අම්පාරේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිසුන් 22ක් ඇතුළු තිහකට තුවාල

194

අක්කරෙයිපත්තුව – අම්පාර මාර්ගයේ ගල්ඔය පාලම අසල මිහිඳුපුර ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ සිසු සැරිය පෞද්ගලික බස් රථයක් සහ අක්කරෙයිපත්තුව ඩිපෝවට අයත් ලංගම බස් රථයක් ඊයේ (03දා) පස්වරු 2.20ට පමණ මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුරෙන් පාසල් සිසු දරුවන් ඇතුළු 30 දෙනකු තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුරින් තුවාල ලැබූ පිරිස අතරේ පාසල් සිසුන් 22 දෙනකු ද, බස්රථ දෙකේ රියැදුරන් දෙදෙනා ද වන බවත්, සිවිල් පුද්ගලයින් දෙදෙනකු ද සිටි බවත් පොලිසිය කියයි.

ඔවුන් සියලු දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවත්, සියලුදෙනාම සුළු තුවාල ලබා ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් “දිවයින”ට පැවැසීය.

ලංගම බස්රථය අක්කරෙයිපත්තුව සිට අම්පාර බලා ධාවනය වෙමින් තිබූ බවත්, පාසල් සිසුන් රැගත් සිසු සැරිය බස් රථය අම්පාර සිට අක්කරෙයිපත්තුව දෙසට ධාවනය වෙමින් තිබූ බවත් පොලිසිය පවසයි.

පාසල් නිවාඩු දුන් දිනයේ මෙම සිසු දරු – දැරියන් මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපෑහ.

අනතුර සිදුවීමත් සමග අවට සිටි පිරිස් විසින් සිසු සැරිය බස් රථය තුළ සිරවී සිටි දරු – දැරියන් හා අනෙක් බසයේ සිටි පිරිස් ද පිටතට ගෙන ගිලන් රථ හා වාහන මඟින් රෝහල් කරා පිටත් කර තිබිණි. අනතුරින් බස් රථ දෙකටම දැඩි හානි සිදුවී තිබේ.

රෝහල් ගත කළ සිසු දරු – දැරියන්ට හා අනෙක් පුද්ගලයින්ට රෝහල් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය යුහුසුළුව ප්‍රතිකාර කර තිබිණි.

අම්පාර මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. එල්. නිමල් මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

ඡායාරූප- සුසන්ත අමරබන්දු

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment