පරිපාලන දැනුමක් නැති ආණ්ඩුකාරවරුන් නිසා පළාත් සභා අරමුදල් වතුරේ ගිහින්

234

විගණනයෙන් හෙළි කරයි

පරිපාලන හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති පිරිසක් ආණ්ඩුකාරවරුන් ලෙස පත්කර තිබීම නිසා පළාත් සභා කිහිපයක පළාත් අරමුදල් විනාශ වී ඇතැයි රාජ්‍ය විගණයේදී පෙනී ගොස් තිබේ.

ඇතැම් පළාත් ආණ්ඩුකාරවරුන් සිදුකර තිබෙන නාස්තිකාර වියදම් සහ මූල්‍ය අවභාවිතා සම්බන්ධයෙන් වාර්ෂික විගණන වාර්තා මගින් පෙන්වා දී තිබුණත් ඒවා නතර කිරීමට හෝ පාලනය කිරීමට නොහැකි වූ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරියෙක් සඳහන් කළේය.

එක්තරා පළාත් ආණ්ඩුකාරවරයකු සැමන් ටින් මාළු කර්මාන්තශාලාවක් ඉදිකිරීම, පලතුරු බීම සැකසීම, දියර පොහොර නිපදවීම, කෘෂි නිෂ්පාදන අපනයන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි අසූපහකට අධික මුදලක් වැයකර තිබුණත් ඒවායින් රටට සත පහක ආර්ථික වාසියක් ලැබී නැතැයි විගණනයෙන් හෙළි කර ඇත.

ඇතැම් ආණ්ඩුකාරවරුන් තම දූ දරුවන් සහ දේශපාලන හිතවතුන් පළාත් ආයතනවල තනතුරුවලට පත්කර ඔවුන්ට සුඛෝපභෝගී වාහන, ඒ සඳහා අසීමිත ලෙස ඉන්ධන, වැටුප් ඇතුළු දීමනා ලබාදෙමින් පළාත් සභා අරමුදල් විනාශ කර ඇතැයි ද විගණන වාර්තා මගින් පෙන්වා දී ඇත.

බස්නාහිර පළාතට දුරින් පිහිටි පළාතක එක්තරා ආණ්ඩුකාරවරයකු කොළඹ කාර්යාලයක සිට අදාළ පළාත් පරිපූර්ණ කටයුතු සිදුකර ඇතැයි ද හෙළි වී තිබේ.

මේ අතර ඇතැම් ආණ්ඩුකාරවරුන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා පළාත් සභාවට අයත් වාහන ලබාදී තිබූ බවත් කිසිදු පරිපාලන දැනුමක් නොමැති අයට විවිධ තනතුරු ලබාදී අසීමිත ලෙස ඒ අයට දීමනා ගෙවා තිබෙන බවත් වාර්තාවල දක්වා තිබේ. එසේ ලබාදී තිබූ වාහනයක් අනතුරකට ලක් කර කෝටි දෙකක පමණ පාඩුවක්ද සිදුකර ඇත.

කෙසේ වෙතත් මේ වනවිට පළාත් සභා හතරක ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඒ සඳහා අලුතින් ආණ්ඩුකාරවරුන් පත්කිරීමට රජය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණි. බස්නාහිර, වයඹ, උතුර සහ නැගෙනහිර යන පළාත් හතරට නව ආණ්ඩුකාරවරුන් මෙලෙස පත් කිරීමට යන බවත් ඒ සඳහා සුදුස්සන් පත් කිරීම අත්‍යවශ්‍ය බවත් විගණන වාර්තා උපුටා දක්වමින් පරිපාලන අමාත්‍යාංශ නිලධාරියා පෙන්වා දුන්නේය. පළාත් සභා විසුරුවා හැර මේ වන විට වසර හතරකට අධික කාලයක් ගත වී ඇත.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment