පාස්කු වන්දිය ලක්ෂ 85 බැගින් ගෙවන්න මෛත්‍රී 2033 තෙක් කල් ඉල්ලයි

601

කෝටි 1 1/2ක් දැනටම ගෙවලා

මේ වන විට හේමසිරි ලක්‍ෂ 20ක් පූජිත් ලක්‍ෂ 17ක් වන්දි ගෙවලා

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ගෙවන ලෙසට තමන්ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ කෝටි දහයක වන්දි මුදලින් ලක්‍ෂ 150 ක් මේ වන විට ගෙවා ඇති බැවින් ඉතිරි රුපියල් ලක්‍ෂ 850 ක හිඟ මුදල වසරකට රුපියල් ලක්‍ෂ 85 බැගින් වූ සමාන වාරික දහයකින් එනම් 2033 ජුනි 30 වැනිදා දක්වා ගෙවීමට කල් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසම් පත්‍රයක් ගොනුකර තිබේ.

සිය හිතවතුන් පරිත්‍යාග කළ රුපියල් ලක්‍ෂ 100 ක් හා සිය ස්ථිර බැංකු තැන්පතුවක තිබූ රුපියල් ලක්‍ෂ 50 ක් එනම් රුපියල් ලක්‍ෂ 150 ක් 2023.06.28 වැනිදා පාස්කු ප්‍රහාර වින්දිතයන් නමින් ආරම්භ කොට ඇති අරමුදලට ගෙවා ඇති බව සිය නීතිඥවරයා මගින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් මගින් වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.

රුපියල් 97,500 ක් වූ තමන්ට මාසිකව ලැබෙන ජනාධිපති විශ්‍රාම වැටුප හා දීමනාවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ලැබෙන රුපියල් 54,285 ක වැටුපත් එකතු කර වසරකට රුපියල් ලක්‍ෂ 85 ක් ගෙවීමට අවසර දෙන ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

පාස්කු ප්‍රහාර මාලාවක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම අභියෝගයට ලක් කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 11 ක් විභාග කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඒකමතිකව ලබාදුන් තීන්දුවක් මගින් හිටපු ජනාධිපතිවරයාට එකී වන්දිය ගෙවන ලෙසට නියෝග කොට තිබිණි.

හිටපු ජනාධිපතිවරයා ඇතුළු ප්‍රධාන වගඋත්තරකරුවන් ඔවුන් වෙත පැවරී තිබූ වගකීම් ඉටුකිරීම පැහැර හැරීමෙන් වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල පසුගිය ජනවාරි 12 වැනිදා එම තීන්දුව ලබා දී තිබිණි. එදින සිට මාස හයක කාලයක් එනම් පසුගිය 12 වැනිදා හෝ ඊට පෙර පෞද්ගලික මුදලින් එම වන්දි මුදල ගෙවිය යුතු බවට ද විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කොට තිබිණි.

හිටපු ජනාධිපතිවරයාට අමතරව හිටපු අතිරේක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් යන වගඋත්තරකරුවන් ද වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ද නිගමනය කළ විනිසුරු මඬුල්ල පූජිත් ජයසුන්දර හා නිලන්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන්ට රුපියල් මිලියන 75 බැගින් වූ වන්දි මුදලකුත් ගෙවනා ලෙසටත් රුපියල් මිලියන දහයක වන්දි මුදලක් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ගෙවිය යුතු බවටත් නියෝග කොට තිබිණි.

හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මේ වන විට රුපියල් ලක්‍ෂ 20 ක මුදලකුත්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්‍ෂ 17 ක වන්දි මුදලකුත් ගෙවා නිමකර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ එකී වන්දි මුදල නිසියාකාරව ගෙවීම පැහැර හැරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන බැවින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට පැමිණිලි කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය පියවර ගනු ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment