එරෝෆ්ලොට් අරඹා මාස 9 ක් තුළ සංචාරකයෝ ලක්‍ෂයක් ලංකාවට

289

– උදයංග වීරතුංග

රුසියාවේ සිට සෘජු ගුවන් ගමන් ‘එරෝෆ්ලොට් ගුවන් සේවය’ ආරම්භ කර මාස 09 ක් ඇතුළත සංචාරකයන් එක්ලක්‍ෂ දෙසිය අනූඅටක් (100,298) මෙරටට පැමිණ ඇතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

මෙම සංචාරකයන් මගින් ඩොලර් මිලියන 150 කට වැඩි විදේශ විනිමයක් රටට ලැබී ඇතැයිද වීරතුංග මහතා කියා සිටී.

එහිදී එරෝෆ්ලොට්, කොළඹට ගුවන් ගමන් 101 කින් මගින් 30,083ක් රැගෙනවිත් ඇති අතර එම සංචාරකයන් හරහා ඩොලර් මිලියන 45කට වැඩි ආදායමක් රටට ලැබී ඇත. එසේම AZUR Air ගුවන් ගමන් 128 හරහා සංචාරකයන් 38,582ක් රැගෙනවිත් ඇති බවද ඒ මහතා කියයි.

කොරෝනා වසංගත සමයේ වුවත්, මාලදිවයින තුළ සංචාරක හිතකාමී වාතාවරණයක් සෑදීමට අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ ගත හැකි නායකයකු එරට පාලනය කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අද මාලදිවයිනේ සංචාරක කර්මාන්තය අත්කරගෙන ඇති සාර්ථකත්වය, අපට යථාර්ථය තේරුම් ගැනීමට කදිම නිදසුනක් බවත් ඔහු කියා සිටී. මෙම වසරේ ජුනි 30 දක්වා ලංකාවට පැමිණි සමස්ත සංචාරක එකතුව 624,874 ක් වන අතර එම කාලයේදී මාලදිවයිනට සංචාරකයන් 929,607ක් පැමිණ ඇත. එනම් අපට වඩා 148% වැඩියෙන් මාලදිවයිනට සංචාරකයන් පැමිණ ඇති බවද ඔහු පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවට ගලා ආයුතු ඩොලර් බිලියන ගණනක් එසේ අහිමිවීමට එම කාලයේ සිටි ජනාධිපතිවරයා වගකිවයුතු බවද වීරතුංග මහතා පවසයි.

උදයංග වීරතුංග මහතා මේ බව පැවසුවේ ඊයේ (17 දා) පෙරවරුවේ මොස්කව් සිට සංචාරකයන් 290 ක් රැගත් ගුවන් යානයක් කටුනායකට පැමිණීමෙන් පසු එහි සිටි සංචාරකයන් පිළිගැනීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන්, ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment