‘21ට’ යමු කියා අගමැතිට කිව්වා – සුමනතිරන් කියයි

235

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පමණක් නොව 20 වෙනි සංශෝධනය බල රහිත කොට 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරමින් 21 වැනි සංශෝධනයක් කරා රට ගමන් කළ යුතු බව තමන් අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඊයේ (22 දා) මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව කොළඹදී තමන් හා අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැති බවත් මේ හමුවේදී තමන් මේ කරුණු ප්‍රකාශ කළ බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්වීම හා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ තුනෙන් දෙකක කැමැත්තක් ලබා ගැනීම මේ අවස්ථාවේදී ඉතා අසීරු කරුණක් බව අගමැතිවරයා තමන්ට ප්‍රකාශ කළ බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා නමුත් ජනතාව විධායක ජනාධිපති ක්‍රමය නොව ජනාධිපතිවරයාම ඉල්ලා අස්විය යුතු යැයි කියන සමාජ වටපිටාවක් තුළ ජනමත විචාරණයකට යන්නේ නම් ජනතාව ඊට පූර්ණ සහය ලබා දෙනු ඇතැයි තමන්ට විශ්වාස බව තමා ප්‍රකාශ කළේ යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

දැනට විශාල අරගලයක නිරතව සිටින පිරිස් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරන තත්ත්වය සමථයකට පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද වැරදි සම්බන්ධයෙන් සමාව ගැනීම ප්‍රමාණවත් නොවන අන්දමට අරගලය දික්ගැසී ඔඩු දුවා ඇති බව තමන්

අගමැතිවරයාට කීවේ යැයි ද රටේ ආර්ථිකය කඩා වැටීමට වගකිව යුතු පුද්ගලයා කවුරුන්දැයි ඔහුගෙන් විමසා සිටියේ යැයි ද හෙතෙම සඳහන් කළේය.

රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප්‍රමාද වීම ගැන ජනාධිපතිවරයා සමාව ඉල්ලා සිටියත් ඒ ප්‍රශ්න දෙකම පමණක් මේ රටේ ආර්ථිකය කඩා වැටීමට බල පෑ ප්‍රධාන සාධක දෙක නොවන බවත් ඒ නිසා වහාම ව්‍යවස්ථානුකූල වෙනසක් මේ රටේ ඇති කොට ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතු බවත් තමන් අගමැතිවරයාට යෝජනා කළ බවද මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

දැනට උදා වී ඇති තත්ත්වයත් ජනතා අරගලයත් නිසා නව ව්‍යවස්ථා සම්පාදනයකට කාලයක් ගත වන බැවින් ජනාධිපතිවරයා තමන් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවත් එය එසේ නොවුවහොත් රට පුරාම මහා විනාශකාරී ක්‍රියාවන් සිදුවිය හැකි බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment