වසර 03ක් ලංකාවේ වේටර් පුහුණුව

අද Royal Rose හෝටල් සමූහයේ සමූහ අලෙවි කළමනාකරු

ජයග්‍රහණය කියන්නෙ කැප කිරීමට

අබුඩාබි රාජ්‍යයෙහි පිහිටි තරු පන්ති සංචාරක හෝටල් ගත්කල ROYAL ROSE යනු ධන කුවේරයන්, රාජකීයයන් ඇතුළු විවිධ රටවල සිට එරට සංචාරය කරනු ලබන රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ප්‍රකට ව්‍යාපාරිකයන් ආදී ඉහළ පෙළේ සංචාරකයන් සඳහා කෑම බීම, නවාතැන් පහසුකම් සපයන සුපිරි පන්තියේ සංචාරක හෝටලයක් ලෙස ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් නමක්ය. එය දෙවෙනි වන්නේ එරට පිහිටි තවත් සුප්‍රසිද්ධ සංචාරක හෝටලයක් වන “එමිරේට්ස් පැලස්” නම් සංචාරක හෝටලයට පමණය.

එරට තරු පන්තියේ සංචාරක හෝටල් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින “රෝයල් රෝස්” එවැනි තැනකට පත් කිරීම පිණිස වෙහෙස වූවන් අතර අශෝක ගුණවර්ධන නම් ශ්‍රී ලාංකිකයාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්ය. අබුඩාබියේ රාජකීය පවුලට ඥාති සබඳකම් පවතින ෂේක්වරයකුට අයත් රෝයල් රෝස් හෝටල් සමූහයේ සමූහ වෙළෙඳ කළමනාකරු වශයෙන් කටයුතු කරන අශෝක ගුණවර්ධන මේ දිනවල කෙටි නිවාඩුවක් පිණිස මෙරටට පැමිණ ඇත. දශක දෙකක් වැනි කාලයක් තුළ ජාත්‍යන්තර හෝටල් ක්‍ෂේත්‍රයේ ඉහළම ස්ථානයක් හිමිකර ගත් ශ්‍රී ලාංකිකයකු ලෙස මෙතෙක් ඔහු පැමිණි ගමන් මඟ දෙස බැලීමේදී බොහෝ දේ උගත හැක. එය තවත් කෙනකුට ආදර්ශවත් කතාවක් වනු ඇත. පුහුණු වේටර්වරයකු ලෙස මෙරට හෝටල් ක්‍ෂේත්‍රයට පිවිසෙන ඔහු එතැන් සිට පියවරෙන් පියවර තම වෘත්තීය ජීවිතය තුළ ස්ථාවරත්වයට පත් වන අතර ඔහුට ජාත්‍යන්තර හෝටල් ක්‍ෂේත්‍රයේ දොරටු විවර වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. තමන් පැමිණි ගමන් මඟ පිළිබඳ වූ තෘප්තිමත් හැඟීමෙන් යුතුව අශෝක ගුණවර්ධන එම අතීතය අප හමුවේ විස්තර කර සිටියේ මේ අයුරින්ය.

“පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මම මුලින්ම කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ තරු පන්තියේ හෝටලයක රැකියාවකට එනවා. නුපුහුණු ශ්‍රමිකයෙක් ලෙස තමයි මම හෝටල් ක්‍ෂේත්‍රයට පිවිසෙන්නෙ. 1994 වසරේ ඒ ආකාරයෙන් ක්‍ෂේත්‍රයට එක්වෙන මම වසර තුනක කාලයක් වේටර්වරයෙක් ලෙස පුහුණුවක් ලබනව.”

“කොළඹ ‘ඔබ්රෝයි’ හෝටලයෙන් ඒ පුහුණුව ලැබුවට පස්සෙ තවත් වසර කීපයක් ඒ හෝටලයේ ම සේවකයෙක් ලෙස කටයුතු කරන්න මට අවස්ථාව ලැබෙනව. ඒ තුළින් හෝටල් ක්‍ෂේත්‍රයේ හැම පැත්තක් පිළිබඳවම හොඳ අවබෝධයක් ලබාගන්න මට අවස්ථාව හිමි වුණා. එහෙම සේවය කරමින් ඉන්න අතරතුර දවසක් හෝටල් ලොබි එකේදී එක්තරා තරුණියක් මට මුණගැහෙනවා. ඇයට සේවාවන් සැපයුවේ මම. ඇය වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ ආයතනයක ඉහළ තනතුරක් දරන්නියක්. මා සමග කතාබහක නිරත වූ ඇය අවසානයේ දී මගෙන් විමසුව වෙළෙඳ දැන්වීමකට පෙනී ඉන්න කැමතිද කියල. මම ඒ සඳහා එකඟතාවය පළ කළා. ඇත්තට ම ඒ වෙළෙඳ දැන්වීමට පෙනී සිටියට පස්සෙ මට ලොකු ජනප්‍රියත්වයක් හිමි වුණා. ඊට පස්සෙ රූපවාහිනි සහ පුවත්පත් වෙළෙඳ දැන්වීම් පනහකට අධික ප්‍රමාණයක මට පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. රැකියාවට අමතරව ආදායමක් සහ ඉහළ ජනප්‍රියත්වයක් මා සොයා පැමිණෙන්න ගත්තෙ ඉන් අනතුරුවයි. බිස්නස් ටුඩේ වැනි ජනප්‍රිය සඟරාවල පවා මගේ රූපය පළවෙන්න ගත්තට පස්සේ හෝටල් කළමනාකාරිත්වය විසින් මට උසස්වීමක් පවා ලබා දුන්නා.”

රැකියා අවස්ථා 1000ක් අපේ රටට දුන් අබුඩාබියේ නිල නොලත් තානාපතිවරයා

එවැනි ආරම්භයක් ලබාගත් අශෝක ගුණවර්ධන වසර කීපයකින් අනතුරුව ජාත්‍යන්තර හෝටල් ක්‍ෂේත්‍රයට පිවිස ඇත. එම අවස්ථාව ඔහුට හිමි වන්නේ 2008 වසරේදී ය. කටාර් රාජ්‍යයේ පිහිටි සුප්‍රසිද්ධ සංචාරක හෝටලයක කාර්ය මණ්ඩල සාමාජිකයකු වන ඔහු ඒ තුළින් තම වෘත්තීය අත්දැකීම් තව තවත් පුළුල් කරගෙන ඇත. අනතුරුව වසර 08ක සේවා කාලයකින් පසු එරටට සමුදෙන අතර ඒ වනවිට ජාත්‍යන්තර හෝටල් ක්‍ෂේත්‍රය තුළ පවා හොඳ ඉල්ලුමක් සහිත අයකු බවට පත්ව අවසන්ය. අශෝක මෙතැන් සිට පවසන්නේ ඒ කතාවය.

“කටාර්වල වැඩ කරද්දී අපේ කාර්ය මණ්ඩලයේ විවිධ රටවලට අයත් පිරිස් රාජකාරි කළා. ඒ අතර අබුඩාබි ජාතිකයෙක් හිටියා. ඔහු මට වඩා ඉහළ නිලයක රාජකාරි කළ පුද්ගලයෙක්. එක්තරා අවස්ථාවක අබුඩාබි ‘රෝයල් රෝස්’ කළමනාකාරිත්වය ඔහුට දැනුම් දෙනව ‘රෝයල් රෝස්’ වේකන්සීස් කීපයක් තිබෙනව, ඒ සඳහා සුදුසු කණ්ඩායමක් එක්ක ඉල්ලුම් කරන්න කියලා. දවසක් ඔහු මගෙන් ඇහුව අබුඩාබියේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක වේකන්සීස් කීපයක් තියෙනවා එයින් එකකට මගේ නමත් යෝජනා කරල යවන්න ද කියලා. ඇත්තට ම ඒ වෙද්දි මටත් ඕන කරල තිබුණා වෙනත් රටකට ගිහින් වෙනස් අත්දැකීමක් ලබා ගන්න. ඒ හින්ද අපි කණ්ඩායමක් වශයෙන් ‘රෝයල් රෝස්’ අයැදුම්පත් යොමු කළා. කොහොම හරි දහස් ගණනක් අයැදුම්පත් අතරින් අපේ කණ්ඩායමේ කීපදෙනෙක්ම ඒ කාර්ය මණ්ඩලය සඳහා තෝරා ගත්තා. ඒ කීපදෙනා අතරින් මමත් එක් අයෙක් බවට පත්වුණා.”

කටාර් රාජ්‍යයට සමුදෙන අශෝක ගුණවර්ධන අබුඩාබි රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇත්තේ ඒ ආකාරයෙන්ය. එතැන් සිට අද දක්වා රෝයල් රෝස් ජාත්‍යන්තර හෝටල් සමූහයේ සමූහ අලෙවි කළමනාකරු වශයෙන් හේ බරසාර වගකීම් රැසක් ඉටුකරමින් ඇත. ඔහුගේ ප්‍රධානතම වගකීම බවට පත්ව ඇත්තේ කාමර 850කින් සමන්විත රෝයල් රෝස් හෝටල් සමූහය වෙත සංචාරක ආකර්ෂණය දිනා ගැනීමය. ඒ සඳහා රට රටවල සංචාරය කරමින් ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම එමගින් විදේශීය සංචාරකයන් එහි ගෙන්වා ගැනීම ඊට අමතරව අබුඩාබි රාජ්‍ය තුළ පිහිටි අනෙකුත් සංචාරක හෝටල් අතර “රෝයල් රෝස්” තරු ලකුණක් බවට පත් කිරීම ඇතුළු විසල් කාර්යභාරයක් ඔහු විසින් මේ වනවිට සිදුකරමින් ඇත. එපමණක් නොව, එරට තුළ ශ්‍රී ලාංකිකයන් දහසකට අධික ප්‍රමාණයකට රැකියා ලබාදීමට ද අශෝක නම් සමූහ අලෙවි කළමනාකාරවරයා කටයුතු කර ඇත. ඒ පිළිබඳ උපන් විසල් තෘප්තියෙන් යුතුව නැවතත් අදහස් දක්වන්නට වූ අශෝක වැඩිදුරටත් මෙසේ සඳහන් කර සිටියේය.

“බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්න දෙයක් තමයි මැදපෙරදිග ගියොත් කෙනෙක් ඒ යන්නේ ගෘහ සේවයට කියලා. ඒක වැරදි මතයක්. මැදපෙරදිග ගෘහ සේවය පිණිස රැකියා තිබෙනවා. නමුත් ඒ සඳහා අපේ රටින් යවන්නේ නුපුහුණු කාන්තාවන්. එහෙම යන අයට විවිධ දුෂ්කරතාවන්ට පවා මුහුණ දෙන්න වෙනවා. ඒක රහසක් නොවෙයි. මම දන්න තරමට මැදපෙරදිග රටවල ශ්‍රී ලාංකිකයෝ ලක්‍ෂ පහකට ආසන්න පිරිසක් වැඩ කරනවා. ඒ පිරිස අතරින් වැඩි දෙනෙක් ඔහේ යනවට යනවා. අන්තිමට රස්සා නැතිව අතරමං වෙනවා. මම මගේ අත්දැකීමෙන් කියන්නේ. මැදපෙරදිග ඕන තරම් රැකියා අවස්ථා තිබෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ අපේ අයට ඒ සඳහා සුදුසුකම් නැතිකම පමණයි. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව හසුරවන්න බොහෝ දෙනෙක් අසමත් වීම තුළ හොඳ රැකියා අවස්ථා අහිමි වන තත්ත්වයක් ඒ රට තුළ ඇතිවෙලා තිබෙනවා. දැනට අපේ හෝටල් සමූහයේ පමණක් රැකියා අවස්ථා දහසකට අධික ප්‍රමාණයක් අපේ රටේ මිනිසුන්ට මම අරන් දීල තිබෙනවා. ඒ අතර වැඩ පරීක්‍ෂකවරු, කළමනාකරුවන් ඇතුළු හොඳ ඉහළ වැටුපක් ගන්න විශාල පිරිසක් ඉන්නවා. අපේ මිනිස්සුන්ට ඒ රටවල හොඳ රැකියා ලැබෙන තරමට තමයි රටට ඩොලර් එවන්න පුළුවන් වෙන්නේ. අනිත් වැදගත්ම කාරණය තමයි මැදපෙරදිග රස්සා කරන මිනිස්සු තමන් උපයන ආදායම මුළුමනින්ම ලංකාවට එවනවා. යුරෝපා රටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට වඩා වැඩි මුදලක් ලංකාවට එවන්නෙ මැදපෙරදිග රැකියා කරන ශ්‍රී ලාංකිකයන් බව තවමත් හුඟ දෙනෙක් නොදන්න කාරණාවක්. මේ තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යන්න නම් ගෘහ සේවය වේවා එහෙම නැත්නම් වෙනත් රැකියා අවස්ථා සඳහා වේවා මැදපෙරදිග බලා පැමිණෙන පිරිස් වෙත යම් සහනයක් සහ පහසුකම් ලබාදීමට රජය කටයුතු කළ යුතුයි කියලත් මේ වෙලාවෙ මතක් කර සිටිනවා…”

ලෝක ප්‍රසිද්ධ තරු පන්තියේ හෝටල් ජාලයක සමූහ වෙළෙඳ කළමනාකරු වශයෙන් කටයුතු කරන අශෝක ගුණවර්ධනගේ රාජකාරි ස්වභාවය පිළිබඳව විමසීමට ද අප අමතක කළේ නැත. ඊට හේතුව නම් ඔහුගේ වෘත්තීය අත්දැකීම් තවත් කෙනෙකුගේ යහපත පිණිස ඉවහල් වන බැවින් ය. රටක් ලෙස අප මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් යම් තරමක් දුරට හෝ මිදීම පිණිස අශෝක වැනි චරිත මෙරට තුළින් තව තවත් බිහිවිය යුතුය. අශෝක ප්‍රශ්න කර සිටින්නේ පුහුණු වේටර්වරයකු ලෙස හෝටල් ක්‍ෂේත්‍රයට යොමු වූ ඔහුට පසු කලෙක ක්‍ෂේත්‍රයේ ඉහළම ස්ථානයක් හිමිකර ගතහැකි නම් ඒ හපන්කම තවත් ශ්‍රී ලාංකිකයන්ට කළ නොහැක්කේ මන්ද යනුවෙන්ය.

‘අබුඩාබි රාජ්‍ය කියන්නේ මැදපෙරදිග කලාපය තුළ වේගයෙන් දියුණු වෙන රටක්. විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය පැත්තෙන් ඉතාමත් දියුණු රටක් දැනට වසර හත අටකට එපිට ගත්තොත් සංචාරකයන් අබුඩාබි ආවෙ “සිටි ටුවර්” එකකට පමණයි. ඩුබායිවල නතරවෙලා තමයි ඒ අය සංචාරයේ යෙදුණේ. දැන් අබුඩාබි සංචාරය කරන කෙනකුට අඩුම තරමින් දවස් පහක් ගතවෙනවා. ඒ තරමට ම සංචාරක ආකර්ෂණය ඉහළයි. ඉස්සර ඩුබායිවල ඉඳල අබුඩාබි ආව සංචාරකයන් අද තමන්ගේ ගමන් මඟ වෙනස් කරල කෙලින්ම එන්නෙ අබුඩාබි ‘experience Abudhbi’ ටැග් එක යටතේ දැනටමත් අබුඩාබිය ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් අත්පත් කරගෙන තිබෙනවා. මේ රටේ හෝටල් ක්‍ෂේත්‍රය ගත්විට 2024 වර්ෂය සඳහා දැනටමත් හෝටල් කාමර පවා විදේශිකයන් විසින් වෙන්කරගෙන ඉවරයි. වෙනත් ක්‍ෂේත්‍ර තුළ පවා ලොකු රැකියා වෙළෙඳ පොළක් පවතිනවා. ඒ තුළ ශ්‍රී ලාංකිකයන්ට හොඳ
රැකියා අවස්ථා නිර්මාණය වෙමින් පවතිනවා. හෝටල් ක්‍ෂේත්‍රය වගේම අනිකුත් රැකියා අවස්ථා සඳහා පළමුව හොඳ පුහුණුවක් ලබන්න. ඉන් අනතුරුව මැදපෙරදිග එන්න කියල මම අපේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

තමන් පමණක් නොව, රටේ තවත් පිරිසක් වෙත ද හොඳ ජීවන තත්ත්වයක් ලබාදීම පිණිස මේ වනවිට ද බොහෝ දේ කර ඇති අශෝක ගුණවර්ධන යළි යළිත් සිහිපත් කර සිටින්නේ විධිමත් පුහුණුවකින් පසු එරට පැමිණෙන ලෙසත් එසේ පැමිණෙන පිරිස් පිළිගැනීම පිණිස අබුඩාබිය සූදානමින් පසුවන බවත්ය. එය සැබෑවක්ය. ඔහුගේ ගමන් මඟ දෙස විමසිල්ලෙන් බැලීමේදී ඒ බව පසක් වන්නේය. කෙටි නිවාඩුවක් පිණිස සියරට පැමිණ සිටින ඔහු තවත් නොබෝ දිනකින් අබුඩාබියේ පිහිටි සුපිරි පන්තියේ හෝටලයක් වන රෝයල් රෝස් වෙත ගමන් කිරීමට නියමිත අතර ඔහු එලෙස පිටත්ව යන්නේ මෙම හෙළිදරව්ව මගින් රටට ‘සුබ ආරංචියක්’ ලබාදීමෙන් අනතුරුවය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment