දුලංජලී මරලා සිංගප්පූරු පනින්න ප්ලෑන් කළා

1751

සිවිල් ගුවන් සේවා නිලධාරිනිය ඝාතනයේ සැකකරු පාපොච්චාරණය කරයි
සැකකරු පාතාල ප්‍රබලයකුගේ සොහොයුරෙක්
ඇඹිලිපිටිය එස්. එස්. පී. ගේ සොයුරිය සිද්ධිය දැක කියලා
ඝාතනය සිදුවී පැය 5 කටත් පෙර සැකකරු ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක කහතුඩුව අධිවේගී මාර්ගය අසලදී ගෙල කපා ඝාතනය කර රටින් පලායෑමට උත්සාහ කළ සැකකරු ගුවන්තොටුපළ තුළ ක්‍රියාත්මක කර ඇති අපරාධකරුවන් හඳුනා ගැනීමේ විශේෂ ආරක්ෂක පද්ධතිය ඔස්සේ කළ විමර්ශනයකදී රටින් පිටවීමට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

මෙම ඝාතනය සිදුවී පැය 05 ක් ගතවීමටත් පෙර ඝාතකයා අත්අඩංගුවට ගෙන මෙම ඝාතනයට අදාළ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය.

“දුලංජලී මා එක්ක සම්බන්ධයක් පවත්වන අතරේ තව කොල්ලෙක් එක්ක යාළු වෙලා තියෙනවා. මේ ප්‍රශ්නය මුල් කරගෙන අපි නිතරම රණ්ඩු වුණා. දුලංජලීට මං ගොඩක් ආදරේ කළා. ඒත් එයා කරපු වැඩේට මං එයාගෙන් පලිගත්තා යැයි කහතුඩුව ප්‍රධාන මාර්ගයේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ ප්‍රධාන සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත.

දුලංජලීව මරලා දාලා හොර රහසේම සිංගප්පූරුවට පනින්න කලින්ම ප්ලෑන් කරන් හිටියා යැයි ද මෙම සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා නමැති මෙම සැකකරු රත්මලානේ ධර්මසිරි නමැති පාතාල නායකයාගේ වැඩිමහල් සොහොයුරා බව පොලිසිය පවසයි. රත්මලානේ ධර්මසිරි නමැත්තා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මෙහෙයවන බව පොලිසිය කියා සිටියි.

පෙරේදා (09දා) සවස 05.00 ට පමණ මෙසේ ඝාතනයට ලක් වූයේ 41 හැවිරිදි දුලංජලී අනුරුද්ධිකා මාපිටියගේ නමැති එක්දරු මවකි. ඇගේ සැමියා වෘත්තියෙන් වෛද්‍යවරයකු බව ද පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ දුලංජලී සහ ඩන්ස්ටන් නමැත්තා අතර කලක් තිස්සේ සමීප සම්බන්ධයක් පැවති අතර ඒ සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම කාන්තාව ඝාතනය කළ ඩන්ස්ටන් නමැත්තා පානදුර හිරණ පිහිටි සිය නිවස වෙත ගොස් ඔහුට අයත් මෝටර් රථය සහ ඝාතනයට යොදා ගත් මන්නා පිහිය එහි දමා කුලී රථයකින් කටුනායක ගුවන්තොටුපළට පැමිණ ඇත.

ඒ වනවිට දුලංජලී මරා දැමූ ඝාතකයා කහතුඩුව පොලිසිය විසින් හඳුනාගෙන සිටි අතර ඔහුගේ ඡායාරූපය සහ විදේශ ගමන් තහනම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබාගත් නියෝගය කටුනායක ගුවන්තොටුපළ වෙත යැවීමට ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතා කටයුතු කර තිබිණි.

රටින් පලායන පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හඳුනාගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළේ විශේෂ ඒකකයක් පිහිටුවීමට පසුගියදා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා කටයුතු කර තිබිණි.

ඒ අනුව එම විශේෂ ඒකකය මගින් මෙම අපරාධය සිදුකළ ඩන්ස්ටන් නමැත්තා කටුනායක ගුවන්තොටුපළේ සිටින අයුරු සොයාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

පසුව එම සැකකරු කටුනායක ගුවන්තොටුපළ පොලිසිය හරහා කහතුඩුව පොලිසිය වෙත පෙරේදා රාත්‍රියේම භාරදීමට කටයුතු කර තිබිණි.

ඩන්ස්ටන් පෙරේරා නමැති මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සිද්ධිය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය.

මෙම සැකකරු කොළඹ බම්බලපිටියේ පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයක කාර්යාලයක් පවත්වාගෙන යන අයෙකි.

විදේශ රැකියා මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදෙස් රටවලට යැවීමේ කාර්ය සිය වෘත්තිය ලෙස මොහු කරගෙන ගොස් ඇත.

දුලංජලී නමැති 41 හැවිරිදි එක්දරු මව දැන හඳුනාගෙන ඇති මෙම සැකකරු පසුව ඇය සමග අනියම් සබඳතාවක් ගොඩනඟා ගෙන තිබූ බව පොලිසිය පවසයි.

