ඉන්දීය සංචාරයේදී වනිඳුට උසස්වීමක් – සදීර සහ අවිශ්කත් සංචිතයට – ඉන්දීය සංචිතයත් නම් කරයි

293

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන් අතර ලෝකයේ අංක එක ස්ථානයේ මේ වනවිට සිය නම සටහන් කරගෙන සිටින සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග එළඹෙන ඉන්දීය ක්‍රිකට් තරග සංචාරයේ පන්දු වාර විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර ඇත.

එම තරග සංචාරයේ එක්දින තරග සඳහා නම් කරන ලද කණ්ඩායමේ උප නායකයා ලෙස කඩුලු රකින දකුණත් පිතිකරු කුසල් මෙන්ඩිස් පත් කර ඇත.

2021 වසරේ ජූනි මාසයේ පැවති එංගලන්ත සංචාරයේ දී ජෛව ආරක්ෂක බුබුල කඩ කිරීමේ වරදට ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය සහ කණ්ඩායමේ ස්ථානය ද අහිමි වූ මෙන්ඩිස් යළි උප නායක ධුරයට පත් පළමු අවස්ථාව මෙය වේ.

ඉන්දීය සංචාරයේදී වනිඳුට උසස්වීමක් - සදීර සහ අවිශ්කත් සංචිතයට - ඉන්දීය සංචිතයත් නම් කරයි

එසේම 2021 වසරේ ශිකර් ධවාන් ගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලද ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට වරම් නොලැබූ සදීර සමරවික්‍රම ද මෙවර තරගාවලිය සඳහා එක් කර ඇත.

සදීර සහ අවිශ්ක මෙන්ම පළමුවරට ශ්‍රී ලංකා සංචිතයට කැඳවනු ලැබූ ඇති නුවනිදු ප්‍රනාන්දු ද මෙම අවස්ථාව උරුම කර ගැනීමට ප්‍රධාන හේතුව ලෙස නිමා වූ එල්පීඑල්

තරගාවලියේදී ඔවුන් දක්වන ලද දක්ෂතා හේතු වී ඇත.

එම තරගාවලියේ දී තරග 10 ක් තුළදී ලකුණු 339ක් ලබාගෙන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමට අවිශ්ක ප්‍රනාන්දු සමත් විය. සදීර සමරවික්‍රම එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වූ අතර ඔහු එහිදී ලකුණු 294 ක් රැස් කර ගෙන තිබුණි. එහිදි එල්පීඑල් තරග 9කට ක්‍රීඩා කළ මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර නොමැති නුවනිදු ප්‍රනාන්දු ලකුණු 211ක් ලබා ගනිමින් දස්කම් දැක්වීය.

කෙසේ වෙතත් නුවනිදු ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩසේ සංචාරය සඳහා එක් කරගෙන ඇත්තේ එක්දින ජාත්‍යන්තර තරග සඳහා පමණි.

පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ උප නායකත්වය සඳහා පත් කරනු ලැබූ වනිදු හසරංග එල්පීඑල් තරගාවලියේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් නායකත්වයේ දස්කම් පෙන්වූ අතර ඔහු සිය කණ්ඩායම අවසන් කණ්ඩායම් හතර කරා මෙහෙයවීමට සමත් වූයේය.

මූලික වටයේ තරග අටෙන් තරග 6ක ජයග්‍රහණ තම කණ්ඩායමට හිමිකර දීමට වනිඳුගේ නායකත්ව දස්කම් හේතු වූ අතර එක්දින කණ්ඩායමේ උප නායකත්වය සඳහා පත්කළ කුසල් මෙන්ඩිස් ද එම තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේය.

අවසන් කණ්ඩායම් හතර දක්වා තම කණ්ඩායම රැගෙන ඒමට කුසල් මෙන්ඩිස් සමත්වූ අතර ලකුණු 256 ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර හය වන ස්ථානයට පත් වීමට ද ඔහු සමත් වූයේය.

එල්පීඑල් තරගාවලියේ පන්දුවෙන් දස්කම් දැක්වූ නුවන් තුෂාර ද පන්දුවාර විස්සයි විස්ස සංචිතයට පමණක් කැඳවා ඇති අතර වමත් පිතිකරු භානුක රාජපක්ෂ ද පන්දුවාර විස්සයි විස්ස තරග සඳහා පමණක් යොදා ගැනීමට තීරණය කර ඇත.

සුපුරුදු පරිදි එම තරග සංචාරයේ පන්දුවාර පනහ තරගාවලියේ සහ විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දසුන් ශානක වෙත පවරා ඇති අතර විනය නීති උල්ලංඝනය කිරීම මත අත්හිටු වූ තරග තහනමක් පනවා ඇති චාමික කරුණාරත්න ද සංචාරය සඳහා එක් කර ඇත.

කෙසේ වෙතත් එල්පීඑල් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර තෙවන ස්ථානයට පත් දිනේෂ් චන්දිමාල් (ලකුණු 287) සහ අනු ශූරතාවය දිනූ කළම්බු ස්ටාර්ස් කණ්ඩායමේ නායක ලකුණු 213ක් රැස් කළ ඇන්ජලෝ මැතිව්ස්ට ද එම සංචිතයන් දෙකින් එකකවත් අවස්ථාවක් හිමි වී නොමැත.

මෙම සංචිත සඳහා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ඊයේ හවස ලැබී ඇත.

එසේම ශ්‍රී ලංකාවට එරෙහිව නම් කර ඇති ඉන්දීය එක් දින සංචිතයේ නායකත්වය රෝහිත් ශර්මාට පවරා ඇති අතර රෝහිත් සහ විරාත් කෝලි යන දෙදෙනාම පන්දු වාර 20- 20 සංචිතයෙන් ඉවත් කර ඇත.

ඒ අනුව පන්දු වාර 20-20 සංචිතයේ නායකත්වය හර්දික් පාන්ඩයා වෙත පවරා තිබේ. රිශාබ් පාන්ට් සහ ශිකර් ධවාන් ද සංචිතයෙන් ඉවත් කර ඇත.

ශ්‍රී ලංකාව විස්සයි විස්ස සංචිතය

දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිදු හසරංග (උපනායක), අශේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුෂංඛ, කසුන් රාජිත, දුනිත් වෙල්ලලාගේ, ප්‍රමෝද් මධුශාන්, ලහිරු කුමාර, නුවන් තුෂාර

එක්දින සංචිතය

දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස් (උපනායක), චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිදු හසරංග, අශේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුෂංඛ, කසුන් රාජිත, නුවනිදු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුශාන්, ලහිරු කුමාර

ඉන්දියාව විස්සයි විස්ස සංචිතය

හර්දික් පාන්ඩයා (නායක), ඉෂාන් කිෂන් (කඩුලු රකින්නා), රුතුරාජ් ගයික්වඩ්, ශුබ්මන් ගිල්,සූර්යකුමාර් යාදිව් (උප නායක), දීපක් හූඩා, රාහුල් ත්‍රිපාති, සංජු සැම්සන්, වොෂින්ටන් සුන්දර්, යුෂ්වේන්ද්‍ර චහාල්, අක්‍ෂා පටෙල්, ආර්ෂ්ඩිප් සිං, හර්ෂල් පටෙල්, උම්රන් මලික්, සිවම් මාවි, මුකේෂ් කුමාර්

එක්දින සංචිතය

රෝහිත් ෂාර්මා (නායක), ශුබ්මන් ගිල්, විරාට් කොලි, සූර්යකුමාර් යාදිව්, ශියාර්ස් අයියර්, කේ.එල්. රාහුල් (කඩුලු රකින්නා), ඉෂාන් කිෂන් (කඩුලු රකින්නා), හර්දික් පාන්ඩයා (උපනායක), වොෂින්ටන් සුන්දර්, යුෂ්වේන්ද්‍ර චහාල්, කුල්දිප් යාදිව්, අක්‍ෂා පටෙල්, මොහොමඩ් සාමී, මොහොමඩ් සිරාජ්, උම්රන් මලික්, ආර්ෂ්ඩිප් සිං
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment