පූජනීය ගංගා

32

මහවැලි කැලණි කළු වලවේ යන ගංගා
සමනල කන්ද මුදුණේ සිට පැන නැංගා
බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
මේවා ගලයි මිණි කැට දිය යට හංගා

ශ්‍රී ලංකාවේ සොබා සෞන්දර්යය ගැන මෙහෙම රසට කිව්වේ පී.බී. අල්විස් පෙරේරා. සොබා සෞන්දර්ය විතරක් නෙමෙයි, ප්‍රධාන ගංගා සියල්ලම සබරගමු හා මහඑළිය තැන්න ආශ්‍රිතව මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වන බවත් මෙයින් කියවෙනවා. කඳුකරය තමයි දිවයිනේ හදවත ලෙස සැලකිය හැක්කේ. ඒ හදවතින් පෝෂණය වෙලා දිවයින පුරා විහිදෙන ගංගා රටාවක් තමයි අපට උරුම වෙලා තියෙන්නේ. භූගෝල විද්‍යාත්මකව මේකට අරීය ජල වහන රටාවක් කියල කියනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා 103 ක් පෙර හඳුනාගෙන තිබුණට, මෑතක දී පළ කරපු පර්යේෂණ පත්‍රිකාවක ඒ ගණන 93 ක් ලෙස දක්වල තිබුණේ ගංගාවක තිබිය යුතු යැයි පිළිගන්නා අන්තර්ජාතික ගති ලක්ෂණ සලකා බැලීමෙන් පසුවයි.

ඒ කොහොම වුණත් ශ්‍රී ලංකාව කියන්නේ ගංගාවලින් අඩුවක් නැති රටක්. ගංගා කියන්නේ අපේ සොබා උරුමයක් වගේම සංස්කෘතික උරුමයක්. ලෝකයේ සෙසු බොහොමයක් ශිෂ්ඨාචාර වගේම ශ්‍රී ලංකාවේ අපටත් තිබෙන්නේ ජලය මූලාශ්‍ර වුණු ගංගා නිම්නවල ආරම්භයක්. කලා ඔය, මල්වතු ඔය ආශ්‍රිතව තමයි ආර්ය සංක්‍රමණවලින් පසුව අපේ ශිෂ්ඨාචාරය ගොඩනැඟෙන්නේ. ඒ වගේම මේවායේ උපයෝගිතාව හුදු භෞතික කාරණාවලට පමණක් සීමා වෙන්නේ නෑ. ඉන්දියාවේ තරම් නොවුණට අපේ ගංගාවෝත් පූජනීයත්වයට පත්වෙලා තිබෙනවා. කතරගම මැණික් ගඟ ඊට හොඳම උදාහරණයක්. කැලණි ගඟ කැලණි විහාරයට සමීපවත්, කළු ගඟ රත්නපුර සමන් දේවාලය සහ කළුතර බෝධියට සමීපවත් ආදී වශයෙන්. දිවයින පුරා අප්‍රසිද්ධියේ වුණාට ගංගා, ඇළ, දොළ එක්ක ආගමික ස්ථාන හා සිද්ධි පදනම් කරගෙන ගංගාවන් පූජනීයත්වයට පත්වෙලා තිබෙනවා.

මේ සියලු පිළිගැනීම් තිබිය දීත් අපේ ගංගාවල අඛණ්ඩ යහපැවැත්ම තහවුරු කරන්න අපට හැකි වෙලා තිබෙනවා ද? යන ප්‍රශ්නය නිරන්තරයෙන් හිස ඔසවනවා. මේ ප්‍රශ්නෙට අපට දිය හැකි පිළිතුර වන්නේ “නැත” හෝ “ප්‍රමාණවත් නැත” යන්නයි. අපිට අපේ ගංගාවල පවිත්‍රතාව, ගංගාවක භෞතික හා ජෛව ක්‍රියාවලිය හා සෞන්දර්ය රැකගන්න හැකියාව ලැබිලා නැහැ. ඒ ඒ ගංගාවලට සුවිශේෂී වන තර්ජන වගේම සියලු ගංගාවලට පොදු තර්ජනත් අපේ ගංගාවල ජීව පැවැත්ම අභියෝගයට ලක් කොට තිබෙනවා. විශේෂයෙන්ම ගංගා පෝෂක ප්‍රදේශ දැඩි ලෙස හානියට පත් වෙලා. ඒවායේ වනාන්තර ආවරණය ශීඝ්‍රයෙන් අඩුවෙමින් යනවා. පාංශූ ඛාදනය නිසා ගංගාවල ධාරිතා හැකියාව අවම වෙලා. මේ නිසා සුළු වර්ෂාවක දීත් ගං වතුර ඇති වීම වැළැක්විය නොහැකි වෙලා.

උදාහරණ විදියට කළු ගඟ සහ එහි අතු ගංගාවන් පතල් කැණීම් නිසා දැඩිව තර්ජනයට ලක් වෙලා සහ ලක් වෙමින් තිබෙනවා. කුරු ගඟ, වේ ගඟ, මල්වාන ගඟ, කළු ගංගා ද්‍රෝණියේ දැඩිව මානව බලපෑමට ලක් වූ උප ගංගා. මේ ගංගාවල තිබෙන්නේ පස් සෝදාගෙන යන අවසාධිත බහුල මඩ වතුර. මේ ජලය ගංගාවලට නේවාසික වූ මසුන් ඇතුළු ජලජ ජීවීන්ට සහ ජලජ ශාක වලට හිතකර නෑ. එනිසා ඔවුන් වඳවී යෑමත් ආක්‍රමණික විශේෂ ඒ අවකාශයන් තුළ ව්‍යාප්ත වීමත් සිදු වෙනවා. ගංගාවල ස්වභාවිකව පිහිටි ගල් පර කඩා දැමීම, ගංගා දෙපස වෘක්ෂලතා ඉවත් කිරීම, ගං ඉවුරු හෑරීම ආදී ක්‍රියාවන් නිසා ගංගා පතුල පූර්ණ ලෙසම වෙනස් වෙලා. ගංගාවක භූ දර්ශනය වෙනුවට දැන් දකින්න තිබෙන්නේ විශාල කාණුවක් වැනි භූ දර්ශනයක්. මේ නිසා සතුන්ට විතරක් නෙවෙයි පූර්වයෙහි ගංගා සමග පැවැති මානව සබඳතා පවා වියැකී යමින් තිබෙනවා.

ඊට අමතරව තෙත් කලාපයේ වනාන්තර පර්යන්තයේ තිබෙන බොහෝ අතු ගංගාවන් කුඩා ජල විදුලි බලාගාර වෙනුවෙන් සහ ඒවාට ඉදිකරන වේලි නිසා බලපෑමට ලක්වෙලා. මේ නිසා ගංගාවල ඇතැම් කොටස් පූර්ණ ලෙසම වියළී යන්නේ ඒවායේ ජීවත් වූ ජෛව විශේෂ එක්කමයි. ඇතැම් අලංකාර දිය ඇලි ද කුඩා ජල විදුලි බලාගාර නිසා පූර්ණ ලෙසම වියැකී යෑමේ තර්ජනයකට මුහුණ දී තිබෙනවා. සිංහරාජ ලෝක උරුම වනාන්තර කලාපය සහ සමනල අඩවිය වටා මෙවැනි බලාගාර රාශියක් දැනටමත් ස්ථාපිත කොට තිබෙනවා. තවත් ඒවා ස්ථාපිත කරන්නට උත්සහ ගනිමින් සිටිනවා.

මහවැලි ගඟ මහා පරිමාණ වැලි ගොඩ දැමීම හේතුවෙන් තර්ජනයට ලක් වෙද්දී, කැලණි ගඟ නාගරික හා කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා දූෂණයට ලක්වෙලා. ගිං – නිල්වලා ගංගාවලට හඳුන්වා දුන් ගංවතුර පාලන ක්‍රමවේද නිසාවෙන් ගංවතුර යම් මට්ටමකට පාලනය වුණත් ආන්තික බිම් ඇතිවීම, ලවණතාවය පැතිරීම, ආක්‍රමණික විශේෂ වල ව්‍යාප්තිය, කිඹුල් – මිනිස් ගැටුම වගේ අලුත් අර්බුද රාශියක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ සියලු තර්ජනයන්ට අමතරව දේශගුණික විපර්යාස සහ ස්වභාවික උපද්‍රව නිසා ඇතිවන තත්ත්වයන් මේ තර්ජන තවත් මුවහත් කරමින් තිබෙනවා.

එහෙනම් අපි අපේ ගංගා රැක ගැනීමට කටයුතු කළ යුතු නොවේද? මේ සඳහා වන තිරසාර, ඵලදායි සැලසුම් සහ වැඩසටහන් අපට තිබෙනවාද? අපගේ අවබෝධය හැටියට අපට තිබිලා තියෙන්නේ සහ තිබෙන්නේ කෙටි සහ නිශ්චිත අන්තයක් නොපෙනෙන කිසිදු ඒකාබද්දතාවයක් නැති වැඩසටහන් සහ සැලසුම්. මේ විසිරුණු ස්වභාවය නිසාම අපට මේ වැඩසටහන්වලින් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කරගන්න හැකි වී නැහැ. අනෙක් අතට මේවායේ දැඩි මධ්‍යගත ස්වභාවයකුත්, නිලධාරි සහ බලධාරි අධිපතිවාදයකුත් දකින්න තිබෙනවා. මේවා සැලසුම්වලම තිබෙන දුර්වලතා ලෙසයි අපි හඳුනා ගන්නේ.

මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment