වැට් බද්ද යළි උස්සයි

334

අලුත් බදුත් එයි

බඩු මිලත් ඉහළට

දැනට ක්‍රියාත්මක වන එකතු කළ අගය මත බදු (වැට්) අනුපාතය ලබන වසරේ (2024) ජනවාරි 01 දින සිට සියයට 18 දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

දැනට පවතින වැට් බදු අනුපාතිකය සියයට 15කි. එසේම දැනට වැට් බද්ද අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත අලුතින් එම බද්ද පැනවීම ඇතුළු නව බදු යෝජනා කිහිපයක් 2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක කිරීමටත් අදාළ නීති සංශෝධනය කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

රාජ්‍ය බදු ආදායම වර්ධනය කර ගැනීම සඳහා බදු ප්‍රතිපත්ති ගණනාවක් ක්‍රියාත්මක කිරීම නිසා ගිය වර්ෂයට (2022) සාපේක්ෂව මේ වසරේ මුල් මස 09 තුළ රජයේ බදු ආදායම සියයට 51 කින් ඉහළ ගොස් තිබේ.

එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති බදු ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකි වී නැත.

මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කවලට අනුකූලව බදු ආදායම් වර්ධනය කර ගැනීම සඳහා මෙම වැට් බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට අලුතින් ඇතැම් භාණ්ඩවලට වැට් බද්ද පැනවීමට සහ නව බදු යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජයට තීරණය කර තිබේ.

ණය තිරසාරභාවය තහවුරු කර ගැනීමේ අරමුණින් ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍යස්ථාවරත්වය සඳහා 2022 ජුනි මාසයේ සිට බදු පදනම වැඩිවන සහ වර්ධනාත්මක බදු ප්‍රතිපත්ති යෝජනා ගණනාවක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

මේ බදු යෝජනා ක්‍රියාත්මක වීමත් සමග භාණ්ඩ හා සේවා මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික හා මූල්‍ය විශ්ලේෂකයෝ පවසති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment