පාස්කු ප‍්‍රහාරය : ශානිගේ ප‍්‍රකාශය ගැන එජාපය පරීක්‍ෂණයක් ඉල්ලයි

225

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා කළ ප‍්‍රකාශය ගැන ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්‍ෂය රජයෙන් ඉල්ලා සිටී.

එම පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (21 දා* කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම ඉල්ලීම කළේය. ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

පාස්කු ප‍්‍රහාරය සිදුවූ අවස්ථාවේදී සිදුවී ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා සඳහන් කරන අන්දමට බුද්ධි අංශ නිලධාරීන් විසින් කල් තබාම එල්ලවීමට නියමිතව තිබූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත්ව සිට ඇති බවත්, සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ සහයකයන් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ගෙන ගිය පරීක්‍ෂණ සඳහා කිසිදු දායකත්වයක් ලබාදීමට අපොහොසත්ව තිබෙන බවත් ඒ පිළිබඳව අබේසේකර මහතා විසින් ජාතික ආරක්‍ෂක කවුන්සිලය 2019 ජනවාරි මාසයේදී දැනුවත් කිරීමට අවස්ථාව ඉල්ලා තිබුණද හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා එය වළක්වා තිබෙන බවත් ප‍්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම 2019 දී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ප‍්‍රහාරයෙන් පසුව සම්පාදනය කරන ලද වාර්තාවේ ද බුද්ධි අංශ මේ පිළිබඳව දැනුවත්ව සිට ඇති බවට වන තොරතුරු සම්බන්ධයෙන්ද තවදුරටත් පරීක්‍ෂණ පවත්වන ලෙස නිර්දේශ කර තිබෙනවා.

එක්සත් ජාතික පක්‍ෂය රජයට බලකර සිටින්නේ සියලූම දේශපාලන පක්‍ෂවල එක`ගතාවයෙන් යුතුව මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට අපක්‍ෂපාතී කමිටුවක් පත්කර ඒ පිළිබඳ වාර්තාව නැවත පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කරන ලෙසය. එමෙන්ම මෙලෙස ජාතික ආරක්‍ෂාව තර්ජනයට ලක්කළ පුද්ගලයන් නීතිය හමුවට පැමිණවීම සඳහා මෙම පරීක්‍ෂණ කටයුතු කඩිනම් කිරීමටත් රජය කටයුතු කළ යුතුව තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment