ගොවීන්ගේ බෝග පැහැර ගන්නා අමුතු සෙල්ලම…

261

සැකකරු අන්තර්ජාලය ඔස්සේ මේ ජාවාරම ජයටම කරලා

ඉලක්ක වූයේ කෘෂිබෝග

2019 අක්‍රීය වූ ගිණුමක චෙක් පත් භාවිත කර ජාවාරමේ යෙදිලා

මහමොළකරු කළින් ව්‍යාපාර කර පාඩුවූ ව්‍යාපාරිකයෙක්

ප්‍රධාන සැකකරුට මහනුවර අධිකරණයෙන් වරෙන්තු 7ක් ඒවත් මෙවැනි වංචා

පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයෙන් වටලයි

පැය 24 ක් යන්න කලින් මහමොළකරු අල්ලලා

කෘෂිකර්මය තම ජීවනෝපාය කරගනිමින් ජීවිතය සරි කරගන්නා මිනිසුන් අප රටේ බොහෝය. මහ පොළොව සමග ඔට්ටු වී ඔවුන් තම ධනය, ශ්‍රමය, කාලය කැපකර අස්වැන්නක් ලබාගන්නේ කිසිම කෙනකුට අබමල් රේණුවක පාඩුවක් හිංසාවක් නො කරමිනි. එසේ රැස්කරගත් අස්වැන්න හොඳ මිලකට විකුණා තම අතමිට සරුකර ගැනීමට ඔවුන් කල්පනා කරන්නේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සපුරා ගැනීමටය. තම සිත්හි රැඳි බලාපොරොත්තු මල්ඵල ගැන්වීමට ය. එහෙත් කරුමය වන්නේ තමන් මහන්සියෙන් වගාකොට නෙළාගත් අස්වැන්න නිරපරාදේ හොර ජාවාරම්කරුවන්ගේ ගොදුරු වීමය. මේ කතාව ද එවැනි අහිංසකයන් සූරාකන අධමයන් පිළිබඳ එකකි. මේ කතාව කවුරුත් ඇසිය යුතුවන්නේ ඉන් ගත හැකි පාඩම් බොහෝ ඇති හෙයිනි.

ඔහු නමින් කේ. සමන්ත ය. අනුරාධපුර ප්‍රදේශයේ ගොවි මහතකු වන ඔහු පසුගිය කාලය තුළ රටකජු වගාකොට ඉහළ අස්වැන්නක් ලබාගෙන තිබුණි. ලබාගත් ඵලදාව ඉහළ මිලකට විකිණීමට සිත්වූ සමන්ත අන්තර්ජාලයේ දැන්වීමක් පළකළේය. එම දැන්වීමේ ඔහු රටකජු කිලෝවක් සඳහා මිල සඳහන් කර තිබුණේ රුපියල් 850 ලෙසට ය. මෙම දැන්වීම ඇස ගැටුණ එක්තරා පුද්ගලයකු දැන්වීමෙහි සඳහන් සමන්ත මහතාගේ දුරකථනයට කතාකොට තමන් රටකජු මිලදී ගැනීමට සූදානම් බවත් රුපියල් 850ට නොව රුපියල් 840ට රටකජු ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත. එයට සිය කැමැත්ත සමන්ත විසින් පළකර ඇත. නැවතත් ඔහු ඇමැතූ එම පුද්ගලයා ඉල්ලා සිටින්නේ කිලෝවකින් රුපියල් දෙකක් අඩු කරන ලෙසට ය. ඊට එකඟතාවයක් දැක්වූ සමන්ත මහතා තම රටකජු අස්වැන්න රැගෙන එන්නේ කොහේට දැයි විමසා ඇත. පෙර කී පුද්ගලයාගේ “තරම” එළියට එන්නට පටන් ගන්නේ එතැන් සිට ය. ඒ පුද්ගලයා ඇතුළු තවත් පුද්ගලයන් රැසක් මේ ආකාරයට විවිධ පුද්ගලයන්හට වංචනික ක්‍රියා සිදුකරන පුද්ගලයන් බව සමන්ත දැන සිටියේ නැත.

සිය කූට උපක්‍රම භාවිත කළ ජාවාරම්කරුවන් කජු තොගය රැගෙන එන්නට කියන්නේ කිරිබත්ගොඩ තොග වෙළෙඳ සැලකට ය. අදාළ බඩු ටික රැගෙන එන තෙක් මෙම ජාවාරම්කරුවන් රඟපාන්නේ තොග කඩයක වැඩකරන ආකාරයෙනි. බඩු ටික කිරිබත්ගොඩට එනවිට මොවුන් තැන වෙනස් කරයි. මෙතැන් සිට වැඩටික සිද්ධවෙන්නේ මේ ජාවාරම්කරුවන්ට අවශ්‍ය පරිදිය. ඉන්පසු වත්තල හෝ කඩවතින් රාගම පැත්තට ඇති ගබඩාවකට සිය කජු තොගය රැගෙන එන්නට කියන්නේ පැත්ත වෙනස් කරමින් සිය අරමුණ සූක්‍ෂම ලෙස ඉටුකර ගැනීමේ අටියෙනි. එහෙත් සමන්ත මහතාට රටකජු තොගය ගෙන එන්නට කියා ඇත්තේ කඩවතට ය. පොලිසිය සමග එනවා ද යන්න දැනගැනීම මේ ජාවාරම්කරුවන් විවිධ උපක්‍රම ක්‍රමෝපායන්ද භාවිත කර සැකහැරගත් ජාවාරම්කරුවන්ගේ එක් අයෙකු පැමිණ කඩවත ත්‍රිරෝද රථගාලින් ත්‍රිරෝද රථයක නැඟ ඔවුන්ගේ ගබඩාව වෙත යන බව පවසමින් සමන්ත මහතා කජු රැගෙන ආ ලොරි රථයට ඔහු පිටුපස එන ලෙස පවසා ඇත.

ඔවුන් පවසන කඩවත ගබඩාව ඔවුන්ට අයිති නැති එකකි. කුලී පදනම මත ගන්නා මුවාවෙන් එන ජාවාරම්කරුවන් එම කඩ කාමරවල අයිතිකරුවන්ට කියන්නේ අපි අහවල් වේලාවට කඩය බලන්නට එන ලෙසය. සමන්ත මහතා පවසා ඇති ආකාරයට තමන්ට ද එම වේලාවට එම ස්ථානයට එන ලෙස මෙම ජාවාරම්කරුවන් කටයුතු කර ඇත. ජාවාරම්කරුවන් සමන්තට අඟවන්නේ එම ස්ථානය ඔවුන්ට ම අයිති එකක් ලෙසය. මෙයට රැවටුන බොහෝ අය කරන්නේ මේ ජාවාරම්කරුවන් කියන තැනට රැගෙන ආ බඩු ටික බාන එකය.

සමන්ත රැගෙන ආ කජු තොගයෙන් වැඩි කොටසක් පමණක් එක තැනක බාගැනීමට ජාවාරම්කරුවන් ක්‍රියාකර ඇත. ඔහු රැගෙන ආ රට කජු කිලෝ 2500න් කිලෝ 2400ක් බාගත් ඔවුන් ඉතිරි කිලෝ සියය කිරිබත්ගොඩ තවත් ගබඩාවකට බාන ලෙස දන්වා සමන්ත පැමිණි ලොරියට එක් ජාවාරම්කරුවකු ගොඩවූ බව සමන්ත පොලිසියට පවසයි. ඉන් අනතුරුව මෙසේ ගොඩවූ ජාවාරම්කරුවා “මට හදිසි වැඩකට යන්න තියෙනවා” යැයි පවසා ලොරි රථයෙන් බැස යයි. එසේ ඔහු යන්නේ කිසිදු සැකයක් නොසිතෙන්නට ඒ තමන් රැගෙන ආ බෑගය ද ලොරිය තුළ දමා ය. මෙසේ බැස යන්නේ රාගම දුම්රියපළ අසලදීය. මෙම ජාවාරම්කරුවන්ගේ “සිස්ටම්” අනුව ඔහු නැවත පැමිණෙන්නේ නැත. ඔහු එන තුරු බොහෝ වේලාවක් බලා සිටි සමන්තට සැකයක් මතුවන්නේ එවිටය. ඒ පිළිබඳ ඔහු පොලිසියට සඳහන් කර ඇත්තේ මෙසේය.

“ මම බෑගය විවෘත කළා. මේ බෑගය ඇතුළේ අපිට කජුවලට ගෙවන්න තිබුණ රුපියල් ලක්‍ෂ 23ක චෙක් එකක් තිබ්බා. ඒත් ඒ ගැන අපට සැක හිතණා. නැවත අපි ගියේ මුලින්ම අපි බඩු බාපු තැනට. ඒ යනකොට අපි කලින් බාපු රටකජු තොගයත් එතැන තිබුණේ නෑ. ඔවුන් අපිව එතැනින් පිටත්කර කජු ටික වෙන තැනකට මාරු කරලා.” පසුව මේ සම්බන්ධව පැමිණිලි කරන්න අපි කඩවත පොලිසියට ගිය පසු පොලිසිය අපගෙන් ඇහුවේ ‘සම්පායෝ’ කියලා චෙක් එකක් ද ඔයාලට ලැබුණේ යන්නයි. මම ඔව් කිව්වා. පොලිසියෙන් අපට කිව්වේ මේකට අහුවෙලා තියෙන්නේ ඔයාලා විතරක් නොවේ යන්නයි. මේ ජාවාරමට පොල්තෙල්, සහල්, පොල් ගෙන ආපු අයත් අහුවුණා” යන්නයි.

පසුව සමන්ත විසින් පෑලියගොඩ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් කර ඇත. එදිනට පසුදින එහි ගිය සමන්ත මහතාට දැකගන්නට ලැබුණේ මෙම ජාවාරම්කරුවන්ට අසුවූ සහල් හා පොල්තෙල් වෙළෙන්දන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ද ප්‍රකාශ කළේ “අපටත් දීලා තියෙන්නේ මේ නම ම සඳහන් චෙක් එකක්” යනුවෙනි.

මෙම ජාවාරම්කරුවන්ට අසුවූ දඹදෙණිය ප්‍රදේශයේ සහල් වෙළෙන්දකු ද ඔවුන්ට අත්වූ සිදුවීම පොලිසියට ප්‍රකාශ කළේ මෙසේය.

“මෙම ජාවාරම්කරුවන් කඩවත දළුපිටිය ප්‍රදේශයේදී කුලී පදනම මත රුපියල් 10,000ක් අත්තිකාරම් මුදලක් දී කඩකාමරයක් ගෙන තිබෙන්නේ. ඔවුන් අපිට පැවසුවේ අපේ හාල් රසයි, මේ බෑන්ඩ් එක හොඳයි. ඒ නිසා හාල් ලොට් එකක් ගන්න අපට අවශ්‍යයි යන්නය. මැයි 24 දින තමයි අපි හාල් තොගය ගෙනාවේ. එහිදී ඔවුන් අපෙන් හාල් කිලෝ 10,000ක් ඉල්ලා තිබුණා. අපි දළුපිටිය ප්‍රදේශයට අපේ හාල් ලොරිය රැගෙන ආවා. එතැන තිබූ කඩයට හාල්වලින් කිලෝ 7000ක් බෑවා. එවිටම එතැනට තවත් ලොරි රථයක් ආවා. ඉතිරි හාල් 3000 ඒ ලොරියට පටවන්න කියා ඔවුන් කිව්වා. ඉන් පසු අපෙන් හාල් ඕඩර් කරපු කෙනා අපට කෝල් කළා. ඔහු කීවේ අපේ ලියනමහත්තයා දැන් එනවා. එයත් එක්ක ගිහින් බැංකුවෙන් සල්ලි ටික ගන්න. අපි ඔහුත් එක්ක අපේ වාහනයේම නැඟී ආවා. ඔහු බැංකුව පෙනි පෙනී වාහනයෙන් බැස්සා. ඔහු කීවේ මුදල් රැගෙන එනතුරු අපට එහි සිටින ලෙසයි. ඔහු එනතුරු ගොඩක් වෙලා අපි බලා සිටියා. ආවේ නෑ. පැයකින් විතර අපිට කෝල් එකක් ආවා. ඒ හාල් ඕඩර් කරපු කෙනාගෙන්. “බැංකුවේ අවුලක් තියෙනවා. සල්ලි රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඒ නිසා සල්ලි ගන්න බැරිවෙලා. අපේ ලියනමහත්තයා ළඟ බෑග් එකක් ඇති එකේ චෙක් එකක් ඇති. ඒක ගන්න” අපි ඔහු කියූ පරිදි ලියනමහත්තයා ලොරියේ දමාගිය බෑගයෙන් චෙක් පත ගත්තා. පසුව අපි බලද්දී හොර චෙක් එකක්.” අපි ඉන්පසු 119ට ඇමැතුමක් ගත්තා. ඉන්පසු අපි කඩවත පොලිසියට පැමිණිල්ලක් කළා. පසුව 02 වැනිදා උදේ පෑලියගොඩ පොලිසියට එන්න අපට කිව්වා.”

මේ ජාවාරමේ ප්‍රධාන සැකකරුවා රත්නායක නැමැති අයෙකි. ඔහු තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔවුන් පිළිමතලාවේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ව්‍යාපාර බංකොලොත් භාවයට පත්වීමෙන් පසු ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් ඇත. අනෙක් සැකකරු වූයේ සුගත් රනිල් නැමැති බිංගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. මෙහි තවත් සැකකාරියක් සිටි අතර ඇය දැනට ප්‍රදේශය හැර ගොස් ඇත.

ඔවුන් විසින් පැහැර ගන්නා බඩු අතර රුපියල් එක්ලක්‍ෂ හත්දායක රටකජුත්, රුපියල් විසිලක්‍ෂ තිස්පහදහසක සහල් තොගත්, රුපියල් දාහතර ලක්‍ෂ පනස්දහසක පොල්තෙල් තොගයක් විය. පොල්තෙල් තොගයේ හිමිකරු වූයේ මලිත් නිර්මාල් නැමැති දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොවුන් නුවර ප්‍රදේශයේ මීට වසර 4කට පෙර මියගිය අයෙකුගේ නමින් අක්‍රීය වූ ගිණුමකින් චෙක් පත් මෙම ජාවාරමට යොදාගෙන ඇත.

සැකකරුවන් ලොරි රථ 2 ක් සහ කුලී පදනමත ගන්නා මෝටර් රථයක් උපයෝගී කරගෙන මෙම ජාවාරම සිදුකර ඇත. ඔවුන් අන්තර්ජාලය හරහා මෙම ජාවාරම කාලයක් තිස්සේ ජයටම කර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළි විය. ඔවුන් නුවර ප්‍රදේශයේ ඇති වෙළෙඳ සැලකට මෙසේ පැහැර ගන්නා භාණ්ඩ අවුරුදු ගණනක සිට විකුණා ඇත. එම වෙළෙඳ සැල් හිමියාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී අදාළ සැකකරුට මුදල් ගෙවීම මුවාවෙන් ඔවුන් ගෙන්වා ගෙන අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජාවාරම කළ ප්‍රධාන සැකකරුට මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෙවැනි ක්‍රියාවලට වරෙන්තු 7 ක් නිකුත් කර ඇත. ඔහු දැනට රුපියල් කෝටි 6ක පමණ වංචා සිදුකර ඇති බව පොලිසිය කරන ලද විමර්ශනවල දී හෙළිවී ඇත. එමෙන්ම දෙවන සැකකරුට ද හලාවත උසාවිය විසින් වරෙන්තු නිකුත් කර ඇත.

මෙහිදී මෙම වැටලීමේ සුවිශේෂත්වයක් දක්නට ලැබිණ. එනම් පසුගිය ජුනි මස 1 වැනිදා පැමිණිල්ල ලැබී ජුනි 2 වැනිදාට පැය විසිහතරක් ගතවන්නට පෙර මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය සමත්වීමය.

මෙම වැටලීම කැලණිය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්‍ෂණය යටතේ පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාපති පොලිස් පරීක්‍ෂක උපුල් රංජිත් ලියනගේ, උප පොලිස් පරීක්‍ෂක සරත් අල්විස්, උප පොලිස් පරීක්‍ෂක තිලකසිරි, පොලිස් සැරයන් දිසානායක (38727), පො.සැ. බණ්ඩාර (33983), පො.සැ. ජයවර්ධන (12011), පො.සැ. මහේෂ් (35433), පොලිස් කොස්තාපල් දිසානායක (21958), පො.කො. මෙන්ඩිස් (98107), කා.පො.කො. මලිති තිලකරත්න (12636) යන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.

මේ වනවිට සැකකරුවන්ට එරෙහිව මහර අධිකරණය විසින් අදාළ නීතිය ක්‍රියාත්මක ඇති අතර සියලුම දේපළ අයිතිකරුවන් වෙත භාරදී ඇත. මහර අධිකරණයේදී මෙම නඩුව නැවත 2022.10.26 දා කැඳවීමට නියමිතය.

අද රටේ මෙවැනි ජාවාරම් සිදුවන්නේ නීතියේ ඇති ලිහිල නිසා විය හැක. අද මේ රට පත්ව ඇති තත්ත්වය යටතේ මෙවන් අපරාධ තවත් මේ රටේ සිදුවෙමින් පවතින බව අප කවුරු කවුරුත් දන්නා කාරණයකි. මේ ජාවාරමට තවත් පුද්ගලයන් අසුවී ඇත. ඔවුන් ඈත පිටිසර සිට කොළඹට බඩු රැගෙන ආ අයයි. ඔවුන් පවසන්නේ උසාවි ගානේ රස්තියාදු වෙන්න බැරි නිසා සිදුවූ පාඩුව තමන් දරාගන්නා ලෙසය. එහෙත් තවත් මෙවැනි තක්කඩියන්ට අහිංසක මිනිසුන්ගේ දේපළ සූරාකෑමට ඉඩ දිය නොහැක. ඇත්තෙන්ම
පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකළ මෙහෙය අපි අගය කළ යුතුම ය.

රමින්ද ලසන්ත
මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment