රජයේ බදු වෙනස්කම්වල අපේක්ෂා ඉටු වෙයි ද?

220

රජයේ නව බදු යෝජනා සමග පොදු ජනයා මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව ද තවත් විශාල පීඩනයකට මුහුණ දී සිටී. ආර්ථිකය විශාල ලෙස සංකෝචනය වෙද්දී වැඩි බදු ආදායමක් උපයා ගැනීමට රජය සූදානම් වෙයි. මේ වසරේ (2022) පමණක් නොව ලබන වසරේ (2023) ද ශ්‍රී ලංකාව වාර්තා කරනු ඇත්තේ ඍණ ආර්ථික වර්ධනයකි. මේ නිසා වන්නේ ආර්ථික ක්‍රියාකාරිත්වය අඩු වීමයි. සාමාන්‍යයෙන් වැඩි බදු ආදායමක් උපයා ගැනීමට පහසු වන්නේ වර්ධනය වන ආර්ථික වාතාවරණයක දීය. ආර්ථික කටයුතු අඩුවන විට නොව වැඩි වෙන විටය. එහෙත් රජයේ බදු ආදායම හොඳටම පහත වැටී විදේශ ණය ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. එසේම මුදල් අච්චු ගැසීම ද සීමා කරගත යුතුව තිබේ. ඒ නිසා රජයට බදු ආදායම වැඩි කර ගැනීමට අත්‍යවශ්‍ය කාරණාවක් වී ඇත. එය තේරුම් ගැනීමට අපහසු දෙයක් නොවේ. එහෙත් මේ බදු ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී ආදායම් මට්ටම් වැඩි සහ ගෙවීමේ හැකියාව වැඩි අයගෙන් වැඩි බදු ආදායමක් උපයා ගැනීමට සහ අඩු ආදායම් ලබන අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා මත පැටවෙන බර අඩු වන පරිදි එම බදු වෙනස්කම් සිදු කරන්නේ නම් වඩාත් හොඳය. එහෙත් තවමත් අපේ බදු ව්‍යුහය තුළ වක්‍ර බදු ප්‍රතිශතය වැඩි නිසා වැඩි බදු බරක් පැටවී ඇත්තේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා වෙත බව රහසක් නොවේ.

‘දිවයින’ මුල් පිටුවේ ඊයේ (28) සදහන් පුවතකට අනුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ ප්‍රකාශ කර ඇත. එනම් දැනටමත් ඝාතනය වී ඇති ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජය සහ මහ බැංකුව යන දෙපැත්තෙන්ම ගැනීමට සිදුවන්නේ වේදනාකාරී තීරණ බවයි. ආර්ථික අවපාතයක් තියෙන කාලයකදී ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා එවැනි තීරණ ගන්නා විට මහජනතාවට විශාල වශයෙන් ඒ වේදනාව දැනෙන බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත. මේ සියල්ලම ඇත්තය. ආර්ථිකය ස්ථාවර තත්ත්වයට ගැනීම සඳහා තවත් කාලයක් ගත වන අතර ඒ කාලයේ බොහෝ බදු වැඩි කිරීම ඇතුළු බොහෝ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට වන බව රහසක් නොවේ. එහිදී අඩු ආදායම්ලාභීන් වඩාත්ම පීඩාවට පත් වෙන පිරිස වන නිසා ඔවුන් ඉලක්ක කර ගනිමින් සමාජ ආරක්ෂණ වැඩසටහන් දියත් කළ යුතු වෙයි. ඒ සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා අලුතින්ම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ වැඩසටහනක් රජය දියත් කර තිබුණත් එය එම වැඩසටහන මෙහෙයවන ග්‍රාමීය නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ තාවකාලිකව ඇනහිට ඇති බව ද වාර්තා වේ. මේ ගැන මුදල් අමාත්‍යාංශයේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කඩිනම් අවධානය යොමු කර මේ කටයුතු සක්‍රීය ලෙස ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය කරුණකි. නැතහොත් සමාජ නොසන්සුන්තාවන් වර්ධනය වනු ඇත.

රජයේ බදු වෙනස්කම්වල අපේක්ෂා ඉටු වෙයි ද?

මේ වන විට තරමක් දුරට දේශපාලන ස්ථාවරභාවය තිබේ. වත්මන් ජනාධිපතිතුමා පැමිණ අස්ථාවර දේශපාලන තත්ත්වය ස්ථාවරව පවත්වාගෙන ගිය නිසා අඩු තරමේ මේ මට්ටමින් හෝ දේශපාලන ස්ථාවරභාවය පවත්වා ගැනීමට හැකි වූ බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබේ. එය සත්‍යයකි. කෙසේ වෙතත් මැතිවරණ කල් නොදමා නිසි ජනවරම සහිත පාලනයක් බිහි වීමෙන් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම තවත් පහසු වනු ඇත. කවර ආණ්ඩුවක් තිබුණත් නිවැරදි ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට හැකි වාතාවරණයක් රටේ පැවැතිය යුතු වේ. එය අත්‍යවශ්‍ය ප්‍රධාන කරුණකි.

මේ අතර බදු වෙනස්කම් සිදු කිරීමේදී ‘දිරිය පවුර’ නමින් දීප ව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් දියත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කරමින් කොළඹ 01, මුදල් අමාත්‍යාංශයේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කීවේ බදු ගෙවන්නන්ගේ යෝජනා සහ විකල්ප අදහස් සමග නම්‍යශීලී වීමට රජය ඕනෑම මොහොතක සූදානම් බවයි. මේ සඳහා සහභාගි වන ලෙස මාධ්‍යවේදීන්ට ද ආරාධනය කර තිබිණි. ඒ සඳහා ඉඩහසර ලබා දුන් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටියට අපි ස්තුති කරමු. මෙම සම්මන්ත්‍රණයේ දී නව බදු සංශෝධනයන්ට අදාළ විස්තර ද ඉදිරිපත් කරනු ලැබිණි. එම ඉදිරිපත් කිරීම සිදු කළේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහතාය. ඔහු එහිදී කතා කරමින් බදු ප්‍රතිසංස්කරණ ගැන වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කළේය. මේ අවස්ථාවට සහභාගී වීමට මාධ්‍යවේදීන්ට ආරාධනය කර තිබුණත් ආචාර්ය කපිල සේනානායක මහතාගේ ඉදිරිපත් කිරීමේ පිටපත් අන් සියලු දෙනාට ලබා දුන්නත් මාධ්‍යවේදීන්ට එය ලබා නොදීමට මුදල් අමාත්‍යාංශයේ එක් නිලධාරිනියක් කටයුතු කර තිබිණි. පසුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ මාධ්‍ය ලේකම් පැතුම් පැස්කුවල් මහතාට දන්වා එම ඉදිරිපත් කිරීමේ මුද්‍රිත පිටපත ලබා ගැනීමට ද සිදු විය. මේ ගැන අදාළ නිලධාරිනියට මාධ්‍යවේදීන්ගේ අප්‍රසාදය ද පළ විණි. ඇත්ත වශයෙන්ම මේ පණිවිඩය රටටම සන්නිවේදනය වන්නේ මාධ්‍යවේදියා මේ පිළිබඳ ලියන කියන දෙය නිසාය. මාධ්‍යවේදීන්ට සිදු කළ මේ කෙනෙහිලිකම දැනගත් මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය මහතා ද පසුව මේ ලියුම්කරුට දුරකථනයෙන් කතා කර කනගාටුව ද පළ කිරීමට තරම් නිහතමානී විය. මුදල් අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු ප්‍රධානීහු සහ කොළඹ දිස්ත්‍රික්කයේ බදු ගෙවන ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඩී.ආර්.එස්. හපුආරච්චි යන මහතා ද මෙහි දී කතා කළහ. කොළඹ දිස්ත්‍රික්කයේ බදු ගෙවන්නන් වෙනුවෙන් පැවැති මෙම සම්මන්ත්‍රණය ඉදිරියේ දී දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය කරමින් පැවැත්වීමට නියමිත ය. සාධාරණත්වය යනු ප්‍රධාන බදු මූලධර්මයකි. ඒ නිසා අය කරන බද්ද සාධාරණ විය යුතුය. එය බදු ගෙවන්නාට ගෙවිය හැකි බද්දක් ද විය යුතුය. ඒ නිසා නව බදු ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී බදු ගෙවන්නන්ගේ පැත්තෙන් ද සිතා බලා කටයුතු කිරීමට පියවර ගැනීම ද අපි අගය කරමු.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කපිල සේනානායක මහතාගේ කතාවේ දී බදු ආදායමේ දැනට පවතින ප්‍රවණතා ද සඳහන් කරනු ලැබිණි. ඒ අනුව වර්ෂ 2019 න් පසු සිදු කළ බදු වෙනස්කම් නිසා වර්ෂ 2020 දී සහ වර්ෂ 2021 දී රජයේ බදු ආදායමට සිදු වූ විශාල හානිය කැපී පෙනේ. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථික කටයුතු අඩපණ වීම ද එයට හේතු වන්නට ඇත. ආචාර්ය කපිල සේනානායක මහතා එක්තරා වගුවක් ඉදිරිපත් කරමින් වක්‍ර බදු සහ සෘජු බදු අතර රට රටවල ප්‍රතිශතයන් ද සඳහන් කළේය. මේ අනුව කලාපයේ අන් සෑම රටකටම වඩා අපේ රටේ බදු සංයුතිය තුළ තවමත් සියයට 77 ක විශාල ප්‍රතිශතයක් පවතින්නේ වක්‍ර බදු හෙවත් භාණ්ඩ හා සේවා මත පනවන බදුය. සියයට 23 ක් සෘජු බදු ලෙස එකතු කර ගනී. මේ සෘජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය සියයට 20:80 සිට සියයට 40:60 දක්වා වෙනස් කර ගන්නා බවට සෑහෙන කලක සිට ඉලක්ක කළත් එම සැලසුම් සාර්ථක වී නැත. ආචාර්ය කපිල සඳහන් කරන පරිදි මෙම සෘජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය ඉන්දියාවේ සියයට 33:67 ක් ද, බංග්ලාදේශයේ සියයට 37:63 ක්ද, භූතානයේ සියයට 74:26 ක්ද, නේපාලයේ සියයට 31:69 ක් සහ පාකිස්තානයේ සියයට 49:51 ක්ද වේ. මේ අනුව අපට පැහැදිලි වන්නේ අපේ රටේ තවමත් සාමාන්‍ය ජනයා මත බර පැටවෙන වක්‍ර බදු බර විශාල ලෙස වැඩි බවයි. මේ තත්ත්වය වහාම වෙනස් කරගත නොහැකි බව සත්‍යයකි. එහෙත් මේ නව බදු ප්‍රතිසංස්කරණ හරහා හෝ ඒ දිශාවට

ගමන් කිරීම අත්‍යවශ්‍ය දෙයකි. පසුගිය කාලයේත් දිගින් දිගටම මේ බව කීවත් ඒ දිශාවට ප්‍රමාණවත් ලෙස බදු සංයුතියේ වෙනසක් සිදුව නොමැත. ඒ නිසා මේ රට හොඳටම වැටී ඇති මේ අවස්ථාව බොහෝ අසීරු ප්‍රතිසංස්කරණ කළ හැකි මොහොතක් බවට පත්ව ඇති බව ද අප අමතක කළ යුතු නොවේ. ඒ නිසා මේ ගැන මුදල් අමාත්‍යාංශය සහ රජයේ ආර්ථික බලධාරීන් අවධානය යොමු කිරීම වටී.

මේ අතර දේශීය ආදායම් සේවා සංගමය පෙන්වා දී ඇති වැදගත් කරුණක් ද තිබේ. එනම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය වන රැමිස් පද්ධතිය තුළ උද්ගතව ඇති ගැටලු පිළිබඳවයි. එය වර්ෂ 2014 දී ආරම්භ කර වර්ෂ 2016 සිට ක්‍රියාත්මක කර ඇත. මේ සඳහා ගත යුතු කඩිනම් විසඳුම් ක්‍රියාමාර්ග ද ඔවුන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට යෝජනා කළ බව දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා මේ ලියුම්කරුට කියා සිටියේය. මොන බදු ප්‍රතිසංස්කරණ ගෙනාවත් ඒවා ක්‍රියාත්මක කිරීමට නම් ශක්තිමත් බදු පරිපාලනයක් තිබිය යුතු වේ. එහෙත් මේ රැමිස් පද්ධතියේ ගැටලු නිසා එම පද්ධතියේ අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බවත් එය මුල් අරමුණුවලින් පරිබාහිරව ක්‍රියාත්මක වන තත්ත්වයක් දක්නට ලැබෙන බවත් දේශීය ආදායම් සේවා සංගමය රාජ්‍ය ගිණුම් කාරක සභාවට පවසා ඇත. මේ නිසා රැමිස් පද්ධතියේ ක්‍රියාකාරිත්වය නිවැරදි කිරීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බවත් එසේම එහි දුර්වලතා හඳුනා ගැනීමට සහ විසඳුම් යෝජනා කිරීමට විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස සහ එම පද්ධතියේ පරිපාලනය මුළුමනින්ම භාර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළින්ම කණ්ඩායමක් සකස් කරන ලෙසත් එම සංගමය යෝජනා කර ඇත. මේ නිසා ඉදිරියේ දී රුපියල් බිලියන ගණනක රාජ්‍ය වියදමක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇති බව ද දේශීය ආදායම් සේවා සංගමය තවදුරටත් රාජ්‍ය ගිණුම් කාරක සභාවට පෙන්වා දී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@ gmal.com


බදු ගෙවන්නන්ගේ විකල්ප අදහස් සමග නම්‍යශීලී වීමට රජය සූදානම්
– මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

රජයේ බදු වෙනස්කම්වල අපේක්ෂා ඉටු වෙයි ද?

රට පත්ව ඇති මූල්‍ය අර්බුදයෙන් මුදා ගැනීමේ අරමුණෙන් රජය හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්ති වෙනස් කළ නොහැකි ශිලා ලේඛන නොවේ. බදු ගෙවන්නන්ගේ යෝජනා සහ විකල්ප අදහස් සමග නම්‍යශීලී වීමට රජය ඕනෑම මොහොතක සූදානම්. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ලෝකයේ අඩුම ආදායම් ලබන රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක් වුණා. ණය ගෙවා ගත නොහැකි බව ලෝකයට කියන්න වුණා. මේ සියල්ල ඒ විදියට සිදු වෙද්දි අපේ රටේ පවුල් ලක්ෂ 58න් ලක්ෂ 34ක් ජීවත්වීම සඳහා රජයෙන් ආධාර ඉල්ලනවා. පාසල්වල දරුවන් ලක්ෂ 42ක් ඉගෙන ගන්නවා. තවත් ලක්ෂ දෙකක් විතර දරුවන් පිරිසක් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා. වාර්ෂිකව ලක්ෂ 57ක විතර ජනතාවක් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබනවා. රටේ ජනගහනය කෝටි දෙකක් වුණාට කෝටි හයක විතර ජනතාව රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබනවා. මේ එකක්වත් අපට නවත්වන්න බෑ. අපි මොකක් ද කරන්නෙ. ණය ගන්න හැකියාවක් නෑ.

අපට තියෙන හොඳම විකල්පය බදු ආදායම වැඩි කර ගැනීමයි. ඒ සඳහා තමයි මේ නව බදු ප්‍රතිපත්ති හදන්නෙ. අපි මේ සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කරන්නෙ මේ නව ප්‍රතිපත්ති ගැන බදු ගෙවන ජනතාව විදියට ඔබලා දක්වන ප්‍රතිචාරයන්, විකල්ප යෝජනා අදහස්වලට සවන් දෙන්නයි. මේ කිසි දෙයක් සෙල්ලිපි නොවෙයි. බදු ගෙවන ජනතාවගේ ඉල්ලීම, සාධාරණ යෝජනා මත නම්‍යශීලී වෙන්න රජය ඕනෑම මොහොතක සූදානම්.

බදු ගෙවන්නන්ගේ අදහස් ලබා ගැනීම සඳහා සංවිධානය කෙරෙන “දිරිය පවුර” දීප ව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාව සමාරම්භ කරමින් අමාත්‍යවරයා පසුගිය දෙසැම්බර් 23 වැනිදා මේ බව කියා සිටියේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment