අප වටා ගොඩගැහෙන පොලිතින් – ප්ලාස්ටික් නියාමනයේ වැදගත්කම

804

තනි – භාවිත ප්ලාස්ටික (Single-Use Plastic or SUP) ඉවත දැමීමට පෙර එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් තනි – භාවිත ප්ලාස්ටික් ලෙස හඳුන්වයි. නමුත් ඇතැම් තනි – භාවිත ප්ලාස්ටික් නිෂ්පාදන ඉවත දැමීමට පෙර කෙටි කාලයක් තුළ නැවත පරිභෝජනය සඳහා භාවිතා කරනු ලැබේ.

තාක්ෂණික සංවර්ධනයට සමගාමීව වර්තමාන ලෝකයේ මිනිසුන් තම එදිනෙදා ජීවිතයේදී ක්‍රියාකාරකම් සරල සහ පහසු ආකාරයට සිදුකරන නවෝත්පාදනයන් සොයා ගැනීමට පෙළඹී තිබේ. බොහෝවිට තනි – භාවිත ප්ලාස්ටික් ඇසුරුම් සහ දවටන, ආහාර සහ ජලය වැඩි කාලයක් නැවුම්ව පිරිසිදුව තබා ගැනීම සඳහා භාවිතා කරනු ලැබේ. එහි ආරක්ෂාව, නම්‍යශීලී බව සහ ලාභදායීතාවය හේතුවෙන් මෙම වර්ගයේ ප්ලාස්ටික් ඇසුරුම්, දවටන සහ විවිධ නිෂ්පාදන පහසු භාවිතයන් සඳහා තෝරා ගන්නා ලද ද්‍රව්‍ය ලෙස සැලකේ. කෙසේ වෙතත්, එක් වරක් භාවිතා කරන ප්ලාස්ටික් වැනි දිරාපත් නොවන ප්ලාස්ටික් සේම සමහර සොයාගැනීම් ඉතා ප්‍රයෝජනවත් ලෙස සලකනු ලැබුවත් නිෂ්පාදනය හෝ පරිභෝජනය ශීඝ්‍ර ආකාරයට වැඩිවී පරිසරයේ ජෛව හා අජෛව සංරචකවලට ද සෘජු ලෙස හා වක්‍ර ලෙස විනාශකාරී බලපෑම් ඇති කිරීමට පටන්ගෙන තිබේ.

ප්ලාස්ටික් ගෑරුප්පු සහ පිහි, ප්ලාස්ටික් ග්‍රොසරි බෑග්, ප්ලාස්ටික් කෝප්ප සහ කෝප්ප ආවරණ, ප්ලාස්ටික් වතුර බෝතල්, ප්ලාස්ටික් බහාලුම් සහ ප්ලාස්ටික් බීම බට වලින් සමහරක් තනි – භාවිත ප්ලාස්ටික් වලට උදාහරණ වේ. කන් පිරිසිදු කිරීමට භාවිතා කරන කපු පුළුන් බඩ් සහිත ප්ලාස්ටික් කූරු, ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු / පීරිසි සහ පිඟන්, ප්ලාස්ටික් බීම බට සහ ද්‍රව්‍ය කවලම් කරන ප්ලාස්ටික් කලතන, ප්ලාස්ටික් බැලූන්, ප්ලාස්ටික් ආහාර බහාලුම්, බීම පිරවීම සඳහා භාවිතා කරන ප්ලාස්ටික් කෝප්ප බෝතල් සහ වෙනත් බීම බහාලුම්, ප්ලාස්ටික් බෑග්/පැකට් සහ වෙනත් ප්ලාස්ටික් දවටන, සනීපාරක්ෂක ද්‍රව්‍ය බහාලුම් වැනි ප්ලාස්ටික් නිෂ්පාදන තනි – භාවිත ප්ලාස්ටික් යටතේ වඩාත්ම අවධානය යොමු වූ අයිතම වේ.

ලොව පුරා ඇසුරුම් සහ බෑග් නිෂ්පාදනය කිරීම සඳහා පොලිතීන් සහ ප්ලාස්ටික් බහුලව භාවිතා වේ. මේ වන විට ගෝලීය වශයෙන් පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතයේ විශාල වැඩිවීමක් සිදුවී ඇත. පොලිතින් බෑග් සහ එක් වරක් භාවිතා කරන ප්ලාස්ටික් ඇතුළු අනෙකුත් ප්ලාස්ටික් ද්‍රව්‍ය සැලකිය යුතු ගෝලීය පාරිසරික ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. තනි – භාවිත ප්ලාස්ටික් ලෙස සැලකෙන ප්ලාස්ටික් සහ පොලිතින් මලු භාවිත කිරීම නිසා පරිසරයට සිදුවන හානිය සුළුපටු නොවේ. පරීක්ෂණවලින් ලැබුණු සංඛ්‍යාලේඛනවලට අනුව 2050 වන විට සාගරයට එක්වන පොලිතීන් ප්‍රමාණය ඉතා ඉහළයනු ඇත.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය වර්තමානය වන විට ලෝකයට වැඩිම තර්ජනයක් එල්ලකරන ගැටලුවක් බවට පත් ව තිබේ. ශ්‍රී ලංකාවට ද ප්ලාස්ටික් අපද්‍රව්‍ය සැලකිය යුතු පාරිසරික ප්‍රශ්නයකි. ලොව පුරා වාර්ෂිකව නිපදවන ප්ලාස්ටික් වලින් සුළු ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ. එසේ වුවද, නිමක් නැති ප්‍රතිචක්‍රීකරණය ලෙස හැඳින්වෙන රසායනික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියක් හරහා, ප්ලාස්ටික් අපද්‍රව්‍ය නැවත තෙල් බවට පරිවර්තනය කිරීමේ හැකියාවක් තිබුණද එයට අතිවිශාල බලශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වේ.

පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය හා සම්බන්ධ ගැටලු

ප්ලාස්ටික් ස්වභාව ධර්මයේ ස්වභාවික ආකාරයට නොපවතින බැවින් ඵලදායී ලෙස හෝ සම්පූර්ණයෙන්ම බිඳ දැමිය නොහැකි වේ. එබැවින් තනි – භාවිත ප්ලාස්ටික් නිෂ්පාදනය සහ භාවිතය, පරිසරය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි. ප්ලාස්ටික් හෝ තනි – භාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය, නිසි අපද්‍රව්‍ය කළමනාකරණ උපාය මාර්ග භාවිතා නොකර පරිසරයට බැහැර කිරීමෙන් පරිසරයටත් ජීවීන්ගේ සෞඛ්‍යයටත් හානි සිදු වේ.

ප්ලාස්ටික් ද්‍රව්‍යවල තිබෙන රසායනික බන්ධන ස්වභාවධර්මයේ බැක්ටීරියා වලට “හුරුපුරුදු” නොවන බැවින් ප්ලාස්ටික් ස්වභාවික ආකාරයට දිරාපත් නොවේ. එක් වරක් හෝ කෙටි කාලයක් සඳහා භාවිතා කර ඉවත දැමිය හැකි ප්ලාස්ටික් වුවද සම්පූර්ණයෙන් බිඳහෙළිය නොහැක. ඒ වෙනුවට, ඒවා ක්ෂය වී ක්ෂුද්‍ර ප්ලාස්ටික් හෙවත් “මයික්‍රො ප්ලාස්ටික්” ලෙස හඳුන්වන කුඩා කැබලිවලට කැඩී පරිසරයේ පස, ජලය සහ වාතය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි. මයික්‍රෝ ප්ලාස්ටික් ඇසට නොපෙනුනද පරිසරයේ සංයුතියට අහිතකර බලපෑම් ඇති කරයි.

“මයික්‍රො ප්ලාස්ටික්” යනු ප්ලාස්ටික්වලින් කැඩුණු මිලිමීටර් 5ට වඩා අඩු පුංචි ‘ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැබලි’ ලෙස හැඳින්වේ. “මයික්‍රො ප්ලාස්ටික්” පරිසරයේ ස්වභාවික ආකාරයට ක්‍රියා නොකරන අතර දිරාපත් වන්නේ ද නැත. මයික්‍රො ප්ලාස්ටික් ජලයට එක්වූ විට හඳුනා ගැනීමට අපහසු වේ. වායු ගෝලයට එක්වූ විට ඉවත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත. මේ නිසා වායු දූෂණය ද සිදු වේ. මයික්‍රො ප්ලාස්ටික් පසට එක්වූ විට හඳුනා ගැනීම සහ ඉවත් කිරීම අපහසු වේ. මෙහිදී පස, ජලය සහ වාතය සහිත අජෛව පරිසරයේ සංයුතිය ද වෙනසකට ලක් වේ. තවද රසායනික ද්‍රව්‍ය, විෂ ද්‍රව්‍ය සහ රෝග කාරක මයික්‍රො ප්ලාස්ටික් වටා එක්වේ.

සමහර සාගරවල වෙරළ තීරයේ සහ දූපත්වල සිදු වී ඇති ප්ලාස්ටික් දූෂණය සාගර ජීවීන්ට මාරාන්තික වී ඇත. එසේම, සාගර, ජලය, පස, ආහාර, ශරීර සහ පරිසර පද්ධතිවල පවතින ක්ෂුද්‍ර ප්ලාස්ටික් නිසා පාරිසරික සෞඛ්‍ය දැන් තර්ජනයට ලක්ව ඇත. ලෝකයේ ප්ලාස්ටික් දූෂණයට ප්‍රධාන දායකත්වයක් සපයන්නේ එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් වේ.

ඉවතලන ප්ලාස්ටික් බීම බට, කෝප්ප, බෝතල් සහ ෂොපින් බෑග් වැනි ද්‍රව්‍යවලින් මෑත වසරවලදී කසළ ටොන් මිලියන 130ක් පමණ නිෂ්පාදනය වී ඇත. ඇතැම් අය ඉවතලන දිරාපත් නොවන ප්ලාස්ටික් සහ පොලිතින් පුළුස්සා දමයි. ගොඩබිම වළලා දමයි. නැතහොත් විශාල වශයෙන් සාගරයට හෙළයි. වැඩිවන ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා ගෝලීය සම්මුතියක් ස්ථාපිත කිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් සූදානම් වන විට, පුද්ගලයන් හතර දෙනෙකුගෙන් තිදෙනෙකුටම හැකි ඉක්මනින් තනි – භාවිත ප්ලාස්ටික් තහනම් කිරීමට අවශ්‍ය වී තිබූ බව පැහැදිලි විය. රටවල් 28 ක් පුරා 20,000 කට වැඩි පුද්ගලයින්ගේ මත විමසුමට අනුව, 2019 සිට ප්ලාස්ටික් තහනම් කිරීමට ඉල්ලා සිටින පුද්ගලයින්ගේ ප්‍රතිශතය 71% සිට ඉහළ ගොස් ඇති අතර, ප්ලාස්ටික් ඇසුරුම් අඩු නිෂ්පාදන වලට කැමති යැයි පැවසූ අය 75% සිට 82% දක්වා ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් තහනම් කිරීමේ ප්‍රවණතාවය ඉහත සඳහන් කරුණු සලකා බැලීමෙන් පසු පහත දක්වා ඇති අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් පරිභෝජනය තහනම් කිරීමට / සීමා කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත.

(1). අංක 1466/5 – 2006 ඔක්තෝබර් 10 වැනි අඟහරුවාදා – 2006.10.10 අති විශේෂ ගැසට් පත්‍රය.

1980 අංක 47 ජාතික පාරිසරික පනතේ 23 ද වගන්තිය යටතේ පරිසර අමාත්‍යතුමන් වෙත පැවරී ඇති බලතල අනුව 2007 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි,

(i) ඝනකමින් මයික්‍රෝන විස්ස (20) හෝ ඊට අඩු පොලිතීන් හෝ යම් පොලිතීන් නිෂ්පාදිතයක් දේශීය භාවිතය සඳහා නිෂ්පාදනය කිරීම

(ii) ඝනකමින් මයික්‍රෝන විස්ස (20) හෝ ඊට අඩු පොලිතින් හෝ ඕනෑම පොලිතීන් නිෂ්පාදනයක් විකිණීම හෝ භාවිතා කිරීම, තහනම් කරනු ලැබ ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 51 වන වගන්තිය සමඟ කියවිය යුතු 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 23 ද වගන්තිය යටතේ පරිසර අමාත්‍යතුමන් වෙත පැවරී ඇති බලතල අනුව, පහත දක්වා ඇති අංක 2034/33, අංක 2034/34 සහ අංක 2034/35 දරන අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් පරිභෝජනය තහනම් කිරීමට/සීමා කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත.

(2). අංක 2034/33 – 2017 සැප්තැම්බර් මස 01 වැනි සිකුරාදා – 2017.09.01 අති විශේෂ ගැසට් පත්‍රය.

(i). ඝනකමින් මයික්‍රෝන විස්ස (20) හෝ ඊට අඩු පොලිතීන් හෝ යම් පොලිතීන් නිෂ්පාදිතයක් දේශීය භාවිතය සඳහා නිෂ්පාදනය කිරීම

(ii). ඝනකමින් මයික්‍රෝන විස්ස (20) හෝ ඊට අඩු පොලිතින් හෝ යම් පොලිතීන් නිෂ්පාදන රට තුළ විකිණීම, විකිණීම සඳහා අර්පණය, ප්‍රදර්ශනය, නොමිලේ ලබාදීම හෝ භාවිතය තහනම් කර ඇත.

(උපලේඛනයේ දක්වා ඇති ආකාරයට ලැමිනේට් කිරීම සඳහා ගැසට් පත්‍රයේ දක්වා ඇති අවසරලත් ද්‍රව්‍ය භාවිතයන් සහ වෛද්‍ය විද්‍යාත්මක හෝ ඖෂධමය කාර්ය සඳහා වෙනත් යම් සුදුසු විකල්ප නොමැති අවස්ථාවලදී භාවිතය හැර)

“අංක 2034/33 – 2017 සැප්තැම්බර් මස 01 වැනි සිකුරාදා නිකුත් කරන ලද මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් 2006 ඔක්තෝබර් 10 වැනි දින නිකුත් කරන ලද අංක 1466/5 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළමු නියමය යටතේ සිදුකරන ලද කිසිවකට අගතියක් නොවන පරිදි පරිච්ඡින්න කර ඇත.”

(3). අංක 2034/34 – 2017 සැප්තැම්බර් මස 01 වැනි සිකුරාදා – 2017.09.01 අති විශේෂ ගැසට් පත්‍රය.

(i) දේශීය භාවිතය සඳහා පොලිතින් අමුද්‍රව්‍යයක් වන ආහාර දවටන නිපදවීම, සහ

(ii) පොලිතින් අමුද්‍රව්‍යයක් ලෙස යොදා නිෂ්පාදිත ආහාර දවටන රට තුළ විකිණීම, විකිණීම සඳහා අර්පණය, නොමිලයේ ලබාදීම, ප්‍රදර්ශනය හෝ භාවිතය තහනම් කරනු ලැබ ඇත.

“ආහාර දවටන” යන්නෙන් ලන්ච් ෂීට් අදහස් වේ.

“පොලිතින්” යන්නට වැඩි ඝනත්වයෙන් යුත් පොලිඑතිලීන්, අඩු ඝනත්වයෙන් යුත් පොලිඑතිලීන් සහ පොලිප්‍රොපිලීන් ද ඇතුළත් වේ.

(4). අංක 2034/35 – 2017 සැප්තැම්බර් මස 01 වැනි සිකුරාදා – 2017.09.01 අති විශේෂ ගැසට් පත්‍රය.

(i) දේශීය භාවිතය සඳහා වැඩි ඝනත්වයෙන් යුත් පොලිඑතිලීන් අමුද්‍රව්‍යයක් වන යම් මලු නිෂ්පාදනය, (දිග = මිමි 600, පළල මිමි 260, උස මිමි 900 පරිමාණයෙන් හෝ ඊට ඉහළ පරිමාණයෙන් නිෂ්පාදිත කසළ බහාලුම් මලු හැර) සහ

(ii) වැඩි ඝනත්වයෙන් යුත් පොලිඑතිලීන් අමුද්‍රව්‍යයක් වන යම් මලු නිෂ්පාදනය රට තුළ විකිණීම, විකිණීම සඳහා අර්පණය, නොමිලයේ ලබාදීම, ප්‍රදර්ශනය හෝ භාවිතය තහනම් කරනු ලැබ ඇත.

(දිග මිමි 400, උස මිමි 500 පරිමාණයෙන් හෝ ඊට ඉහළ පරිමාණයෙන් නිෂ්පාදිත රෙදිපිළි බහාලුම් මලු හැර)

(5). අංක 2034/36 – 2017 සැප්තැම්බර් මස 01 වැනි සිකුරාදා – 2017.09.01 අති විශේෂ ගැසට් පත්‍රය.

1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 32 වගන්තිය සමඟ කියවිය යුතු පනතේ 23 එ සහ 23 ඒ යටතේ

  1. මෙම නියෝග 2017 අංක 1 දරන ජාතික පාරිසරික නියෝග ලෙස හඳුන්වනු ලැබේ.

(ප්ලාස්ටික් අඩංගු කසළ සහ පහසුවෙන් දැවෙන වෙනත් ද්‍රව්‍ය එළිමහනේ පිළිස්සීම තහනම් කිරීම )

  1. කිසිදු තැනැත්තෙකු ප්ලාස්ටික් අඩංගු කසළ හෝ පහසුවෙන් දැවෙන වෙනත් ද්‍රව්‍ය එළිමහනේ පිළිස්සීම,

පිළිස්සීමට සැලැස්වීම, ඉඩදීම හෝ අවසර දීම සිදු නොකළ යුතු ය.

  1. ඉහත නියෝගවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන යම් තැනැත්තෙකු 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනත යටතේ වරදකට වරදකරු වන අතර 31 වැනි වගන්තිය යටතේ දඬුවමකට යටත් විය යුතුය.

(6). අංක 2034/37 – 2017 සැප්තැම්බර් මස 01 වැනි සිකුරාදා – 2017.09.01 අති විශේෂ ගැසට් පත්‍රය.

1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 23 ද වගන්තිය යටතේ පරිසර අමාත්‍යතුමන් වෙත පැවරී ඇති බලතල අනුව, මෙම අති විශේෂ ගැසට් පත්‍රය මගින් සියලුම ආකාරයේ පොලිඑතිලීන්, පොලිප්‍රොපිලීන්, පොලිඑතිලීන් නිෂ්පාදන හෝ පොලිප්‍රොපිලීන් නිෂ්පාදන, දේශපාලන, සමාජයීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව හෝ අවස්ථාවලදී සැරසිලි සඳහා භාවිතය තහනම් කර ඇත.

(7). අංක 2034/38 – 2017 සැප්තැම්බර් මස 01 වැනි සිකුරාදා – 2017.09.01 අති විශේෂ ගැසට් පත්‍රය

මෙම අති විශේෂ ගැසට් පත්‍රය මගින් 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 23 ද වගන්තිය යටතේ පරිසර අමාත්‍යතුමන් වෙත පැවරී ඇති බලතල අනුව,

(i) දේශීය භාවිතය සඳහා ප්‍රසාදිත පොලිස්ටයරින් වලින් ආහාර ඇසුරුම් පෙට්ටි, පිඟන්, කෝප්ප හා හැඳි නිෂ්පාදනය, සහ (ii) ප්‍රසාදිත පොලිස්ටයරින් වලින් නිෂ්පාදිත ආහාර ඇසුරුම් පෙට්ටි, පිඟන්, කෝප්ප සහ හැඳි රට තුළ විකිණීම සඳහා අර්පණය, නොමිලේ ලබාදීම ප්‍රදර්ශනය හෝ භාවිතය තහනම් කර ඇත. “ආහාර ඇසුරුම් පෙට්ටි” යන්නෙන් ආහාර බහාලන පෙට්ටිය (lunch boxes) අදහස් වේ.

(8). අංක 2211/50 – 2021 ජනවාරි මස 21 වැනි බ්‍රහස්පතින්දා – 2021.01.21 අති විශේෂ ගැසට් පත්‍රය.

1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 32 වගන්තිය යටතේ පරිසර අමාත්‍යතුමන් වෙත පැවරී ඇති බලතල අනුව නිකුත් කරන ලද මෙම ගැසට් නිවේදනය අනුව නිෂ්පාදිත යම් ප්ලාස්ටික් අයිතමයක් එහි උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති ප්ලාස්ටික් ද්‍රව්‍ය හඳුනාගැනීමේ ප්‍රමිතීන්ට අනුකූලව පැහැදිලිව සලකුණු කරනු ලැබිය යුතු වේ.

(9). අංක 2211/51 – 2021 ජනවාරි මස 21 වැනි බ්‍රහස්පතින්දා – 2021.01.21 අති විශේෂ ගැසට් පත්‍රය.

1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ 23 ද (1) (අ) වගන්තිය යටතේ පරිසර අමාත්‍යතුමන් වෙත පැවරී ඇති බලතල අනුව,

(අ) යම් ක්‍රියාවලියක්, වෙළඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලීන් ටෙරප්තැලේට් (PET) හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) ද්‍රව්‍ය සහ

(ආ) යම් ක්‍රියාවලියක්, වෙළඳාමක් හෝ කර්මාන්තයක් සඳහා මෙහි නිශ්චිතව දක්වා ඇති යම් ප්ලාස්ටික්

අයිතම:-

(i) ශුද්ධ පරිමාව මි.ලී 20 ට / ශුද්ධ බර ග්‍රෑම් 20 ට සමාන හෝ ඊට අඩු සැෂේ (Sachet) (ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට භාවිතා කිරීම හැර);

(ii) සුළංවලින් පිරවිය හැකි සෙල්ලම් බඩු (බැලුන්, බෝල, දිය මත පාවෙන / පිහිනුම් තටාකවල දී භාවිතා කරන සෙල්ලම් බඩු සහ ජල ක්‍රීඩා උපකරණ හැර);

(iii) ප්ලාස්ටික් කූර (stem)) සහිත කොට්න් බඩ්ස් (Cotton buds) (වෛද්‍ය / සායනික ප්‍රතිකාර සඳහා භාවිත කරන ප්ලාස්ටික් හැර) පාවිච්චි කිරීම තහනම් කරනු ලැබ ඇත.

ප්ලාස්ටික් හෝ තනි – භාවිත ප්ලාස්ටික් උපකරණ භාවිතයේ පාරිසරික හා සෞඛ්‍ය බලපෑම් හඳුනාගෙන ඇතත් ඇතැමුන් තවමත් අදාළ නීති රීති රෙගුලාසිවලට අනුව තම ප්ලාස්ටික් පරිභෝජන රටාව වෙනස් කර නොමැත. රජය විසින් රෙගුලාසි රැසක් හරහා පොලිතින් භාවිතය සීමා කිරීමට උත්සාහ කළත් ඇතැම් සමාගම්වලට ප්ලාස්ටික් සහ පොලිතින් අවශ්‍ය වීම හේතුවෙන් ගැටලු රැසකට මුහුණ පෑමට සිදු විය.

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ මට්ටමින් සිදුකෙරෙන පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එළිමහනේ පිළිස්සීමේ පුරුද්ද පිළිබඳව 2021 ජුනි 10 සිට 2021 අගෝස්තු 10 දක්වා බස්නාහිර පළාතේ කළුතර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක ආවරණය කරමින් ප්‍රශ්නාවලියක් භාවිතා කරමින් සිදු කරන ලද මූලික සමීක්ෂණයකට අනුව, සෞඛ්‍ය උවදුරු සහ පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳව සහභාගි වූ බොහෝ දෙනා දැනුවත්ව සිටි නමුත් ඔවුන් තවමත් පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පුළුස්සා දැමීමේ යෙදී සිටින බව පැහැදිලි විය. බොහෝ අවස්ථාවලදී පොලිතින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් පවතින නීති රීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් යටිතල පහසුකම් නොමැතිකම, කසළ කළමනාකරණය පිළිබඳව පරිසර හිතකාමී ආකල්ප සහ භාවිතයන් නොමැතිකම, ගැටලුව පිළිබඳ ප්‍රමාණවත් දැනුම්වත්භාවයක් නොමැතිකම, ප්‍රමාණවත් ප්‍රජා සහභාගීත්වයක් නොමැතිකම ආදී කරුණු හේතුවෙන් ගැටලු උද්ගත වී ඇති බව සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව පැහැදිලි විය. (Radhika, N.M.L and Udayakantha,W. S. 2022)

(පොතපත, අන්තර්ජාල මූලාශ්‍ර, ඇසුරෙනි)

එන්.එම්. ලක්මිණී රාධිකා
සහකාර අධ්‍යක්ෂ – පරිසර අධ්‍යාපන හා
දැනුවත් කිරීම් අංශය මධ්‍යම පරිසර අධිකාරිය

advertistmentadvertistment
advertistmentadvertistment