ජීවිතය ලාබයි – හුස්ම ගත්තොත් පාඩුයි

962

පලස්තීනයේ ගාසා තීරයේ සැඟව සිටින හමාස් ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායලය සමග මේ දිනවල කරන යුද්ධය මෑතකාලීනව කෙරුණු කිසිදු යුද්ධයක් හා සමකළ නොහැකි බරපතල යුද්ධයකි. නොවැම්බර් 7 දා හමාස් සංවිධානය දියෙන්, ගොඩින් සහ අහසින් ඊශ්‍රායලය තුළට කඩා වැදී එල්ල කළ ප්‍රහාරය නිසා 1400 ක් මිය ගියහ. ඊට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කෙරුණු ප්‍රහාරයෙන් මේ වන විට 10,000 ට කිට්ටු ගණනක් මිය ගොස් ඇත. බෝම්බ පහරවල් සහ වෙඩි වැදී මියයන නිල් පාට ඇස් ඇති, කළුම කළු කෙස් ඇති, හම සුදු පාට පලස්තීන දරු දැරියන්ගේ සිරුරු ගොඩගසා ඇති අන්දම රූපවාහිනී නාලිකා මගින් ප්‍රදර්ශනය කරන අතර ඒවා දකින්නට ලැබීමම මහත්ම අවාසනාවකි. පලස්තීනයේ මේ දිනවල පැවැත්වෙන යුද්ධය හා සමකරන විට යුක්‍රේනය සහ රුසියාව අතර හටගෙන ඇති යුද්ධය හැඳින්විය හැක්කේ මැච් එකක් ගහන්නට පැමිණි ප්‍රජා මණ්ඩල දෙකක් අතර හටගත් සිල්ලර ගුටි කෙළියක් ලෙසය. ප්‍රජා මණ්ඩල දෙකක් යනු ගම් දෙකකට අයත් සංවිධාන දෙකකි. ඒ නිසා එවැනි ගුටි කෙළියවල් බොහෝ කල් ඇදී යයි. ප්‍රජා මණ්ඩල දෙකේ සාමාජිකයන් පොළේදී හමු වූ විටත් ගුටි කෙළිය අලුත් වෙයි. එසේම ගමේ පන්සලේ මල් වට්ටි වෙන්දේසියේදී මේ දෙගොල්ල හමුවුණත් ගුටි කෙළිය අලුත් වෙයි. එහෙත් මේ ගුටි කෙළි ක්ෂණිකව ඉස්මතුවී පාර්ශ්ව දෙක අතර සරම් ඔසවා පෙන්වන දෙකයි පනහේ ප්‍රදර්ශන එල්ලේ තරගවලට වෙනස් නොවන නිසා කව්රුවත් ලේ පෙරාගෙන ගෙවල්වලට දුවන්නේ නැත. මේ ගුටි කෙළිය අත්හැර දැමීමට ප්‍රජා මණ්ඩල දෙකට ඕනෑම වෙලාවක පුළුවන. එහෙත් මේ ගුටි කෙළිය තුළ තිබෙන warm up එක නිසා එය දිගටම පවත්වාගෙන යෑමට දෙපැත්තම කැමැතිය. එහෙත් ඊශ්‍රායල-හමාස් යුද්ධය තුන්වන ලෝක යුද්ධයක සමාරම්භක උත්සවය හා සමානය. තුන්වන ලෝක යුද්ධයක් ඇති වන්නේම මරාගෙන මැරෙනු පිණිසය. අරමුණ තනිකරම මරණය වූ කල්හි ජීවිතයට කිසිම තැනක් නොලැබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජෝර්දාන් තානාපති කියන පරිදි ඊශ්‍රායලය විසින් පලස්තීන ජාතිකයන්ට අවස්ථා දෙකක් දී තිබේ. මේ පළමුවන අවස්ථාව වන්නේ ගාසා තීරයේ දකුණු කොටසට එක් රැස්වී බෝම්බ පහරකා මිය යෑමය. ඊළඟ චාන්ස් එක නම් ගාසා තීරයේ වම් කොටසට එක් රැස්වී බෝම්බ පහර කා මියයෑමය. මේ දෙකේදීම බෝම්බ පිළිබඳ ඒකාධිකාරය ඊශ්‍රායලය සතුව තිබේ. ආසියානු රටවලින් වැඩම කළ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් ගාසා තීරය වෙත පාගමනින් ගොස් යුද්ධය නවත්වන ලෙස ඊශ්‍රායලයෙන් හා හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටිනු අපි පෙරේදා සමාජ මාධ්‍ය තුළින් දුටුවෙමු. අප දැන් සොයාබැලිය යුත්තේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් කීදෙනෙක් පණ පිටින් ගම් රටවල් බලා පැමිණ ඇත්තේ ද යන්නය.

ඊශ්‍රායල විරෝධී හමාස් ගරිල්ලන් නොවැම්බර් 7 දා ඊශ්‍රායලය තුළට කඩාවදින්නේ අවම වශයෙන් දොරට තට්ටු කිරීමක්වත් නොකරය. දේශසීමා ඔස්සේ ඊශ්‍රායලයට කඩාවැදුණු හමාස් ගරිල්ලෝ මායිම් ගම්මාන කිහිපයක් අල්ලාගෙන 1500 ට කිට්ටු ගණනක් මරා තවත් විශාල පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගාසා තීරයට පැන ගියහ. අරාබි ත්‍රස්තවාදීන් කරන ඉතා ගඳගහන වැඩක් තිබේ. ඒ වූකලී, ප්‍රාණ ඇපකරුවන්ගේ බෙල්ල කපා එය වීඩීයෝ කර අනෙක් පාර්ශ්වය වෙත එවීමය. ඔසාමා බින් ලාදින් ඇමරිකාවට පහරදීමෙන් පසු අල්කයිඩා සංවිධානය සහ එහි අනුප්‍රාප්තික අයි.එස්.අයි.එස්. සංවිධානය ලොව පුරා පතුරුවා හරින ලද ඉස්ලාමීය අන්තවාදී ප්‍රචණ්ඩත්වයේ ප්‍රචාරක චිත්‍රපටි ලෙස මෙවැනි බෙලි කැපීම් ගණනාවක් අන්තර්ජාලයට එක්කර තිබිණ. අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදියා කෙනකුගේ බෙල්ල කපන්නේ සෞරග්‍රහ මණ්ඩලයෙන් එහා ඇහෙන තරමට හඬ නඟා යාඥා කරමින්ය. දෙවියන්ට යාඥා කරමින් හරකකුගේ හෝ කුකුළකුගේ හෝ මිනිහකුගේ බෙල්ල කැපූ විට සියලු පව් සේදී යන බව මේ මැටි බූරුවෝ කල්පනා කරති. මෙවැනි ගොන් වැඩවලින් සේදී යන්නේ පව් නොව දෙවියන් වහන්සේගේ රෙද්ද ය. අප දන්නා පරිදි දෙවියන් නමැති උත්තරීතර විඤ්ඤාණවාදී බලවේගය ඉතාම මෛත්‍රී සහගත ය. කාටවත් කෙළවීමේ අදහසක් දෙවියන්ට නැත. උන්වහන්සේ ප්‍රිය කරන්නේ පව්කාරයින්ගෙන් තොර රාජ්‍යයකි. එහෙත් දෙවියන්වහන්සේ අනුගමනය කරනවා යැයි කියමින් මේ ලෝකයේ සිටින වැඩිදෙනා කරන්නේම පව්කාර වැඩ ය.

ගාසා තීරයේ සැඟව සිටින හමාස් ගරිල්ලන් සමග සටන් කිරීමේදී ඊශ්‍රායලය ක්‍රමෝපාය ප්‍රශ්නයකට මුහුණදෙනවා ඇත. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධයක් නැතුව පැවති කාලයේදී හමාස් ගරිල්ලෝ ගාසා තීරය පුරා භූගත උමං මාර්ග සැතපුම් 500 ක් ඉදි කළහ. මේවා මීටර් දෙකක් පළල මීටර් තුනහමාරක් උස බිම් ගෙවල් වන අතර ඒවායේ වහල කොන්ක්‍රීට් යොදා සවිමත් කර තිබේ. සෑම බිම් ගෙයක්ම එකිනෙක අතර සම්බන්ධය. හමාස් ගරිල්ලන් දැනට සිටින්නේ මේ බිම් ගෙවල් තුළය. ඒ අතර පලස්තීන වැසියෝ පොළොව මතුපිට ගෙවල් හදාගෙන ජීවත් වෙති. මේ බිම් ගෙවල් සංකීර්ණය විනාශ කිරීම සඳහා ඊශ්‍රායල හමුදාව BUNCKER BUSTER වැනි මිසයිල පාවිච්චි කළොත් පොළොව මතුපිට ජීවත්වන පලස්තීන ජාතිකයන්ගෙන් අවම වශයෙන් ලක්ෂ අටක්වත් මියයනවා ඇත. එහෙත් මේ මොහොත වනවිට ඊශ්‍රායලය මිනිස් ජීවිතවලට එතරම් විශාල අගයක් දෙන බවක් නොපෙනේ. එක්සත් ජාතීන්ගේ ජෝර්දාන තානාපති කී පරිදි පලස්තීන ජාතිකයන්ට ඊශ්‍රායලය විසින් දුන් අවස්ථා දෙක ප්‍රයෝජනයට ගැනීම හැර වෙන විකල්පයක් ඉතිරිව නැත. මේ අවස්ථා දෙකන් පළමුවැන්න නම් උතුරු ගාසාවෙහිදී මිය යෑමය. දෙවැන්න නම් දකුණු ගාසාවේදී මිය යෑමය.

advertistmentadvertistment
advertistmentadvertistment