ගනුදෙනුවට බහින්බස්වී අයියාගෙන් පහරකෑ මල්ලී රෝහලේදී මරුට

148

මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු වූ අයියා විසින් සිදුකරන ලද පහර දීමෙන් තුවාල ලබා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි මල්ලී දින තුනකට මියගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කැස්බෑව, මාකන්දන ප‍්‍රදේශයේ පදිංචි රංගන අල්විස් නමැති 42 හැවිරිදි දෙදරු පියෙකි.

මියගිය අය විවාහයෙන් පසු වෙනම නිවසක ජීවත්ව සිට ඇති අතර මුදල් ගනුදෙනුවක් ගැන කතා කර ගැනීම සඳහා ඉකුත් 12 දා තම වැඩිමල් සොහොයුරා පදිංචි පොල්ගස් ඕවිට හෙරලියාවල තමා උපන් නිවස වෙත බිරිඳ සමග පැමිණ ඇත. එහිදී දෙදෙනා අතර ඇති වූ කතාබහ දුරදිග යෑමෙන් බහින් බස් වීමක් වී අයියා සිය සහෝදරයාට පහර දීමක් සිදුකර ඇත.

ඒ වන විටත් ස්නායු ආබාධයක් හේතුවෙන් ගෙල ප‍්‍රදේශයේ ශල්‍යකර්මයක් සිදු කොට ප්ලාස්ටරයක් දමා සිටි මල්ලී 14 වන දින අසනීප වීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී අසාධ්‍ය වී කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවනු ලැබූ අතර එහි ප‍්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී 15 දින අලූයම මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පහරදුන් බව කියන සහෝදරයා සහ ඔහුගේ බිරිඳ කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. මං ලත් උ. පො. ප. දිසානායක පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබයි.

පින්සිරි ආරියරත්න

advertistmentadvertistment
advertistmentadvertistment