විදුලි පාරිභෝගිකයන්ගේ රු. බිලියන 14ක ඇප තැන්පතු නව පනතින් සමාගම්වලට – ලංවිම වෘත්තීය සමිති කියයි

73

නව විදුලි බල පනතින් විදුලි පාරිභෝගිකයන් බිලියන හයකගේ ඇප තැන්පතු සහිත රුපියල් බිලියන 14ක මුදල් සහ ලංවිමට අයත් ට්‍රිලියන ගණනක වත්කම් පුද්ගලික සමාගම් වෙත බෙදා වෙන් කිරීමේ බලය ලබාදී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති චෝදනා කරයි.

මෙම පනතින් ජාතික විදුලි ප්‍රතිපත්තියක් සම්බන්ධව කියවෙන නමුත් එහි ස්ථාවර විදුලිය සැපයීම සහ පැය 24ම විදුලිය සැපයීම මෙන්ම විදුලිය නිෂ්පාදනයේ අවම පිරිවැය සහතික කිරීමක් සිදුකර නැතැයිද වෘත්තීය සමිති කියයි.

මෙම නව විදුලි පනත මගින් තරගකාරී මිල ගණන් යටතේ අඩුම වියදමක් යන විදුලි බලාගාර ආයෝජකයන්ගෙන් ලබාගන්නවා වෙනුවට Unsolicited ක්‍රමවේදයෙන් අධි වියදම් විදුලි බලාගාර (වැඩිම කොමිස් ලබාදෙන) ලබාගැනීමට විෂය භාර ඇමැතිවරයාට බලය පවරා දී ඇතැයි ද ඊයේ (07දා) පැවති සමුළුවකදී විදුලි වෘත්තීය සමිති හෙළි කළේය.

මෙම ඊනියා විදුලි ප්‍රතිසංස්කරණ පනත මගින් අවම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකට භාජනය කරනවා වෙනුවට රටේ බලශක්ති ස්වෛරීත්වයට හානි කරවන අයුරින් තව තවත් පිරිවැය වැඩිවන ආකාරයෙන් ලංකා විදුලිබල මණ්ඩලය අසීමිත ලෙස කොටස් කර පෞද්ගලික අංශයට පවරා එය දේශපාලන බල අධිකාරියට සහ පෞද්ගලික අංශයට කොල්ලකෑමට හැකිවන අයුරින් සකස් කර ඇතැයිද විදුලි වෘත්තීය සමිති නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

රටේ බලශක්ති ක්ෂේත්‍රය දේශපාලනීකරණය වීමද මෙම පනත මගින් සිදුකර ඇති බවත් මෙහි ප්‍රතිපාදන අනුව ජාතික පද්ධති පාලන අංශය (NSO) (සියලු විදුලි මිලදී ගැනීම් හා විසිරවීම් පාලනය කරනු ලබන ආයතන) සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ බලයද ඇමැතිවරයා සතු කර ඇතැයිද ඔවුහු ප්‍රකාශ කළහ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment