අයිස් නිසා රත්වුණු මරණයක් උරුම වුණ හැටි…මත්ද්‍රව්‍ය නිසා තවත් තරුණ ජීවිතයක් අහිමිවේ…

2625

මතට ඇබ්බැහි වීම, අයහපත් මිතුරු ඇසුර ජීවිතයට බොහෝ විට රැගෙන එන්නේ අවදානමකි. අතේ ඇති මුදලට තට්ටුවීම, ශරීර සෞඛ්‍ය පිරිහීම මෙහි අතුරුඵලයන්ය. නිරපරාදේ හිරගෙවල් උසාවි ගානේ ජීවිතය ගත කිරීමට සිදුවීමද තවත් හේතු කාරණාය. අභාග්‍යසම්පන්න දෛවයට උරුමකම් කියන බොහෝ මිනිසුන් අයහපත් මිතුරු ඇසුරට පත් වන්නේ තමන් ගෙනා පව් පින් නිසා විය හැකිය. නරක මිතුරු ඇසුරට යොමු වූ කළ ඉන් මිදීමට ලෙහෙසි පහසු නැත. එහි ආදීනව කෙතරම් තේරුම් කර දුන්නත් පාපකාරී ලෝකයට ඇදීයෑම වළක්වාලිය නොහැකිය. අවසානයේ එවැනි පුද්ගලයන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම ඒකාන්තය.

එදවස ගංජා භාවිතයට හුරු වූ පුද්ගලයන් අද හෂීස් හෙරොයින්, මරුජුවානා, කේරල ගංජා, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූයේ පිටරටින් එන හොඳ දේ හෝ නරක දේ වැළඳ ගැනීමේ මානසික මට්ටම නිසාය. තමා භාවිතා කරන දේ පිළිබඳව කිසිදු සොයා බැලීමක් නොකර එහි අති අධි උත්තේජනය නැතිනම් තේරෙන භාෂාවෙන් කිවහොත් මාර ආතල් එක හේතුවෙන් අද වන විට තරුණයන් පමණක් නොව බොහෝ වැඩිහිටියන්ද ඒවා වැළඳගෙන හමාරය.

වැඩිහිටියන්ගේ මේ ඇබ්බැහිවීමෙන් පීඩාවට පත් වන්නේ පවුලේ දූ දරුවන්ය, බිරින්දෑවරුන් ය. මෙවැනි ඇබ්බැහිවීම් තම පියා ස්වාමිපුරුෂයා ගලවා ගැනීමට නොහැකිවූ කල්හි සිතේ ඇතිවන්නේ ඔවුන් ඇසුරු කරන්නන් පිළිබඳ දැඩි වෛරයකි, කෝපයකි. ඔවුන් කෙරෙහි ඇතිවන කෝපය රණ්ඩු සරුවල් වලින් අවසන් නොවී ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන්නේ නම් කොතරම් ඛේදජනකද? ඉන් පීඩාවට, අගතියට පත් වන්නේ හිරේ විලංගුවේ වැටෙන්නේ තම දූ දරුවන් නොවේදයන්න හැඟීමක්වත් ඇති වන්නේ නැති තරමටම මත්ද්‍රව්‍යවලට කොතරම් ගිජුකමක් දක්වන අය සිටීද?

පුත්තලම නගරය ආසන්නයේ පදිංචි වයස අවුරුදු විසි එකක් වූ ෆාතික් මොහොමඞ් ෆාතික් නැමැති තරුණයාට හිර කූඩුවේ ලඟින්න සිදුවූයේත් තම පියා අයිස් නැමති මත්ද්‍රව්‍යට තදින් ඇබ්බැහි වීම හේතුකොටගෙන ය. පියා සමඟ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටි සමීපතයකු මොහොමඞ් ෆාතික් විසින් ඝාතනය කිරීම මීට හේතු විය. මෙසේ ඝාතනයට ලක්වූයේ පුත්තලම කොළඹ මාර්ගයේ පදිංචිව සිටි මොහොමඞ් තාසික් මොහොමඞ් ෆව්දිජීන් නැමති 48 හැවිරිදි අයෙකි.

අයිස් නිසා රත්වුණු මරණයක් උරුම වුණ හැටි…මත්ද්‍රව්‍ය නිසා තවත් තරුණ ජීවිතයක් අහිමිවේ…

මොහොමඞ් ෆව්දිජීන් මනල්ගුණ්ඩුව ප‍්‍රදේශයේ ගරාජයක් පවත්වා පවත්වාගෙන යන්නේ ය. ඔහු තදින්නම අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයෙකි. ෆාතික් මොහොමඞ් ගේ පියා වන ෆායිස් මොහොමඞ් බේකරියක් පවත්වාගෙන යන්නේය. බේකරි කර්මාන්තයේ භාවිතා කරන වාහන අලූත්වැඩියා කරන්නේ මොහොමඞ් ෆව්දිජීන්ගේ ගරාජය තුළය. දෙදෙනාගේ මෙම දැන හැ`දින ගැනීම කාලයක් තිස්සේ පවත්වාගෙන යන අතර ඔවුන් ගජ මිතුරන් බවට පත්වීමට වැඩි කල්ගත නොවීය. මොහොමඞ් ෆව්දිජීන් සිය වැඩ අහවර වී හැන්දෑ වරුවගත කිරීමට ෆායිස් මොහොමඞ්ට පැමිණීමට ආරාධනා කරන්නේ තනිකම පාලූව මකා ගැනීමටය. ඔවුන්ගේ මෙම කල් මැරීමට මත් වතුර තොල ගෑමට කටයුතු කරන්නේ දෙදෙනාගේම අදහසකට අනුවය. කාලයක් ගිය පසු ඔවුන් දෙදෙනා අයිස් නැමති මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වන්නේ දිනක් ඔවුනගේ යහලූවකුගෙන් ලැබූ අයිස් මත්ද්‍රව්‍ය ස්වල්පයක් ගැනීමෙන් පසු ඇති වූ වෙනස් කම නිසාය.

ඉන් පසු ඔවුන් දෙදනා ඉඩ ලැබූ සෑම අවස්ථානකදීම අයිස් මත්ද්‍රව්‍ය ගැනීමට කටයුතු කළේය. ටික කාලයක් ගත වෙද්දී හොර රහසේ සිදු කළ මෙම කටයුත්ත ෆායිස් මොහොමඞ් ගේ නිවසට ආරංචි විය. ඔහුගේ බිරිඳත් වැඩිමහල් පුතා සහ සෙසු දරුවන් දෙදනා මෙම තත්ත්වයෙන් මුදා ගැනීමට විවිධ උපක‍්‍රම යෙදුවත් ඊට ඉඩ නොලැබුණේ ෆායිස් මොහොමඞ් තදින්ම ඊට ඇබ්බැහි වී සිටි නිසාය. මේ හේතුවෙන් නිවසේ සමගිය පෑල දොරින් පලා ගියේය. ව්‍යාපාරික කටයුතු අඩාල විය. පියාගේ මේ නොමනා හැසිරීම් රටාවට තදින්ම විරුද්ධ වූයේ පුත් ෆාතික් මොහොමඞ්ය. මේ නිසාවෙන් පිය පුතු අතර නිරන්තර බහින් බස් ඇති විය. අවසානයේ ෆායිස් මොහොමඞ් ගේ පුතා දැඩි ලෙස වෛරය බැන්දේ මෙම තත්ත්වයට පත් කළ බව සිතා සිටින මොහොමඞ් ෆව්දිජීන් කෙරෙහිය. ඔහුටද සිය පියාව ගෙන්වා ගැනීමට කටයුතු නොකරණ ලෙසටද බල කර සිටියත් ඉන් පලක් නොවීය. ඊට අවනත නොවීම නිසා ෆාතික් ෆව්දිජීන් කොරෙහි ඇති වෛරය එන්න එන්නම වැඩිවිය. මේ අතර තුර ඉකුත් 13 වන දින රාත‍්‍රියේ ෆාතික්ට දුරකථන ඇමතුමක් ලබා දී ෆව්දිජීන් කියා සිටියේ තම ගරාජයේ ගාල් කර තිබෙන මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව බිඳ දමා ඇති බවත් එය සිදු කළේ ෆාතික් බවත්ය. පසුව ෆාතික් ෆව්දිජීන් හමුවීමට ගියේ මනල්ගුංඩුව රේල් පාර අසලටය. ඔහු ප‍්‍රශ්නය විසදීමට පිහියක් සගවා ගෙන යෑමට කටයුතු කළේය. එහිදී දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු විය. ෆව්දිජීන් පරුෂ වචනයෙන් බැණ වැදුනේය. ෆාතික් තම පියාට සිදුකළ දේ ගැන තිබූ තරහ පිට කිරීමට ඔහු ස`ගවා ගෙන සිටි පිහිය අතට ගත්තේය. ඇතිවූ ආවේගය පාලනය කළ නොහැකිව පිහි පාරවල් කිහිපයක් ෆව්දිජීන්ට එල්ල කළේය. ඔහු ලේ විලක් මැද වැතිරුණි. ඒ සමගම අවට සිටි පිරිස් ඔහුව පුත්තලම මූලික රෝහලට රුගෙන යෑමට කටයුතු කළත් ඒ වන විටත් ඔහු අවසන් සුසුම් පොද වාතලයට මුසු කර හමාරය. අනතුරුව රෝහල් පොලිසිය පුත්තලම මූලස්ථාන පොලිසියට සිද්ධිය සම්බන්ධව දැන්වීමට කටයුතු කළේය. පසුව අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති හේරත් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශණ කටයුතු සිදු කළේය. මෙහිදී සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළේය.

පුත්තලම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී. කුමාරදාස මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක උඩුකුඹුර අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක හේරත්, පොලිස් සැරයන් 36740 අබේසිංහ, 10219 කරුණාරත්න යන නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කළහ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment