නිරිත දිග කලාපයේත් නිරිත දිග මෝසම් වැසි රටට ලැබෙන අවස්ථාවේදී ඊසාන දිග කලාපයේත් ගිනි ගැනීම් සිදුවන බවද පැවැසීය. ගිනි තැබීම් හේතුවෙන් මධ්‍යම කඳුකරයේ නකල්ස් දොලොස්බාගේ සිංහරාජය දක්වා අඩු වැඩි වශයෙන් ගිනි තැබීම් සිදුවන බවද පැවැසීය.

වාර්ෂික ගිනි තැබීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට ආවේණික, ඒ ඒ වනාන්තරවලට ආවේණික ක්ෂීරපායී සතුන්, උරගයින් පක්ෂීන් පාංශු ජීවීන් ගණනය කළ නොහැකි සංඛ්‍යාවක් පරිසර පද්ධතියට අහිමි වන්නේ යැයිද කීය. මධ්‍යම කඳුකරයේ ඉදිරි සැප්තැම්බර් මාසය දක්වා ගිනි තැබීම් සිදුවන බව පෙර වසරවලදී සිදුවූ අත්දැකීම් අනුව සිදුවන්නේ යැයිද කී ගාමිණී ජයතිස්ස මහතා ගිනි තැබීම් වැළැක්වීමට ඒකාබද්ධ අමාත්‍යාංශ සහ නිලධාරීන්ගේ මැදිහත්වීම අවශ්‍ය බව ද පැවසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment