සුනිල් ටී. ෆිල්ම්ස් කියූ සැනින් ඔබ අප කොයිකාගේත් සිහියට නැගෙන්නේ, ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ එවක පටන් නමක් දිනාගත් සිනමා ශාලා හිමිකරුවකු මෙන්ම නිෂ්පාදකවරයකු වන සුනිල් ටී. ප්‍රනාන්දුය. ඔහු විසින් නිෂ්පාදනය කරන ලද “රහස් කියන කඳු” සහ “මේක පුදුම කතාවක්” සිනමා පට පිළිබඳවත්, වර්තමානය වන විට සිනමා ක්ෂේත්‍රය තුළ පැන නැගී ඇති අර්බුද පිළිබඳවත් සුනිල් ටී. ප්‍රනාන්දු සමඟ අප මෙලෙස කතාබහක යෙදුණා.

“රහස් කියන කඳු” සිනමා පටයට මොන වගේ ප්‍රතිචාරද මේ වන විට ලැබෙන්නේ?

ඇත්තටම මේ වෙනකොට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දැන් මාසයකට වැඩිය කාලයක ලක්ෂ එකසිය පනස් පහක වගේ වාර්තාගත ආදායමක් ලබමින් තවමත් තිරගත වෙනවා. මේ වෙද්දි ඉතින් අපි බලාපොරොත්තු වුණ සාර්ථකත්වය දකින්නට පුළුවන්.

“මේක පුදුම කතාවක්” සිනමාපටය ගැනත් කතා කළොත්?

“මේක පුදුම කතාවක්” සිනමාපටයත් මේ වෙලාවේ ඉතාමත් සාර්ථකව තිරගත වෙනවා. ඉතින් මේ චිත්‍රපටයේ තනිකරම යෞවනයන් සහ යෞවනියන් තමයි රඟපාන්නේ සහ වෙනස්ම කතා තේමාවකින් තමයි ගලාගෙන යන්නේ. ඉතින් මේ චිත්‍රපටයත් මේ වෙද්දී EAP මණ්ඩලයේ පෙන්වන චිත්‍රපට හතරෙන් ඉතාමත් සාර්ථකව පෙන්නගෙන යනවා.

ඔබ සිනමා ශාලා හිමිකරුවෙක්, නිෂ්පාදකවරයෙක් විදියට මේ චිත්‍රපට නැරඹීමට ලබා ගන්නා ප්‍රවේශ පත්‍රයට පනවා තියෙන වැට් බද්ද පිළිබඳව මොනවාගේ මතයක් ද දරන්නේ?

ඒ ගැන නම් මම ඉතාමත් කනගාටුවෙන් තමයි ඉන්නේ. ඒක එහෙම නොවෙන්න, අපේ මේ සංගම් හරහා සහ චිත්‍රපට කර්මාන්ත ප්‍රේක්ෂකයෝ වගේම චිත්‍රපට සංස්ථාව ඉදිරිපත්වෙලා මේ ප්‍රශ්නය නිදොස් කර ගනීවි කියලා මම හිතනවා.

වැට් බද්ද පැනවීමෙන් මුළු සිනමා කර්මාන්තයම කඩා වැටීමේ තර්ජනයකට ලක්වේවිද?

නැහැ, එහෙම කඩා වැටීමක් නැහැ. මේ වැට් එක ගැසීමෙන් වැඩියෙන් ලැබෙන ලාභයක් තියෙනවා නම් මේ ලාභය නැති වෙන එක තමයි සිදුවෙන්නේ. මේ වැට් එක ගැසීමෙන් එහෙම නැතුව කඩා වැටීමක් වෙන්න තරම් හේතුවක් වෙන්නේ නැහැ. තවමත් ප්‍රේක්ෂකයෝ චිත්‍රපට නරඹනවනේ. එහිදී ප්‍රදර්ශකයාට සහ නිෂ්පාදකයාට ලැබෙන මුදලේ ප්‍රතිශතය අඩුවෙනවා, අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද අද ලොකු පිරිවැයක් දරලා තමයි චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නේ. ඉතින් නිෂ්පාදනය කළාට පමණින් එම චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනකොට ඒකෙන් ප්‍රදර්ශකයාටත් විශාල වියදමක් වැය වෙනවා. ලයිට් බිල්වලටත් දැන් ගෙවන්න වෙන මුදල වැඩියි. අන්න ඒ ඒ දේවල් ගෙවා ගන්න අමාරු වෙනවා, මේ වැට් ගැසීම නිසා. ඉතින් ඒ නිසා අලුතෙන් සිනමා ශාලාවක් හදන කෙනෙකුට වුණත් මේ ලබන ආදායම ගැන බලනකොට සිනමා ශාලා හදනවද? නැද්ද? කියන කාරණය සම්බන්ධව දෙපාරක් හිතන්න වෙනවා.

වර්තමානය වන විට සිනමා ක්ෂේත්‍රයේ පැන නැගී ඇති අර්බුද මොනවද සහ ඒ වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද?

මේ අර්බුදය දිගටම තියෙනවා. මේක ඉවරයක් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රේක්ෂකයෝ සිනමා ශාලාවලට දිගට එන්න ගත්තොත් මේ අර්බුද ගොඩක් දුරට අවසන් වෙනවා.

මේ වන විට පසුගිය කාලෙට වඩා සිනමාවේ යළි පිබිදීමක් දකින්නට පුළුවන්ද?

ඔව්. මෑත කාලයේ ලොකු පිබිදීමක් තියෙනවා. “කදිරදිව්‍ය රාජ”, “කතුරු මිතුරු” යන චිත්‍රපටත් ඒ වාර්තාගත ආදායම් උපයලා තියෙනවා. හැම චිත්‍රපටයක්ම වගේ මේ වෙද්දි මිනිස්සු අතරට ගිහිල්ලා තියෙනවා. සිනමාව ප්‍රබෝධමත් වන දෙයක් තමයි ඉතිං ඒකෙන් වෙන්නෙ.

සිනමා කර්මාන්තය වෙනුවෙන් රජය යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා ඔබ හිතනවාද?

අනිවාර්යයෙන්ම රජය මේකට මැදිහත් වෙන්නම ඕනෑ. මේකට රජය මැදිහත් නොවුණහොත් විශාල අර්බුදයකට මුහුණපායි. අනික් කාරණය සිනමාව කර්මාන්තයක් කියලත් රජය පිළිගන්නේ නැහැ. හැබැයි සිනමාව කර්මාන්තයක් ලෙස ආණ්ඩුව ප්‍රකාශ කළොත්, අපට ඒකත් ලොකු වාසිදායක බවක් පෙන්නුම් කරනවා.

පාරමී කෞෂිකා

සිනමාව කර්මාන්තයක් කියලා රජය පිළිගන්නේ නෑ - සුනිල් ටී. ප්‍රනාන්දු
advertistmentadvertistment
advertistmentadvertistment