දුලංජලී සිය දරුවා අධ්‍යාපන කටයුතුවලට රැගෙන ගිය අවස්ථාවලදී මෙන්ම සැමියා නිවසේ නැති අවස්ථාවලදී පවා තමන් ඇය හමුවී ඇති බව සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත.

දිනක් තමන් මෝටර් රථයේ දුලංජලී සමග පැමිණෙද්දී ඇයගේ ජංගම දුරකථනයට තරුණයකුගෙන් ඇමතුමක් ලැබුණු බවත්, ඒ පිළිබඳව විමසීමේදී ඇය තමන් සමග බහින්බස් වූ බවත් සැකකරු පවසා තිබේ.

ඒ අවස්ථාවේ එම ඇමතුමට සවන්දීමට ස්පීකර් ෆෝන් ක්‍රියාත්මක කිරීමට පවා දුලංජලීට කියූ බවත් ඇය එසේ කළ බවත් සැකකරු පවසා ඇත.

ඇමතුම ලබාදුන් තරුණයා දුලංජලීගෙන් ඇගේ සැමියා පිළිබඳ පෞද්ගලික තොරතුරු විමසූ බවත් පවුලේ පවතින ආරවුල් ඇතුළු නොයෙකුත් ප්‍රශ්න ඇසූ බවත් සැකකරු පොලිසියට පවසා තිබේ.

පවුලේ පෞද්ගලික දේවල් පිළිබඳව විමසීමට තරම් සිටින තරුණයා කවුදැයි තමන් දුලංජලීගෙන් විමසූ විට ඇය තමන් සමග ආරවුල් ඇතිකර ගත් බවද සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත. මෙම සිද්ධියෙන් පසු සැකකාර ඩන්ස්ටන් නිතර නිතරම දුලංජලී සැකයට භාජනය කර ඇති අතර ඇය සමග ආරවුල් ඇතිකර ගෙන තිබිණි.

දුලංජලී ඝාතනයේ ප්‍රධාන සැකකරු පස්දරු පියකු වන අතර ඔහු සිය නිත්‍යානුකූල බිරිඳගෙන් වෙන්වී සිටියි. දරුවන්ගෙන් දෙදෙනකු විදේශ අධ්‍යාපනය සඳහා යොමුකර ඇති අතර අනෙක් දරුවන් මොහු සමග ජීවත්ව සිටින බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ දුලංජලී කටුනායක සිට අධිවේගී මාර්ගය ඔස්සේ ගුවන් සේවා අධිකාරියට අයත් බස් රථයෙන් කහතුඩුවට පැමිණීමට පුරුදුව සිටියාය.

පෙරේදා සවස 5.00 ට පමණ ඇය කහතුඩුව පිවිසුමෙන් බැස මාර්ගය අසල තිබූ ත්‍රිරෝද රථයක් වෙත යමින් සිට ඇත්තේ නිවස බලා යන බලාපොරොත්තුවෙන්ය.

එහෙත් ඩන්ස්ටන් නමැති සැකකරු කළු පැහැති මෝටර් රථයකින් කහතුඩුව අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව අසල මාර්ගයේ රැක සිට ඇත.

දුලංජලී පාර පයිනවාත් සමගම ක්‍රියාත්මක වී ඇති ඩන්ස්ටන් ඇය වෙත ගොස් මන්නා පිහියෙන් ඇගේ උදරයට පහරක් එල්ල කර ඇත.

ඒ ප්‍රහාරයෙන් දුලංජලී බිම ඇද වැටී ඇති අතර පසුව සැකකරු ඇගේ ගෙල ප්‍රදේශය කපා දමා පසුව ඔහු පැමිණි මෝටර් රථයෙන් පලාගොස් ඇත.

ඒ වනවිට කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ විශාල පිරිසක් රැස්ව සිටිය ද ඔවුන් කිසිවකු තුවාල ලබා ලේ විලක් මැද වැටී සිටි දුලංජලී රෝහල කරා ගෙනයෑමට පවා ඉදිරිපත් වී නැත.

මෙම සිද්ධිය වන අවස්ථාවේ ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මාසිංහ මහතාගේ ඥාති සොහොයුරියක මාර්ගයේ අනෙක් පස බස් නැවතුම්පොළේ සිට ඇත.

ඇය ඒ මොහොතේම තම ඥාති සොහොයුරා වූ මාසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබාගෙන මෙම සිද්ධිය පිළිබඳව දැනුම් දීමට කටයුතු කර තිබේ. පසුව මාසිංහ මහතා ඒ මොහොතේම මේ පිළිබඳව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතා දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

පසුව වහාම ක්‍රියාත්මක වූ දෙහිදෙණිය මහතා කහතුඩුව පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිද්ධිය වූ ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.

මෙම ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඔහුගේ ඡායාරූපයක් ගුවන්තොටුපළ වෙත යවා ගුවන් ගමන් තහනම් කිරීමට අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු නොකරන්න මෙම සැකකරු නියත වශයෙන් රටින් පලායන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment