පැරසිටමෝල් දිගු කලක් භාවිතයෙන් සිදුවන අනතුරු

531

දිගු කලක් මුළුල්ලේ පැරසිටමෝල් පෙති භාවිත කරන අධි රුධිර පීඩනයෙන් (හයි බ්ලඞ් ප්‍රෙෂර්) පෙළෙන්නන් හෘදයාබාධ හා ආඝාතයට (ස්ට්‍රෝක්) ගොදුරු වීමේ අවදානම ඉතාමත් වැඩි බව ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකදී අනාවරණය කරගෙන තිබේ.

 මෙම අවදානම වෛද්‍ය නිර්දේශය මත දිගු කලක් පැරසිටමෝල් පෙති භාවිත කරන ලබන අධිරුධිර පීඩනයෙන් පෙළෙන්නන් තුළ දක්නට ලැබෙන අතර එසේ දිගු කලක් පැරසිටමෝල් භාවිත කරනු ලබන අධි රුධිර පීඩනය වැලඳී ඇති පුද්ගලයන්ට එම පෙති නිර්දේශ කිරීමේදී ඉන් ඇති වන අවදානම් තත්ත්වයන් හා ප‍්‍රතිලාභ පිළිබඳව වෛද්‍යවරුන් විසින් නැවත වරක් සිතිය යුතු බව පර්යේෂකයෝ කියා සිටිති. කෙසේ වුවද කෙටි කාලයක් හිසරදය හා උණ රෝගයන් සඳහා පැරසිටමෝල් පෙති වේදනා නාශකයක් වශයෙන් භාව්ත කිරීම ආරක්ෂිත බව පර්යේෂණ කණ්ඩායමට අයත් සායනික මහාචාර්ය ජේම්ස් ඩියර් මහතා පවසයි.

 පර්යේෂකයන් විසින් ස්වේච්ජා සේවකයන් 110 දෙනකු යොදාගෙන සිදු කරන ලද සායනික අත්හදාබැලීම්වලදී අනාවරණය වී ඇත්තේ පැරසිටමෝල් භාවිත කරන අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ගේ රුධිර පීඩනය ක‍්‍රමයෙන් වැඩි වන බවයි. හෘදයාබාධ හා ආඝාතය ඇති වීම සඳහා බලපාන ප‍්‍රධාන පෙළේ අවදානම් සාධකයක් ලෙස සැලකෙනුයේ අධි රුධිර පීඩනයයි. මෙම සායනික අත්හදාබැලීම් සඳහා යොදා ගත් ස්වේච්ඡුා සේවකයන්ගෙන් තුනෙන් දෙකක් අධි රුධිර පීඩනය සඳහා බෙහෙත් ලබා ගන්නා අය බව මහාචාර්ය ඩියර් සඳහන් කර සිටී.

 මෙම අත්හදාබැලීම්වලදී අනාවරණය වූ කරුණු සැලකිල්ලට ගෙන වෛද්‍යවරුන් විසින් සිය අධි රුධිර පීඩන රෝගීන් සඳහා හැකිතාක් අඩුම පැරසිටමෝල් මාත‍්‍රාවක් ලබා දීමට සැලකිලිමත් විය යුතු අතර ඔවුන් හා හෘද රෝග ඇති වීමේ අවදානමක් ඇති පුද්ගලයන්ව සමීපව නිරීක්ෂණය කළ යුතු බව හෙතෙම අවධාරණය කර සිටී. මෙම පර්යේෂණය සිදු කළ ස්කොට්ලන්තයේ 2018 වසරේදී සෑම 10 දෙනකුගෙන්ම එක් අයෙකුට එනම් ලක්ෂ පහක් පමණ දෙනා හට වෛද්‍යවරුන් විසින් පැරසිටමෝල් පෙති නිර්දේශ කර තිබිණි.

 මෙම පර්යේෂණය සඳහා අරමුදල් සැපයූ බි‍්‍රතාන්‍ය හෘද පදනම පෙන්වා දෙනුයේ වෛද්‍යවරුන් මෙන්ම රෝගීන් ද හානිකර නොවන බෙහෙත් සේ සැලකෙන පැරසිටමෝල් වැනි බෙහෙත් පවා රෝගාබාධයක් සඳහා ලබා ගත යුතුම ද යනුවෙන් නැවත වරක් සිතා බැලිය යුතු බවයි.

ඒමන්ති මාරඹේ
 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment