විදුලිබල මණ්ඩලය තවමත් කරන්නෙ බොරුවක් – ජනක රත්නායක

104

මමත් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.

මේ රට ගොඩගන්න රාජ්‍ය පාලනය දන්න නායකයෙක් බිහිවිය යුතුයි

මහජනතාවට සේවය කරන්න ගිහින් රැකියාව නැති වුණා. ධනය නැති වුණා. නමුත් මම මහජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරනවා.

නඩුවලට වියදම් කරන්නෙත් මගේ පෞද්ගලික ධනයයි.

අධිෂ්ඨානයෙන් සහ උත්සාහයෙන් දියුණු වූ මිනිසුන් අපේ රටේ ඕනෑ තරම් ඇත. එවැනි මිනිසුන් අතරට ජනක රත්නායක කියන නම ද ඇතුළත් වේ. කොළඹ සිසාර, අහසට නැඟුණු සුපිරි නිවාස සංකීර්ණ කිහිපයකම හිමිකරු බවට පත්ව ඇති ඔහු සුපිරි හෝටල් ක්ෂේත්‍රයට ද නම ඇතුළත් කර ඇත. මේ ඔහු සම්බන්ධයෙන් ‘ඉරිදා දිවයින’ සිදුකරනු ලබන පසුවිපරමකි.

ප්‍රශ්නය – ඔබේ පාසල් කාලය, උසස් අධ්‍යාපනය වැනි තැනකින් පටන් ගත්තොත්?

පිළිතුර – අපේ පවුලේ අයියට පස්සෙ මම. මට පස්සේ නංගියි, මල්ලියි. මම හතරෙ පන්තියට වෙනකල් ගුරුදෙණියේ මධ්‍ය මහා විද්‍යාලයට ගියා. එතැන ඉඳලා විශ්වවිද්‍යාලයට යනකල් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙන ගත්තා. ධර්මරාජයට ගියාට පස්සේ දහයට යනකම් මම පන්තියේ අන්තිමයට දෙතුන් දෙනෙක් ඉස්සරහින් තමයි හිටියේ.

සාමාන්‍ය පෙළ කරන කාලේ අප්පච්චි වැඩ කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සරසවි උයන පෙට්‍රෝලියම් ශාඛාවේ. අප්පච්චි ඉස්කෝලේ නිවාඩු දවස්වල පිරිමි දරුවෝ තිදෙනා මාරුවෙන් මාරුවට ඔෆිස් එකට අරන් ගියා. එදා මගේ දවසේ අප්පච්චි මාව ඔඩිටෝරියම් එක ඇතුළට අරන් ගියා. මම විශ්වවිද්‍යාලය පුරාම ඇවිද්දා. විශ්වවිද්‍යාල ජීවිතය මොන තරම් අභිමානයක්ද? නිදහසක්ද, ගෞරවනීය ද කියලා ඒ අවස්ථාවේ මට හිතුණා. මම ඒ මොහොතෙම තීරණය කළා විශ්වවිද්‍යාලයට යනවමයි කියලා.

මම එදාම හිතුවා උසස් පෙළ අවසන් වනකම් මම වාණිජ පන්තියේ පළමුවැනියා වෙනවා කියලා. ඒ වගේම මම පළමුවැනියා වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටත් ඇතුළු වුණා. පාසලේ දී අවුරුදු දෙකේම උසස් පෙළ වාණිජ හොඳම ශිෂ්‍යයා වෙනවා. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් තෑග්ග ගත්ත මම ඊළඟ අවුරුද්දෙ රණසිංහ ප්‍රේමදාස මහතා අතින් තෑග්ග ගත්තා. විශ්වවිද්‍යාල ජීවිතයේත් මම අරගල කළා. අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව පන්නිපිටිය ධර්මපාලේ සිසුන්ව පාරට ගත්තෙ අපේ කණ්ඩායම. මාව පොලිසියට කොටු වුණා සති දෙකක් වැලිකඩ බන්ධනාගාරගතව සිටියා. මට නිදහසේ වටිනාකම දැනුනේ සති දෙකක් හරි සිරගතව සිටි නිසයි. මම එදා හිතා ගත්තා අරගලවලින් ඈත් වෙනවා කියලා. එළියට ආවේ වෙනස්ම පුද්ගලයෙක් ලෙසයි. ආපහු විශ්වවිද්‍යාලයට ගියා. ඒ අතරේ මට රුසියාවේ පුෂ්කිං සරසවියට ශිෂ්‍යත්වයක් ලැබුණා. එතැන් සිට මගේ ජීවිතයේ සියලු සැලසුම් හැදුවේ මමයි. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉන්න ගමන් ජෝසිම්ගේ කැසිනෝ ක්ලබ් එකේ ඩීලර් තනතුරක් අනුව වැඩ කළා. අවසන් වසරේ සිටි නිසා රෑට ක්ලබ් එකේ වැඩ. උදේට ලෙක්චර්ස්. මාසයට රුපියල් හයදාහක් විතර ලැබුණා.

පසුව මම Computer Link ආයතනයේ පරිගණක විකුණුම් විධායක ලෙස කටයුතු කළා. උපාධිය තිබුණට ඉංග්‍රීසි අඩුකම නිසා ජොබ් එක කරන්නත් බැහැ. මං තීරණය කළා සේරටම කලින් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන කියලා. ඒක මාස තුනකින් මම ඉංග්‍රීසි කතා කරන තැනට හදාගත්තා. කම්පියුර් ඉන්ඩස්ට්‍රි එකේ හොඳම සේල්ස් රෙප් බවට මම පත් වෙනවා. සොෆ්ට් ලොජික් සමූහයේ ආරම්භක සාමාජිකයෙක් වන මම පසුව 1993 දී ‘කොම්ප්‍රයුර් අයිලන්ඩ්’ කියලා බිස්නස් එකක් පටන් ගත්තා. මගේ අතේ ලක්ෂ පහයි තිබුණේ. ගේ උකස් කරලා ලක්ෂ තිහක ලෝන් එකක් අරගෙනයි මේ තැනට ආවේ.

අපේ අප්පච්චිගේ පසුගිය පරම්පරා දෙක, තුනම මත්පැන් සූදුවට නැහැ. මමවත් මගේ පුතාලවත් අරක්කු සිගරැට් බොන්නේ නැහැ. මේ හොඳ පුරුදු රැකගෙන ඕනා සමාජයක ඉන්න. 2008 දී මම මර්චන්ට් බැංකුවේ සභාපති බවට පත් වුණා. 1933ට පස්සේ ලෝකයේ දැඩි ආර්ථික අවපාතයක් එවක පැවැතියා. අපේ රටෙත් ආර්ථික අර්බුද ඇති වී තිබුණා. මූල්‍ය සමාගම් වැටුණා. ඒවා නඟා සිටුවන්න රජය මැදිහත්විය යුතු වුවත් මම සභාපතිවරයා ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයේ එකඟතාව මත කඩා වැටුණු මූල්‍ය සමාගම් නඟා සිටුවන්න මූල්‍ය පහසුකම් ලබාදුන්නා. මම නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයට එන්නෙත් වැටුණු සමාගම් ගොඩ දාලා ලැබුණු අත්දැකීම් එක්කයි. ඒ අනුව තමයි ‘ට්‍රිලියම්’ නම කියවෙන්නේ. ට්‍රිලියම් කියන්නේ පෙති තුනක මලක්. දැන් අපේ බ්‍රෑන්ඩ් එකක් විදියට පාවිච්චි කරනවා.

ප්‍රශ්නය – ඔබේ නම ඒ කියන්නේ ජනක රත්නායක කියන නම කරළියට එන්නේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවීමත් සමගද?

පිළිතුර – නැහැ. මම 2005 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ව්‍යාපාරිකයෙක් වශයෙන් උදව් කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාටත් උදව් කළා. ප්‍රශ්නය තියෙන්නේ අපේ රටේ සභාපතිකම් දෙන්නේ දක්ෂතාවය අනුව නෙවෙයි හිතවත්කම් අනුවයි. මගේ වෙනස මට දෙන ඕනම දෙයක් දෙන පුද්ගලයාට අවශ්‍ය විදියට නෙමෙයි මහජනතාවට ගැළපෙන විදියට ස්වාධීනව කිරීමයි. මම විශ්වවිද්‍යාලයේත් හැදෑරුවේ රාජ්‍ය පරිපාලනය නිසා මට දෙන වගකීම් ඉටු කිරීමටත් පහසු වුණා. මම කොහොමත් දේශපාලන බැඳීම් අනුව වැඩ කරන්න එතරම් කැමැත්තක් නැහැ. මම අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිව සිටිය දී ,”EXPO – 2012″ වෙළෙඳ ප්‍රදර්ශනය කළා. අපේ රටේ නිෂ්පාදන සහ කර්මාන්ත ලෝකෙට ගෙනියන්න විදෙස් ව්‍යාපාරිකයෝ දාහකට වඩා ලංකාවට ගෙනාවා. අවශ්‍ය ප්‍රවර්ධන කටයුතු කළා. අපේ රටේ අපනයනකරුවන්ට ඒ ප්‍රදර්ශනය ඉතාමත් වැදගත් වුණා. ඒ වගේම සිලෝන් කියන “Ceylon” නාමය ලෝකය හමුවේ ලියාපදිංචි කළෙත් මමයි.

ප්‍රශ්නය – ඔබ මොන තනතුරු දැරුවේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිකම ලැබුණේ හිටපු ජනාධිපති ගෝඨාභය මහතාගේ මැදිහත්වීම නිසා නේද?

පිළිතුර – නැහැ. මම 2015, 2010, 2019 යන කාලවල සිට පැවැති රජයන් සමග හිටියා. මාව ඈත් කරලා. මගේ සම්බන්ධතා නැති කළේ ඒ කාලේ මගේ කාර්යාලයට මාව මුණගැහෙන්න ඇවිත් හිටපු කෙනෙක්. එයා එදා සම්බන්ධීකරණ නිලධාරියා. ඒ දවස්වල මගේ ඔෆිස් එකට ඇවිත් එයා මාව හමුවෙනවා. මට සභාපතිකම දුන්නේ අවුරුදු 20ක් රාජපක්ෂලත් එක්ක හිටපු නිසයි. ගෝඨාභය මහතාට, අගමැතිට, කැබිනට් මණ්ඩලයට ගෙදර යන්න වුණේ පැය 10ක් 12ක් විදුලිය කපන්න සිදු වූ නිසයි.

ප්‍රශ්නය – මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස ඔබ ජනතාවගේ විදුලි බිල අඩු කිරීමට කුමන දායකත්වයක් දැරුව ද?

පිළිතුර – විදුලි බිල මාස 08 ක් ඇතුළත තුන්පාරක් වෙනස් කළා. 2022 අගෝස්තු මාසේ විදුලි ගාස්තු සියයට දෙසිය පනහකින් (250%) වැඩි කරන්න ඉල්ලා සිටියා. අපි දුන්නේ සියයට 75කින් වැඩි කරන්නයි. අපි ඉල්ලපු දේ දුන්නේ නැති නිසා අවුරුද්දකට විදුලි බිල දෙවරක් සංශෝධනය කරන්න ඕන කිව්වා. අපි විදුලිය ගැන තීන්දු, තීරණ ගන්න වසර 05 කට පෙර සිට සැලසුම් හදලා දීලා තිබුණේ. පසුගිය ජනවාරි 09 වැනිදා විදුලි බිල වැඩි කළා. කැබිනට් මණ්ඩලයට ස්වාධීන කොමිසම තීරණ ගන්න බැහැ ඒක වැරදියි. පෙබරවාරි 14 වැනිදා මමයි කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රටේ නැති අවස්ථාවක කොමිසමේ ඉතිරි සාමාජිකයින් තුන්දෙනා එකතු කරගෙන සියයට 65කින් විදුලි බිල වැඩි කළා. අපි කිව්වේ සියයට 25කින් වැඩි කරන්න කියලා. සියයට 65කින් ඉහළ නැංවීමට එරෙහිව මම හඬනැඟුවා. දැන් ජූලි මාසේ සියයට 14 කින් විදුලිබිල අඩු කරන්න තීරණය කරළා. එදා මම පෙන්නපු දේ හරි කියලා දැන් තේරෙනවා ඇති. මට තේරෙන විදියට විදුලිබල මණ්ඩලය බිල තවත් අඩු කරන්න පුළුවන්කම තියෙන නිසා මිල අඩු කිරීම බොරුවක්.

මම විදුලි බිල වැඩි කරන්නට විරුද්ධ වෙන්නේ මට මහල් නිවාස සංකීර්ණ තියෙන නිසා කියලත් කිව්වා. මට මහල් නිවාස තිබුණට ඒ වගේ විදුලි, ජල බිල් ගෙවන්නේ ඒවා පරිහරණය කරන උදවියයි. ඒ නිසා ඒ චෝදනාව මට අදාළ නැහැ. මම කිසිම දවසක ලැබුණු තනතුරුවලට නොගැළපෙන දේවල් කරලා නැහැ.

ප්‍රශ්නය – ඔබ මොනව කිව්වත් ඔබේ වැරදි ක්‍රියා කලාපයන් නිසා නේද ඔබව ඉවත් කළේ

පිළිතුර – මාව ඉවත් කළේ වැරදි නිසා නොවෙයි. මම ලක්ෂ 50ක අඩු ආදායම් ලබන අය වෙනුවෙන් පෙනී සිටියා. මට වැරදි චෝදනා එල්ල කරලයි මාව ඉවත් කළේ. අපේ රටේ ප්‍රථම වතාවට තමයි කොමිසමක සභාපතිවරයෙක් ඉවත් කරන්න පාර්ලිමේන්තුව දවසක් රැස්වෙලා කළේ. මාව ඉවත් කරන්න පාර්ලිමේන්තුවේ කටයුතු කරමින් සිටියත් මාව තබාගැනීමට වැඩි පිරිසක් එදා හිටියා. නමුත් මාව ඉවත් කරන්න වැඩි ඡන්දය ලබාගන්න ඇමරිකාවේ ඉඳලා එක්කෙනෙක් ආවා. ඔහු ඇවිත් තමයි මාව ඉවත් කරන්න වැඩසටහන ක්‍රියාත්මක කළේ. ණය ප්‍රතිව්‍යුහගත කරන්න ආණ්ඩුවට ඡන්ද 122ක් හා විරුද්ධව ඡන්ද 63ක් ලැබෙන කොට මාව ඉවත් කරන්න ආණ්ඩුවට ඡන්ද 123ක් ලැබිලා විරුද්ධව 67ක් ලැබුණා. ඒ කියන්නේ මාව ඉවත් කරනවාට 67 දෙනෙක් විරුද්ධ වුණයි කියන එකයි.

මේක අනෙකුත් ස්වාධීන කොමිසන්වලටත් බලපානවා. ඒ නිසා ඉදිරියේදීවත් ස්වාධීන කොමිෂන්වලට අත තියන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. රටේ අලියෙක් බලා ගන්න බැහැ. බිත්තරයක මිල තීරණය කරගන්න බැහැ. පුවත්පතක් ගත්තොත් ඖෂධ හිඟයේ ඉඳලා ප්‍රශ්න වැලක්. මේවාට විසඳුම් නොදී මාව ගෙදර යවන එක ලොකු වුණා ඒක ජනතාව තේරුම් ගනීවී.

මේ රට ණය උගුලෙන් ගලවා ගන්න ඕන. IMF‍ හෝ වෙනත් ක්‍රම මගින් ණය අරගෙන රට ගොඩ ගන්න බැහැ. ණය ගෙවන ක්‍රමයක් ගැන හිතන්න ඕන. වසර 75ක් තිස්සේ මේ රටේ ජනතාව දුක් විඳින්නේ පාලකයෝ කරපු වැරදි නිසයි. ලෝක බැංකුවෙන් මිලියන 750 ක ණයක් ලැබෙනවා කියන කොටම මට බයක් දැනුණා. මේ ණය අපි ගෙවන්න එපැයි. මෙහෙම ගියොත් ණය ප්‍රමාණය ජාතික ආදායමටත් එහා යයි. ණය ගැනීම වෙනුවට සංචාරක ව්‍යාපාරය ඇතුළු රටට නව ආයෝජන වැඩි කර ගැනීමයි කළ යුත්තේ. මේ 225 ඉවත් කරලා රාජ්‍ය පරිපාලනය දන්න කෙනෙක් රටට පත්කර ගත යුතුයි. රජය හිඟා නොකා, ණය ගෙවන ක්‍රමයක් සකස් කළ යුතුයි.

ප්‍රශ්නය – ඔබතුමාට එල්ල වන චෝදනාවක් තමයි හෙලිකොප්ටර් පක්ෂයේ සාමාජිකයෙක් වීමට උත්සාහ දරනවා කියලා.

පිළිතුර – මම කිසිම කෙනෙකුට අවශ්‍ය විදියට නටන රූකඩයක් නොවෙයි. මම රූකඩ නටවන්නෙක්. හෙණ්ඩුවකින්වත්, මලකින්වත්, දුරකථනයෙන්වත් මාව නටවන්න බැහැ. මම නටවන්නේ මට ඕන විදියටයි. එදා ඉඳලම එහෙමයි මම කටයුතු කරලා තියෙන්නේ.

ප්‍රශ්නය – ඔබ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ඇඳුමට සමානව ඇඳගෙන මොකක් හරි පෙරළියක් කරන්න හදනවාද?

පිළිතුර – ඔව්. මම ඊළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙනවා. ඒ මහජනතාවගේ නියෝජිතයා හැටියටයි. ඒ සඳහා අවශ්‍ය අඩිතාලම මේ වනකොට මම සකස් කරගෙන යනවා. මේ වනවිටත් මට පක්ෂ, පාට, ජාති, ආගම් භේදයකින් තොරව සහාය ලබාදීමට ඇතැම් පිරිස් එකඟතාවය පළ තිබෙනවා. මම එන්නේ මගේ සල්ලි වියදම් කරලයි. මම කාගෙවත් සල්ලි හොරකම් කරන්න, වංචා කරන්න එන්නේ නැහැ. මට එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. මම දැනටමත් බිලියනපතියෙක්. ජනක රත්නායක කියන නමටයි ජනතාව එකතු වෙන්න ඕන.

සමෘද්ධිය, අස්වැසුම වැනි විවිධ නම්වලින් ජනතාවට සහන දෙන එක හොඳයි. නමුත් ඒ ක්‍රමවේදය අසාර්ථකයි. රජයක් වුණාම කරන්න ඕන ජනතාව ආදායම් උපයන පිරිසක් බවට පත් කළ යුතුයි. තමන්ගේ කැපවීමෙන් ජීවත් විය හැකි පිරිසක් නිර්මාණය කළ යුතුයි. රටවල් දියුණු වෙලා තියෙන්නේ එහෙමයි. ජනතාව නඟා සිටෙව්වම රට දියුණු වෙනවා. මම මේ සියලු දේවල් සිදුකරන ආකාරය පිළිබඳව “සුසුමාදර්ශී” නමින් ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර තිබෙනවා. එය ජනතාව වෙනුවෙන් ජනගත කළාම ජනතාවට දැකගන්න පුළුවන්. මහජන උපයෝගිතා කොමිසමේ සිටි කාලය තුළ විදුලි, ජල, වෑල්ඩිං ඇතුළු වෘත්තීන් කිහිපයකට NVQ සහතිකලාභීන් බිහිකරන්න ප්‍රතිපාදන ලබා දුන්නා. ඉන් 25,000 ක් පමණ NVQ ලාභීන් රටේ බිහි වුණා. ඇතැම් පිරිස් දැන් විදෙස්ගත වී විදේශ විනිමය උපයනවා.

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ රටේ ඉන්නේ ජනමතයක් නැති නායකයෙක්. ඒත් එය මහජනතාව වෙනුවෙන් ව්‍යවස්ථානුකූලවයි පත්කර තිබෙන්නේ. වැඩ කළ නිසා මගේ රැකියාව අහිමි වුණා. ධනය නැති වුණා. නමුත් මේ කිසිම දෙයකින් මම සැලෙන්නේ නැහැ. මට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. මම කුඩාකල සිටම ඒ ආත්ම විශ්වාසය ඇතිව හැදී වැඩුණු අයෙක්. මට යන්න හිතුණොත් මම ඒ තැනට මේ වනතෙක් ගිහින් තියෙනවා. තවත් ඉදිරියට යන්න ඕනා කියලා හිතිලා තියෙනවා. මම ඒ තැනටත් යනවා. ඒ යන්නේ මේ ජනතාවගේ බහුතර කැමැත්තෙන් කියලත් කියන්න කැමැතියි.

සාකච්ඡා කළේ –
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment