අසරණ වූ මුලතිව් දෙමළ ජනතාවට පිහිට වන යුද හමුදා 68 වැනි සේනාංකය

1395

බලය ලබා ගැනීමේ අරමුණු හමුවේ දේශපාලනික වශයෙන් චිරාත් කාලයක සිට යම් යම් දේ සිදු කෙරුණද මෙරට සිංහල දෙමළ ජනකොට්ඨාස දෙක අතර අතීතයේ පැවතියේ දැඩි මිත්‍රත්වයකි. සහෝදරත්වයකි. අන්‍යොන්‍ය වූ බැඳීමකි.

අලුතෙන් ඇති කළ යුතු සංහිඳියාවක්, සහජීවනයක් එදා ඔවුනට අවැසි නොවීය. උතුරේ සිට එන දමිළ මිනිසාට මෙන්ම දකුණේ සිට උතුරට ගිය සිංහලයාටද එදා නිරන්තරයෙන් හිමිවූයේ ගෞරවනීය පිළිගැනීමකි. ඔවුහු එකිනෙකාට ගරු කළහ. අතීතයේ යාපනයේ ජීවත් වෙමින් ව්‍යාපාරවල යෙදුණු සිංහල ජාතිකයන් ඒ සහෝදරත්වය උපරිමයෙන් වින්දේය.

දේශපාලනික වූ කුමන්ත්‍රණ තුළින් උපක්‍රමශීලීව ඒ මිනිසුන්ගේ සිත්සතන් තුළට සැකය හා වෛරය කාවැද්දූ දවස උදාවන තෙක්ම එකී සහෝදරත්වය අඛණ්ඩව පැවතිණි.

එහෙත් පසුකාලීනව සියල්ල උඩුයටිකුරු විය. එතැන් සිට සිදුවූ දේ බොහෝය. ඒ පිළිබඳව දැන් කතා කිරීමෙන්ද පලක් නැත. ඉතිහාසය විසින් කුරිරු ලෙස ඉල්ලා සිටි ඒ ජීවිත පූජාව අප දැන් සිදුකර අවසන්ය. මේ උදා වී තිබෙන්නේ දුර්භික්‍ෂය නිමාවේ යළි මල් පිබිදවිය යුතු කාලය ය. කළ යුතුව ඇත්තේ උතුරේත් දකුණේත් මීළඟ පරම්පරාවේ සිත්සතන් තුළ සැකය හා වෛරය වෙනුවට යළි සහෝදරත්වත්යේ බීජ වපුරා සියල්ලෝ වසන්තය වෙතට රැගෙන යෑම වන්නාහ.

අද එකී කර්තව්‍යය යථාර්ථයක්ම කරනු පිණිස උතුරු බිම පුරා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරනු ලබන කාර්යභාරය සුවිශාල වූ එකකි. එහිදී මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එම්. කේ. ජයවර්ධන යටතේ වන මුලතිව් කොම්බාවිල්හි පිහිටි 68 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කස්තුරුමුදලි ඇතුළු සෙසු විරුවන් අදටත් අසරණව සිටින ප්‍රදේශයේ ද්‍රවිඩ දරුපවුල්වල සිත් කාරුණිකව සනසමින් රටත්, ශ්‍රී ලංකා යුද හමුදාවත් වෙනුවෙන් කරනු ලබන මහා මෙහෙවරක් දෑසින් දැක ගැනීමට තරම් පසුගිය දා එහි කළ සංචාරයකදී අප වාසනාවන්ත විය.

එක් මිනිසකුගේ බල වියරුව හමුවේ උතුරේ තාරුණ්‍යය එදා නොමඟ යද්දී උතුරට උදා වූ දුර්භික්‍ෂයෙන් අනේක ලෙස පීඩා විඳිමින් ජීවිත විඳවන්නෝ අදටත් ඒ බිමේ සිටිති. කුමක් හෝ කුලියක් කර සිය දරුපැටවුන්ද සමඟින් වේලක් හැර වේලක් කා අතු පැලක නැතහොත් තහඩුවලින් සැකසුන මඩුවක හෝ එසේ නැතිනම් තල් අතු හා රෙදිවලින් ආවරණය කෙරුණු තැනක රැඳී දිවි ගෙවන ඒ මිනිසුන්ගේ ජීවිත සැබවින්ම දුක්බරය.

මුලතිව් ප්‍රදේශයේ ජීවත්වන එසේ දුකට පත් දරුපවුල් සොයා යමින් ඔවුන්ගේ හිසට වහලක් ලබා දී ඒ සිත් නිවා සැනසීමේ ව්‍යාපෘතියක් යුද හමුදා 68 වැනි සේනාංකයේ සියලු විරුවන් එක්ව මේ වන විට අරඹා ඇත. එකී සද් අරමුණ වෙනුවෙන් එකාවන්ව එකට එක්ව 68 වැනි සේනාංකයේ විරුවන් සියල්ල සිදු කරනුයේ ඒ අහිංසක ජීවිත අලෝකවත් කරනු පිණිසය.

මුලතිව් 68 වැනි සේනාංකයේ විරුවන්ගේ මේ සද්කාර්යය තුළින් අද ඒ අසරණ මිනිසුන්ට හිමිවන්නේ හිසට වහලක් පමණක්මද? නැත. ඉතා සුන්දර නිවසක් සමඟ නිවසට අවැසි සියලු ගෘහ භාණ්ඩ, මුළුතැන්ගේ උපකරණ මෙන්ම පවතින ආර්ථික අර්බුද හමුවේ ඉදිරි ජීවිතය සතුටින් ගතකිරීමට හැකිවන පරිදි යුද හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් ගොඩනඟන ලද සාර්ථක ගෙවතු වගාවක අයිතියද ඔවුනට හිමිවන්නේය.

එකී ගෙවතු වගාව යනු නිවැසියන්ගේ පරිභෝජනයට පමණක් සීමා වී නොතිබෙන්නකි. පරිභෝජනයේ පසු ඉතිරිය අලෙවි කරමින් යම් මුදලක් උපයාගත හැකිවන පරිදි එය සකසා තිබෙන්නේ මේ අසරණ මිනිසුන්ගේ ජීවිතවලට විශාල අස්වැසිල්ලක් එක්කරමිනි. ශ්‍රී ලංකා යුද හමුදාවේ 68 වැනි සේනාංකයේ මෙකී මානුෂීය කර්තව්‍යයට මේ වන විට ප්‍රදේශයේ සෙසු ද්‍රවිඩ ජනතාවගෙන් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලැබී තිබෙන්නේ ප්‍රශංසනාත්මක ප්‍රතිචාරයකි. ඔවුහු එය හදවතින්ම අගය කරමින් සිටිති.

අසරණ වූ මුලතිව් දෙමළ ජනතාවට පිහිට වන යුද හමුදා 68 වැනි සේනාංකය

යුද හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වය ඇතිව යුද හමුදාවට ආවේනික සැලසුම් තුළින් ඉතා දැකුම්කළු හා ප්‍රසන්න වූ වටපිටාවක් සහිතව ක්‍රියාත්මක මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා නොමසුරු අනුග්‍රාහක දායකත්වය ලබා දෙමින් සිටින්නේ ප්‍රදේශයේ දානපතියන්ය. ව්‍යාපාරික ප්‍රජාවය. මේ තුළින් ගොඩනැගී ඇති මනුෂ්‍යත්වය වෙනුවෙන් ඒකරාශී වීමේ ඒ සුසංයෝගය මේ රටේ අනාගතයට කොතරම් වටිනාකමක් එක් කරන්නේද? සැබැවින්ම එය මිලකළ නොහැකිය.

මෙම අනගි කාර්යය තුළින් දැනටමත් මුලතිව්හි උදයාර්කට්ටු, ආනන්දපුරම්, සුගන්දිපුරම්, ඉරණපලෙයි හා පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවල ජීවත්වූ අසරණ දරුපවුල් පහක් සඳහා ගෘහ උපකරණ, මුළුතැන්ගේ උපකරණ හා සාර්ථකව වගා කෙරුණු අක්කර භාගයක් පමණ වූ ගෙවතු වගාවක්ද සහිතව අංගසම්පූර්ණ වූ නිවාස පහක් ඉදිකර ඔවුන්ට පරිත්‍යාග කිරීමට යුද හමුදා 68 වැනි සේනාංකය කටයුතු කර අවසන්ය.

ඉන් නොනැවතී එය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ එක් නිවසක වැඩ අවසන් කර දුගී දරු පවුලකට එය පරිත්‍යාග කරමින් ඉතා කාර්යශූරව සියලු කටයුතු සිදුකිරීමට යුද හමුදාව පියවර ගැනීම ඉතා සුවිශේෂී වන්නකි.

විරුවනි, මනුෂ්‍යත්වයේ නාමයෙන් නුඹලා මේ ඉදිකරමින් සිටින්නේ අසරණ වූ ද්‍රවිඩ දරු පවුලක් වෙනුවෙන් පරිත්‍යාග කෙරෙන නිවසක් පමණක්මද? නැත. ඔබ සියලු දෙනා එක්ව මේ ඉදි කරමින් සිටින්නේ අතීතයේ දිනෙක සිදු කෙරුණු කුමන්ත්‍රණ තුළින් පුපුරා ඉරිතැලී විනාශ වී ගිය උතුරත් දකුණත් යා කෙරුණු සංහිඳියාවේ මහා දැවැන්ත පාලමය.

එතුළින් ඔවුන්ගේ මතු පරපුරේ සිත්සතන් තුළ යළි රෝපණය වී හැදී වැඩී මතුවන්නේ අතීත සිංහල ද්‍රවිඩ සහෝදරත්වයට ලේ නෑකම් පාන මහා වනස්පතීන්ය. ඒ සිසිලසේ සෙවන ලබා අනාගතයේ දිනක සැනසෙන්නේ කවරෙක්ද?

වන්දනීය වූ ලක් මාතාවය. එසේත් නැතහොත් අප ඉපදුණ මේ මාතෘභූමිය ය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment