සීඅයිඩිය කෙහෙළියගෙන් අනිවාර්යයෙන් ප්‍රශ්න කළ යුතුයි – වෛද්‍ය නලින්ද ජයතිස්ස

82

ප්‍රශ්නගත ඉමියුනිග්ලොබියුලීන් ඖෂධ ගෙන්වීමේ වංචාව සම්බන්ධයෙන් එවකට විෂය භාර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම ප්‍රශ්න කළ යුතු බවත් එය තවදුරටත් ප්‍රමාද වීම ප්‍රශ්නාර්ථයක් බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (22 වැනිදා) සඳහන් කළේය.

මෙම ඖෂධ ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම ඇමැතිවරයා ලිඛිතව නොවූවත් වාචිකව බලපෑම් කර ඇති බව පැහැදිලි යැයිද හෙතෙම කීවේය.

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (22 වැනිදා) එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී හෙතෙම මෙසේද කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විදිහට පරිපාලන සේවයෙන් කෙනෙක්ව පත්කළ යුත්තේ කියන එක වෙනම කාරණයක්. පත්කරන ලේකම් කවුරු වුණත්, රටට ඖෂධ හිතුමනාපයේ ගෙන්වන්න බැහැ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ ලියාපදිංචිය සහ සැපයුම්කරුවන් ලියාපදිංචිය සිදුකරනවා. ලෝකය පිළිගත් නිර්ණායක අනුව ඖෂධ සහ සැපයුම්කරුවන් ප්‍රමිතිගතවී සිටිනවා ද යන්න සලකා බලා සීමිත පහසුකම් සහිතව වුවත් ඖෂධ සාම්පල් පරීක්ෂාවට ලක්කරලයි ඇනවුම් කරන්නේ. ඉමියුනිග්ලොබියුලීන් ඖෂධය ගුජරාට්වල නිෂ්පාදනය කරලා ද යන්න පරීක්ෂා කරන්නේ ඖෂධ නියාමන අධිකාරියෙන්. ඒ සඳහා බලය තිබෙන්නේ ඔවුන්ට. අනෙක මේ ඖෂධ ගෙන්විය යුත්තේ රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන්. ඖෂධ සැපයීම් අධිකාරියට භාරදෙන්නේ මේ සංස්ථාවෙන්. ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් සිටින අතිරේක ලේකම්වරයාගේ අනුමැතිය නොමැතිව බෙදාහැරීම කරන්න බැහැ. නමුත් ඩොලර් මිලියන 2.5ක් වැය කර රුපියල්වලින් කෝටි 100ක ගනුදෙනුවක් සිදුකර තිබෙනවා. නමුත් රට පිළිගත් පරීක්ෂණ ආයතන තුනකින් තහවුරු වී තිබෙන්නේ මේ එන්නත් තුළ ඉමියුනිග්ලොබියුලීන් නැති බවයි. මේ දේවල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුට පමණක් කළ හැකි බව ඔබ හිතනවාද? හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ලගේ ලිඛිතව නොවුණත් වාචිකව නියෝග මේ සඳහා ලැබිය යුතුමයි. මේ සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න කරන්න ඕනෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇමැතිගෙන් ප්‍රශ්න කරන්න මේ තරම් ප්‍රමාද කරන්නේ ඇයි? මේ පරීක්ෂණය හරියට සිදුකළහොත් ඒ හා බැඳුණු තවත් තොරතුරු රාශියක් හෙළිදරව් කර ගන්න පුළුවන්. කෙහෙලිය රඹුක්වැල්ල පමණක් නොවෙයි මීට කලින් සිටි ඇමැතිවරුන් ගණනාවකුත් සම්බන්ධයෙන් හෙළිකර ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේක.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment