විද්දෙ පඳුරට-වැදුණෙ හාවට…නිකරුණේ වෙඩි කෑ කසුන්ගේ කතාව

224

රඹුක්කන සිද්ධියේදී වෙඩි තැබීම පිණිස අණදුන් හා එම නියෝගය ක්‍රියාත්මක කළ සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග නිකුත් කිරීමත් සමඟ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න ඇතුළු තවත් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එක් පුද්ගල මරණයක් සහ තවත් පිරිසක් තුවාලකරුවන් බවට පත් කරමින් නිමාවට පත්වූ රඹුක්කන සිද්ධියේ උණුසුම තවමත් සමාජය තුළින් වරින් වර මතුවෙමින් ඇත. එපමණක් නොව එම සිද්ධිය මුල්කර ගනිමින් අතුරු කතා කීපයක්ද වාර්තාවන අතර මෙම සටහන වෙන් වන්නේ එවැනි එක් අතුරු කතාවක් පිණිසය.

කසුන් 15 හැවිරිදිය. රඹුක්කන ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන කසුන් ඉකුත්දා රඹුක්කන සිසුවීම පිළිබඳ දැකබලා ගැනීම පිණිස තම පාසල් මිතුරන් කීප දෙනෙකුත් සමඟ එම ස්ථානයට ළඟාවන්නේ පාසල් වේලාවෙන් අනතුරුවය. නගරයේ කුමක් සිදුවේද යන්න පිළිබඳ කුතුහලයෙන් යුක්තව ඒ ස්ථානයට ළඟාවන කසුන් ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසට මුහුණදීමට සිදුවන්නේ ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකළ අනපේක්ෂිත සිදුවීමකටය. ප්‍රදේශය භාර ඉහළ පොලිස් නිලධාරියකුගේ අණ දීමකට අනුව ප්‍රදේශය දෙවනක් කරමින් පිටවෙන වෙඩි උන්ඩ සමූහයෙන් උණ්ඩ දෙකක් කසුන් සොයා පැමිණෙන අතර එය නතර වන්නේ කසුන්ගේ දකුණු අතටත් තුනටිය ප්‍රදේශයටත් දැඩි තුවාල සිදු කරමින්ය. විරෝධතාවය සිදුවූ ස්ථානයෙන් තරමක් දුර බැහැර වෙනත් ස්ථානයක සිට නගර මධ්‍යයේ සිදුවන දෙය නිරීක්‍ෂණය කරමින් සිටි කසුන් රඹුක්කන සිද්ධියෙන් තුවාල සිදුවූ පිරිසගෙන් එක් අයෙක් බවට පත්වන්නේ ඒ ආකාරයෙන්ය.

කෑගල්ල මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබූ කසුන් මේ වනවිට තරමක් සුවය ලබා සිය නිවස වෙත පැමිණ සිටින අතර තම පුතණුවන්ට සිදුවූ විපත පිළිබඳව කසුන්ගේ මෑණියන් මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කර සිටින්නේ තම පුතණුවන් හැකි ඉක්මනින් සුවපත් වනු දැකීම තම එකම අපේක්ෂාව බවත් ඒ සඳහා කළ හැකි යමක් වේ නම් තම පුතණුවන්ගේ නාමයෙන් හැකි ඉක්මනින් ඉටුකර දෙන ලෙසත්ය. කඳුළු පිරි දෙනෙතින් යුතුව ඇය වැඩිදුරටත් ඒ පිළිබඳ සඳහන් කර සිටින්නේ මේ ආකාරයෙන්ය.

එදා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවාට පස්සෙ පුතයි එයාගෙ යාළුවො කීප දෙනෙකුයි නගරයේ සිද්ධවෙන දේ බලන්න කියලා ගෙදරින් පිටත්වෙලා ගියා. මේ කට්ටිය විරෝධය පැවැත්වෙන ස්ථානය හොඳින් දර්ශනය වන වෙනත් ස්ථානයක නතර වෙලා ඉඳිද්දි තමයි මගේ පුතාගෙ අතටයි තුනටියටයි වෙඩි පාරවල් දෙකක් වැදිලා තියෙන්නෙ. එක උණ්ඩයක් පුතාගෙ දකුණු අතට වැදිලා. අනිත් උණ්ඩය වැදිල තියෙන්නෙ තුනටියට. ඒ හේතුවෙන් දකුණු අතට ගොඩක් හානිවෙලා තිබෙනවා. තුනටියෙ තුවාලයට මැහුම් හතක් ගැහුවා. දැන් සතියක් පාසා ක්ලිනික් යන්න ඕන. මගෙ පුතා ලබන අවුරුද්දෙ සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න දරුවෙක්. වෙඩි වැදිලා තියෙන්නෙ දකුණු අතට. එයා ලියන්න කියන්න භාවිතා කරන්නෙ දකුණු අත හින්ද පුළුවන්තරම් ඉක්මනට අත හොඳකර ගන්න ඕන. නැත්නම් මගේ පුතාගෙ අධ්‍යාපන කටයුතු මුළුමනින්ම අඩාළ වෙන්න ඉඩ තිබෙනවා. අපිට පුද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගන්න තරම් ආර්ථික ශක්තියක් නෑ. මගේ මහත්තයා කරන්නෙ මේසන් රස්සාව. මට රස්සාව නෑ. එහෙම වුණා කියලා කාටවත් වරදක් කරලා නැති මගේ අහිංසක දරුවගෙ අනාගතය අඳුරු වෙන්න ඉඩ දෙන්න එපා. පුළුවන් කෙනෙක් ඉන්නව නම් ඒ අය මූලික වෙලා මගෙ පුතාව හොඳ කරලා දෙන්න. අම්ම කෙනෙක් විදිහට මම ඉල්ලා සිටින්නෙ එච්චරයි.

ඇය හැඬූ කඳුළින් යුතුව සමාජයෙන් ඉල්ලා සිටින්නේ තම ඇස්දෙකවන් පුතණුවන් හැකි ඉක්මනින් සුවපත් කරදෙන ලෙසය. කසුන් මේ වනවිට පසුවන්නේ තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ගතයුතු මට්ටමකය. ඒ සඳහා සතියකට වරක් කෑගල්ල මහ රෝහලේ පැවැත්වෙන සායනය පිණිස සහභාගි විය යුතුය. කොහේවත් යන වෙඩි උණ්ඩයක් විසින් 15 හැවිරිදි පාසල් සිසුවෙකුට බරපතළ තුවාල සිදුකර ඇත්තේ ඒ ආකාරයෙන්ය. වෙඩි තබන ලද පුද්ගලයන් මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අත්අඩංගුවට ගත් පමණින් කසුන් සුවපත් වන්නේ නැත. සිදුව ඇති තුවාල හේතුවෙන් යම් හෙයකින් කසුන්ගේ එදිනෙදා කටයුතු මෙන්ම අධ්‍යාපන කටයුතු ආදියට යම් බලපෑමක් සිදුවේ නම් නීතියෙන් මෙන්ම හෘද සාක්ෂියෙන් නිදහස්වීම පිණිස වෙඩි තබන ලද පුද්ගලයන්ට කිසි විටෙකත් අවස්ථාවක් උදානොවනු ඇත.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment