අන්තිමට නිර්පාක්ෂික වුණේ ගෝඨාභය රාජපක්ෂ විතරයි – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

142

නිර්පාක්ෂික යැයි කියා ගනිමින් සියදහස් ගණන් ගාලු‍ මුවදොර අරගල කළද අවසානයේ නිර්පාක්ෂික වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ කොටිකාවත්ත සණස උත්සව ශාලාවේදී පෙරේදා (08) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොලොන්නාව ආසන බලමණ්ඩල හමුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය.

එදා අපිව මහ පාරේ ඇවිද්දවනවා කියපු නායකයන් හිටියා. අභියෝග මැද අපි කටයුතු කළා. හිර ගෙවල්වල යන්නත් වුණා. ඒ සියලු‍ අභියෝග මැද අපි පක්ෂය ගොඩනැඟු‍වා. ඉතාම කෙටි කලක් තුළ මේ රටේ තීරණාත්මක මැතිවරණ අපි දින්නා. ජනාධිපතිවරණයෙන් ලක්ෂ 69 ක ඡන්ද ප්‍රමාණයක් අපි ගත්තා. පාර්ලිමේන්තු මැතිවරණය අපි ජයග්‍රහණය කළා. අපි යම්කිසි බලාපොරොත්තුවක් ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නා. අපි දැකලා තිබුණේ, අහලා තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයයි. ජනතාවගේ ජීවිත උසස් කරන්න ගත්ත උත්සාහය අපි දන්නවා.

මේ රටේ ආර්ථික වර්ධනය වේගය චීනයට පමණක් දෙවැනි තැනකට ගෙනාවේ කවුද. මහින්ද රාජපක්ෂ මහතා කොළඹ කෙනෙක් නොවේ. කොළඹ දිස්ත්‍රික්කය සංවර්ධනය කළේ කාගේ කාලයේද? මහල් නිවාස යෝජනා ක්‍රම හදුන්වා දුන්නා. දරුවන්ට බය නැතිව, ආඩම්බරයෙන් පාසල් යන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කර දුන්නා. කොළඹ පටු පාරවල් තිබුණේ. මංතීරු හතරේ පහේ පාරවල් පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ මහතායි. කොළඹ වරාය නගරය ඉදිකරන්න සීගිරි ගල කඩා ගෙනෙන්න වෙයි කියූ අනුර කුමාර දිසානායක දැන් අලු‍ත් පක්ෂයක් හදාගෙන ඒකට ව්‍යාපෘති ගේන්න සැලසුම් කරනවා. නෙළුම් කුළුණ හදන විට හිනා වුණා. යහපාලන ආණ්ඩුව පැමිණ මේ සියල්ල අතරමඟ නතර කළා.

පෝර්ට්සිටි ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කළා. එදා රාජපක්ෂවරුන්ගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු සොයාන්න ආණ්ඩුවෙන් පඩි දීලා කමිටුවක් පත්කළා. නමුත් අවසානයේ ඔවුන් ප්‍රකාශ කළේ එවැනි ගිණුම් නැහැ කියලයි. පසුගිය කාලයේ උගන්ඩාවට සල්ලි ගෙනිච්චා කිවුවා. රාජපක්ෂවරුන්ගේ මුදල් ගුවන් යානා ආධාරයෙන් උගන්ඩාවට රැගෙන ගොස් තිබෙනවානම් ආණ්ඩුව මැදිහත් වී ඒ සියලු‍ මුදල් මෙරටට ගෙන එන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔවුන් ජනතාව තුළ ඊෂ්‍යාව ගොඩනැඟු‍වා. වෛරය වැපිරුවා.

ඇතැමුන් පසුගිය කාලයේ දේශපාලන අරමුණු වෙනුවෙන් අහිංසක මිනිසුන් පාවිච්චි කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගිය දවසේ සිට ගෑස් සිලින්ඩර පුපුරන්නේ නැහැ. මැයි මස 9දා මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතුන් පිරිසක් ගිහින් ගාලු‍ මුවදොර අරගලකරුවන්ට ගැහුවා කියන්න ඇතැමුන් උත්සාහ කරනවා. ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. අපේ අය මැයි 9දා ආවේ මහින්ද මහත්තයා බලන්න මිස ගහගන්න නොවෙයි. අපේ පාක්ෂිකයන් හරි අහිංසකයි. අපේ අයගෙත් ඉවසීමේ සීමාවක් තිබෙනවා. අපි ප්‍රචණ්ඩත්වයට කැමැත්තක් නැහැ. මහින්ද රාජපක්ෂ මහතා තමයි දේශපාලනයේ තිබුණු ප්‍රචණ්ඩත්වය ඉවත් කළේ. අවසානයේ නිර්පාක්ෂික වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණයි. අනෙක් හැමකෙනාම දේශපාලන වේදිකාවක ඉන්නවා. ඒ හැමදෙනාම නොදැනුවත්වම තවත් පාර්ශවයක ඉත්තන් බවට පත්ව සිටිනවා.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment