ගණේමුල්ලේ සංජීවගේ ජීවිත ආරක්ෂාවට ගත් පියවර උසාවියෙන් අසයි

528

දින 90 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සංජීව කුමාර නවරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තාගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර කුමක් දැයි වහාම තම අධිකරණයට වාර්තා කරන ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර මහතා ඊයේ (19 දා) බස්නාහිර උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි පුෂ්පකුමාර මහතාට හා වීරඟුල පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

පසුගිය 13 වැනිදා ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් සිය සේවාදායකයා මේ වනවිට වීරඟුල පොලිස් ස්ථානයේ රඳවා සිටින බවත් පරික්‍ෂණ පවත්වන මුවාවෙන් නිරතුරුවම පිටතට රැගෙන යෑම නිසා ඔහුගේ ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් පෙන්වා දෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය. අධිකරණය ඔහු ඇප මත මුදාහැරියේ ඔහුට එරෙහිව පොලිසිය විසින් ඉදිරිපත් කළ චෝදනා බැලූ බැල්මට ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්‍ෂි නොමැතිකම මෙන්ම පොලිසිය කියනා තරම් ඒවා බරපතළ චෝදනා නොවන නිසා බව අධිකරණයට පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයක් හමුවේ එකී චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වනතෙක් නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය අනෙකුන්ට මෙන්ම සිය සේවාදායකයාට ඇතැයි ිද පැවසීය.

නීතිඥ නිසංසලා දිසානායක, දිනේෂ් ගොඩගම යන නීතිඥවරුන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතා එම සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ අබේනායක, මිනුවන්ගොඩ ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment