කබ්රාල්ලාට ග්‍රීක බැඳුම්කර අධිචෝදනා නොදෙයි

1643

අවුරුදු 10කට පෙර ඉහළ උසාවිය ඉවත දැමූ පැමිණිල්ලකට කොමිසම නඩු දමලා!

අල්ලස් කොමිසම නින්දෙන් ඇහැරිලා – විත්තියේ නීතිඥවරු

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මහාධිකරණය හමුවේ ගොනුකර ඇති අධිචෝදනා පත්‍රයේ නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය නිසා ග්‍රීක බැඳුම්කර බිල්පත් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවේ විත්තිකරුවන් වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියත් අධිකරණය ඔවුනට අධිචෝදනා පත්‍ර භාරදීමක් සිදු නොකළේය.

සිය සේවාදායකයන්ට එරෙහිව ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත්තේ එකී බැඳුම්කර බිල්පත් මිලදී ගැනීමෙන් වංචනික ක්‍රියාවක් සිදුවී නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර වසර දහයකට පසුව නින්දෙන් අවදි වූ සෙයක් කියාපාමින් වන්නේ යැයි විත්තියේ නීතිඥවරුන් අධිකරණයට පැවසූහ. සුජීව සේනසිංහ මහතා විසින් ශ්‍රී ලංකා මහ බැංකුව ග්‍රීක බැඳුම්කර බිල්පත් මිලදී ගැනීම අභියෝගයට ලක්කර ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රභ කොට වසර දහයකට පමණ පසුව එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ සිය සේවාදායකයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව එම අධිචෝදනා පත්‍රය ගොනු කර ඇති බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණයට පැවසීය. එකී අධිචෝදනා පත්‍රය ගොනුකර ඇත්තේ මෑතකදී සම්මත කළ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ වන්නේ යැයි ද අධිකරණයට පැවැසූ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා එම පනත යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කර ඇත්තේ 2024.4.11 වුවත් චෝදනා පත්‍රයට අත්සන් තබා ඇත්තේ 2024.03.26 වැනිදා වන්නේ යැයිද අධිකරණයට පැවසීය. එබැවින් එම අධිචෝදනා පත්‍රය නෛතික වලංගුතාවයක් නොමැති බලශුන්‍ය අධිචෝදනා පත්‍රයක් වන්නේ යැයි ද අධිකරණයට පැවැසූ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා එම අධිචෝදනා පත්‍ර සිය සේවාදායකයා ඇතුළු විත්තිකරුවන්ට භාරදීමක් සිදු නොකරණ ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නීතිපතිවරයා හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හෝ නීති විරෝධී ආකාරයෙන් හෝ තාක්ෂණික දෝෂ සහිත අධිචෝදනා පත්‍රයක් ගොනුකළහොත් චූදිතයන් නිදහස් කිරීමේ අභිමතය මහාධිකරණයට ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ග්‍රීක බැඳුම්කර බිල්පත් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් නිවැරදිව කාර්ය පටිපාටිය අනුගමනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබියදීත් වසර 10කට පසුව මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කර ඇත්තේ සිය සේවාදායකයා ඇතුළු විත්තිකරුවන් අපහසුතාවට පත්කිරීමේ අරමුණින් බව පෙනී යන බවත් එබැවින් අධිචෝදනා පත්‍ර භාරදීමකින් තොරවම ඔවුන් නිදහස් කරන්නැයි හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එකී මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට හෝ අවසර ලබානොදී මුල් අවස්ථාවේදී නිශ්ප්‍රභ කොට තිබියදීත් එයට පාදක වූ සිද්ධියක් සම්බන්ධයෙන්ම මහාධිකරණය හමුවේ නඩු පැවරීමෙන් පැමිණිල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝගයක් කර ඇති බවත් එය එක්තරා ලෙසකින් ශ්‍රේෂ්ඨාධිකරණයට කළ අපහාසයක් ලෙස සැලකිය හැකි බවත් තුන්වන හා පස්වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට පැවසීය.

එකී බැඳුම්කර මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී කිසිදු අක්‍රමිකතාවයක් සිදුවී නොමැති බව හිටපු මහ බැංකු අධිපතිවරයකු වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නීතිපතිවරයාට ද දැනුම් දී ඇතැයි ද ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට පැවසූ අතර එය ද්වේශ සහගතව කළ ක්‍රියාවක් බව පෙනී යන්නේ යැයි ද හෙතෙම පැවසීය. එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව අවුරුදු 10ක් නිදාගෙන සිටි අල්ලස් කොමිසම එළැඹෙන මැතිවරණ සමයේ යම්කිසි පාර්ශ්වයකට හෝ පුද්ගලයකුට යම්කිසි අනිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමේ අරමුණින් එම චෝදනා පත්‍රය ගොනුකර ඇති බව පෙනී යන්නේ යැයි ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවසීය.

විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධයෙන් අධිකරණයේ කාර්ය සටහන් ලබාගෙන අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ලිඛිතව පිළිතුරු ලබාදීමට අපේක්ෂා කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා අධිකරණයට පැවසීය.

විත්තිය ඉදිරිපත් කළ ඉතා සරල මූලික විරෝධතාවලටත් ලිඛිතව පිළිතුරු දීමට අවසර ඉල්ලීම නුසුදුසු බවත් විවෘත අධිකරණය හමුවේදී පැවසූ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ලබන 24 වැනි දින හෝ ඊට පෙර පැමිණිල්ලේ ලිඛිත විරෝධතා ගොනුකරන ලෙසට නියෝග කළේය. විත්තියේ මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය ලබන 31වැනිදා නිකුත්කිරීමට ද අධිකරණය දින නියම කළේය.

එම නඩුවේ සිවුවන විත්තිකරු මේ වනවිට මියගොස් ඇති බව ප්‍රකාශ වූයෙන් ඒ බව සනාථ කිරීම සඳහා මරණ සහතිකය ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද විනිසුරුවරයා නියෝග කළේය. අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු සෙසු විත්තිකරුවෝ සිවුදෙනා ඊයේ (03 දා) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නීතිඥ ශාලික ගුණවර්ධන, අකිල අමුණුගම, පසිදු බටගොඩ, කසුන් සරත්චන්ද්‍ර, සෙනාල් විජේසිංහ, මල්දිනි හේරත්, කනිෂ්ක බණ්ඩාර, චතුර කාරියවසම්, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ, ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්ත රෝහණධීර යන මහත්වරු හා ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment