ජනාධිපති හොරුන්ගේ ආරක්ෂකයා වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කඩවතදී කියයි

175

හොරු එක්ක මගෙ එකතුවීමක් නැහැ

හොරුන් ආරක්ෂා කරන්න එපා කියලා රටේ ජනතාව මගෙන් ඉල්ලා සිටිනවා. නමුත් මම ඔබට කියන්න කැමතියි. මම නෙවෙයි හොරු රකින්නෙ. වත්මන් ජනාධිපතිවරයායි. මොකද මම හොරු එක්ක රඟපාන්න එක්වෙන්නේ නැහැ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කඩවත නගරයේ පැවති ජනහමුව අමතමින් පැවසීය.

සමගි ජනබලවේගයේ මහර ආසන සංවිධායක හසිත් ගුණසේකර මහතා ඇතුළු සංවිධායකයන් කණ්ඩායමක් එක්ව මෙම ජනහමුව සංවිධානය කර තිබිණි. එහිදී රැස්ව සිටි ජනතාව ඇමතූ විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.

මම ඝෘජු වෙන්න ඕනෙ තැන ඝෘජු වෙන්නත් මෘදු වෙන්න ඕනේ තැනදි මෘදු වෙන්නත් දන්න දසරාජ ධර්මයෙන් රට පාලනය කරන්න ආපු කෙනෙක්. ඒ නිසාම මට පොහොසතුන්ට වඩා දුප්පතුන්ගේ දුක තේරෙනවා දැනෙනවා. මොකද මගේ දිවංගත පියා රණසිංහ ප්‍රේමදාස ශූරීන් නිරතුරුවම දුප්පතුන්ගේ හදවතේ හඬට කන් දීපු කෙනෙක්. ඔබ දන්නවද ලර්න්ඒසියා සංගණනයට අනුව අපේ රටේ දුප්පත් ප්‍රජාව ලක්ෂ තිහේ සිට ලක්ෂ හැත්තෑව දක්වා මේ වන විට වැඩිවෙලා තියෙනවා. මේ මොහොත වන විට රටෙන් හරි අඩක් දිළින්දන් වෙලා. මොකක්ද මේ පැනයට පාලකයන් දෙන පිළිතුර. පිළිතුරක් නැහැ. ඒ අයගෙ සුඛ විහරණය ගැන විතරයි ඒ අය කතා කරන්නෙ.

ඔබට මතකද මගේ තාත්තා ඇඟළුම් කර්මාන්ත ශාලා හදන කොට ඒ ගොඩනැගිලි පුළුස්සා දැමූ ජනතා විමුක්ති පෙරමුණ අද රට ගොඩගන්න සංවිධානය වෙලා අපිට මඩගහනවා.එදා ඇඟළුම් කර්මාන්ත ශාලා ගොඩනගද්දි දේශපාලන කුහකයො කිව්වෙ අපේ කාන්තාවන්ට කියලා සුද්දන්ට යටඇඳුම් මහන්නයි මේ සූදානම කියලා. නමුත් අදටත් අපේ නිදහස් වෙළඳ කළාප සේවිකාවන් තමයි රටට ඩොලර් ගේන්නෙ.

අපේ රජයක් යටතේ මේ රටේ හතලිස් ලක්ෂයක් පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදී දරුවන් මන්දපෝෂණයෙන් බේරා ගන්නවා. ඒ වගේම මේ රටේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමය වහාම වෙනස් විය යුතුයි. ඉංග්‍රීසි භාෂාව මූළික කරගත් අධ්‍යාපන ක්‍රමයක් වගේම තොරතුරු තාක්ෂණයට මුල්තැන දෙන අධ්‍යාපන ක්‍රමයක් අපිට දැන් අවශ්‍යයි. අද වෙන කොට පාසල්වල තොරතුරු තාක්ෂණය උගන්වන්නෙ මව් භාෂාවෙන්. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. 2024 කියන්නෙ මේ රටේ අනාගතයේ හැරවුම් ලක්ෂය කියලා හිතාගෙන අපි වැඩ කළොත් 76 වසරක දේශපාලන ශාපයෙන් අපිට නිදහස් විය හැකියි.

ජනාධිපති හොරුන්ගේ ආරක්ෂකයා වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කඩවතදී කියයි

පාසල් 110කට සමගි ජන බලවේගය වශයෙන් අපි ස්මාට් ක්ලාස් රූම් ලබාදීලා තියෙනවා. ඒ සඳහා මිලියන එකසිය නමයක් අපි වැය කරලා තියෙනවා. රජයේ පාසල් 80කට බස් රථ පරිත්‍යාග කරලා තියෙනවා. සජිත් දුන්නු බස් රථය දිරාපත් වෙනවා කියලා පහුගිය දවසක පුවත් පත් වාර්තාවක් පළවී තිබුණා. බස් රථය අබලන්ලු‍. රියදුරු කෙනෙක් නැහැලු‍. මේක තඹුත්තේගම පාසලක්. හැබැයි ජනාධිපති ජම්බෝරියටත් මේ දිරලා කියන බස් රථයෙන් තමයි ගිහින් තියෙන්නේ. මේවා දේශපාලන කුහකයන්ගේ වැඩ. මොන විපක්ෂ නායකයාද විපක්ෂයේ ඉදන් මේවගේ වැඩ කරේ.

පරාටේ නීතිය නිසා රටේ ව්‍යාපාරික ප්‍රජාව අන්ත අසරණ වෙලා. මේ පරාටේ නීතිය වහාම ඉල්ලා අස් කරගන්න කියලා මම ඉල්ලීමක් කරා. මේ කුහක දේශපාලකයන් රටේ සංවර්ධනය මුළුමනින්ම අඩපණ කරලා දැම්මා. අපේ රජයක් යටතේ කවදාවත් හොරු ආරක්ෂා කරන්නෙ නැහැ කියන පොරොන්දුවත් මහර ආසනයෙන් පාර්ලිමේන්තු මංත්‍රී කෙනෙක් ඔබට සේවය කිරීමට ලබාදෙන බවටත් මා පොරොන්දු වෙනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නලින් බංඩාර, තිස්ස අත්තනායක, එස්.එම්. මරික්කාර්, අජිත් මාන්නප්පෙරුම, කාවින්ද ජයවර්ධන, හසිත් ගුණසේකර, යූ. ජෝර්ජ් පෙරේරා, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment