මං වැටිලා නෑ…රෝද පුටුවෙන් ජීවිතය දිනන්න පුළුවන් – පැතුම් බණ්ඩාර පවසන පැතුම් සහගත කතාව

493

අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලකදී මාව ආබාධයට ලක්වෙනවා.

මම තරග කළේ කිලෝ ග්‍රෑම් 95 බර පංතිය යටතේ රෝද පුටුවෙන් විශ්වවිද්‍යාලයට ගියා

නව නිපැයුම් 12ක් රටට හඳුන්වා දුන්නා

පේටන්ට් බලපත්‍ර 4ක් මා සතුයි

දළදා පෙරහැරේ නැටුමට ජනාධිපති සම්මාන දෙකක් ලැබුවා.

අම්ම තාත්තගෙ රැකියාව ගොවිතැන

ලෝකය වෙනස් කළ පරමාදර්ශී චරිත බොහෝය. ඔවුහු තම තමන් නිපුණතා දක්වන ක්‍ෂේත්‍ර ඔස්සේ ක්‍රියාත්මක වෙමින් මානව ප්‍රගමනය පිණිස ලෝකයට ඇවිත් අලුත් දෑ හඳුන්වා දුන්හ. මානව ඉතිහාසය සියුම්ව පරීක්‍ෂාකර බැලීමේදී එම පරමාදර්ශී චරිත පිළිබඳ උදාරම් අන්දර බොහෝමයක් හඳුනාගත හැක.

පහත පළවන්නේ රටක් ලෙස අපට මේ මොහොතේ පරමාදර්ශය සපයන තරුණයකු පිළිබඳ කතාවක්ය. හේ 31 හැවිරිදි ප්‍රසන්න සිනහවෙන්, ප්‍රියමනාප කතාවෙන් යුත් චානක පැතුම් බණ්ඩාර ඉකුත් දිනක ‘දිවයින’ කාර්යාලය වෙත පැමිණියේ වෙනත් කටයුත්තක් පිණිස කොළඹ පැමිණි අතරතුරය. මිතුරන් පිරිසක් සමඟ ‘දිවයින’ට පැමිණි පැතුම් ඔහුගේ කතාව අප හමුවේ සඳහන් කර සිටියේ මිතුරන්ගේ බලවත් ඉල්ලීම මතය. පැතුම් ගේ ජීවිතය මේ වනවිට රෝද තුනකට සීමාවුව ද මානසික ශක්තිය අතින් ඔහු කිසිවෙකුට නොදවෙනිය. ඔහුගේ කතාව රට හමුවේ තැබීමට අප විසින් තීරණය කරන්නේ එබැවින්ය. පහත පළවන්නේ ඔහුගේ මුවින් පිටවූ ඒ කතාවය. එය අසා සිටීමේදී පවා හැඟීයන්නේ ‘පැතුම්’ යනු එම නමට පමණක් සීමා නොවූ පැතුම් සහගත තරුණයකු බවය.

“……. මගේ ගම පේරාදෙණිය

මොගොඩකළුගමුව. ‘මම මූලික අධ්‍යාපනය ලැබුවේ පේරාදෙණිය සරසවි උයන මහා විද්‍යාලයෙන්. ඊට පස්සේ උසස් පෙළ සඳහා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ඇතුළත් වෙනවා. උසස් පෙළ ප්‍රතිඵලත් එක්ක මට රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබෙනවා. කෘෂි සම්පත් කළමනාකරණය හා තාක්‍ෂණ පාඨමාලාව යටතේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතරතුර ක්‍රීඩාව පැත්තෙන් මට මගේ දක්ෂතාවයන් එළි දක්වන්නත් අවස්ථාව ලැබුණා. එතනදී පිහිනුම්, රෙස්ලින්, හොකී, වැනි ක්‍රීඩාවන් සඳහා මගේ ලොකු කැමැත්තක් තිබුණා. ඊට අමතරව පාසල් අධ්‍යාපනය ලබන අවදියේදී නර්තන ශිල්පියෙක් ලෙස වෙස් පළඳිනවා. මහනුවර දළදා පෙරහැරේ නටන්නත් මට අවස්ථාව ලැබුණා. එතනදී වසර දෙකක් මම ජනාධිපති සම්මාන හිමිකර ගන්නවා.”

පාසල් ශිෂ්‍යයෙක්, විශ්වවිද්‍යාල සිසුවෙක් පමණක් නොව ක්‍රීඩාවේ ද හපනෙකු වූ පැතුම් බණ්ඩාර එතැනින්ද නොනැවතී දෙවරක් ජනාධිපති සම්මානලාභී නර්තන ශිල්පියෙක්ද තමන් තුළ ජීවත්වූ බව පවසා මුවඟට සිනහවක් නඟා ගත්තේ රෝද පුටුවක් මත මේ වනවිට ගතකරමින් හිඳින්නේ ජීවිතය පිළිබඳ තමන් තුළ පසුතැවීමක් නැතැයි යන හැඟීමෙන් යුතුවය. කෙසේ වුවද ඔහු මේ වනවිට දිවි ගෙවමින් පසුවන්නේ රෝද පුටුවක් මතය. කෙළිලොල් දඟකාර යෞවනය රෝද පුටුවකට සීමා වූ ආකාරය පිළිබඳව විමසීමේදී එම අනපේක්ෂිත සිදුවීම සිදුවූ ආකාරයත් ඉන් අනතුරුව වසරකට ආසන්න කාලයක් රෝහල් කීපයක නේවාසිකව ප්‍රතිකාර ලබාගත් ආකාරයත් පිළිබඳව ඔහු විසින් විස්තර කරන්නට විය.

“අපේ විශ්වවිද්‍යාලයේ පැවැති වාර්ෂික ක්‍රීඩා තරගාවලියක් සඳහා මම මල්ලව පොර ඉසව්ව යටතේ තරග වදිනවා. එතනදී අවසන් වටය තරගයදී මගේ ප්‍රතිවාදියා පරාජය කරමින් මම පළමු ස්ථානය ලබා ගන්නවා. ඊට පස්සේ අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරග නියෝජනය කරන්න මට අවස්ථාව ලැබෙනවා. මීට් එක තිබුණේ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ. එදා මම තරග කළේ කිලෝ 95 බර පංතිය යටතේ. එතනදී අර්ධ අවසන් පූර්ව තරගය දක්වා යන්න මට අවස්ථාවක් ලැබෙනවා. අර්ධ අවසන් පූර්ව තරගයේ නිරත වෙමින් ඉන්න අතරතුර තමයි මම අනතුරට මුහුණ දෙන්නේ. තරගය අතරතුර එක්තරා අවස්ථාවක මගේ සමබරතාව ගිලිහිලා මාව වැටෙනවා. වැටෙනවත් එක්කම මගේ ප්‍රතිවාදියාගේ වැලමිට මගේ බෙල්ලෙ හිරවෙනවා. මාව බිම වැටුනට පස්සෙ ආපසු නැගිටින්න ශක්තියක් තිබුණේ නෑ. නමුත් මට සිහිය තිබුණා. ඊට පස්සේ මාව මඩකලපුව රෝහලට අරන් යනවා. එතනින් කොළඹ මහ රෝහලට මාරුකරලා එවනවා. මේ සිද්ධිය වෙන්නෙ මා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ පළමු අවුරුද්දේ. ඒ කියන්නෙ 2014 දී. මගේ සුෂුම්නාවට හානිවෙලා කියලා වෛද්‍ය වාර්තාවලින් ඔප්පු වුණාට පස්සේ ලොකු ශල්‍ය කර්මයක් සිදු කරනවා. දැනුත් මගේ බෙල්ලෙ එදා දාපු ප්ලේට් දෙකක් තිබෙනවා. ඊට පස්සෙ රාගම පුනරුත්ථාපන රෝහලේ මම මාස 06 ක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඊට පස්සෙ මම නැවතත් මගේ අධ්‍යාපන කටයුතු පිණිස විශ්වවිද්‍යාලයට යනවා. ඒ යන්නෙ රෝද පුටුවෙන්….”

එසේ පැවසූ පැතුම් බණ්ඩාරගේ මුව මත නිරායාසයෙන් මතුවූ සිනාවක් විය. එහි සැඟව පැවැති අරුත වූවේ අතීතය පිළිබඳ තමන් තුළ පසුතැවීමක් කලකිරීමක් නොමැති බවය. සුෂුම්නාවට සිදුවූ බරපතළ අනතුරක් හේතුවෙන් ගතවාරු නොවූවද පැතුම් සහගත වූ පැතුම් නැවත තම විශ්වවිද්‍යාලිය යහළු යෙහෙළියන්ගේ ඇසුර, අත්වැල ලබමින් සහ නොබිඳුණු මානසිකත්වයකින් යුතුව ජීවිතයට මුහුණදීමට තීරණය කරන අතර එහිදී ඔහු මූලිකත්වය ලබාදී ඇත්තේ අතපසුවූ අධ්‍යාපනික වැඩකටයුතු කඩිනමින් නිමාකිරීම පිණිසය. ඒ සඳහා විශ්වවිද්‍යාලීය සගයන් ලබාදුන් සහයෝගය ඉමහත් බව සිහිපත් කිරීම තරම් පැතුම් නිහතමානී විය.

“මගේ ශරීරය මටම බරක් වෙලා රෝහලේ ඇඳක් මතට වුණාට පස්සේ ලොකු මානසික පීඩනයක් දැනෙන්න ගත්තා. මගේ අම්ම තාත්තා ඒ වගේම එකම මල්ලීට මේ සිද්ධිය දරාගන්න තරමක් අපහසු වුණා. අපි ගොඩක් අසරණ වෙලා ඉන්න වෙලාවක මගේ විශ්වවිද්‍යාල යහළු යෙහෙළියෝ එක මොහතකවත් අපිව තනි නොකර අපේ ළඟ හිටියා. මම රාගම පුනරුත්ථාපන රෝහලේ ප්‍රතිකාර ලබපු මාස හය පුරාම මාරුවෙන් මාරුවට මගේ විශ්වවිද්‍යාල මිතුරන් මගේ ළඟ හිටියා. මාතර කඹුරුපිටියේ ඉඳලා එක්කෙනෙක් ඇවිත් දවසක් මගේ ළඟ ඉඳලා රාගමින් පිටවෙද්දී තව කෙනෙක් රාගම එන්න කඹුරුපිටියෙන් බස් එකට නගිනවා. මාස 06 ක් පුරා මේ දේ හැමදාම සිදු වුණා.”

ඊට පස්සේ මම අර මුලින් කිව්ව විදිහට රෝද පුටුවෙන් කැම්පස් යනවා. එතනදිත් යාළුවො තමයි මාවත් ඉස්සර කරගෙන යන්නෙ. ඒ ගිහින් අතපසු වූ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරනවා. ඒ වෙද්දි මගේ අතපය වැඩ කරන්නේ නෑ. යාළුවො ටික ලෙක්චර්ස් නෝට් ටික ෆොටෝ කොපි කරලා ගෙනත් දෙනවා. ඒ කරලා පාඩම් වැඩ ටිකත් ඒ අයම මට කියලා දෙනවා. ප්‍රැක්ටිකල් කරද්දි මම කියන ඒවා වෙන කවුරු හරි කරනවා. විභාග ලිව්වෙත් මම කටින් කියනකොට ලෙක්චර් කෙනෙක් ඒක කොළයක සටහන් කරනවා. ඊට අමතරව රෙකෝඩ් යන්ත්‍රයක් මගේ ළඟින් තියනවා.එතකොට මම කියන දේ ලියනව වගේම රෙකෝඩ් වෙනව. ඒක තමයි පිළිතුරු පත්‍ර විදියට ඉදිරිපත් කරන්නෙ. එහෙම කරලා 2018 වසරෙදී මම උපාධිය සමත් වෙනවා. 2019 දී මම උපාධි ප්‍රදානෝත්සවයට යනවා. ඒ යන්නෙත් රෝද පුටුවෙන්. අන්තිම අවුරුද්දෙදි රිසර්ච් එකක් කරන්න ඕන. මම රෝද පුටුවෙ හිටිය කියලා ඒක මඟහරින්න බෑ. එහෙම වුණොත් උපාධිය සම්පූර්ණ වෙන්නෙ නැහැ. එතනදී මම කළේ කුඹුරක් වපුරද්දි පැළ වී පේළියට දමන්න පුළුවන් යන්ත්‍රයක් හදන එක. ඒක සාර්ථකයි. ඒකෙන් කුඹුරු හිමියට ලැබෙන වාසි කිහිපයක් තිබෙනවා ගොයම් ගස් අතර වැවෙන වල්පැළ විනාශ කරන්න. වල් නාශක යොදන්න ඕන නෑ. ගොයම් ගස පේළියට වැවෙන නිසා වල්පැළ අතින් ගලවන්න පුළුවන්. ඊට පස්සෙ මම ඒ යන්ත්‍රයට පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා.

පැතුම් බණ්ඩාර උපාධිධාරියකු ලෙස විශ්වවිද්‍යාල ජීවිතයට සමුදෙන්නේ කෘෂිකර්ම ක්‍ෂේත්‍රයට නව නිපැයුමක් හඳුන්වා දුන් තරුණ නිර්මාණකරුවෙකු ලෙසය. සිව් වසරක සරසවි මතකයන් රැසක් සමඟ නිවසට පැමිණෙන පැතුම් බණ්ඩාර ඉන් අනතුරුව තීරණය කරනු ලබන්නේ ‘උපාධිය’ සහතිකයකට පමණක් සීමා නොකොට තමන් සතු දැනුම රට හමුවේ ප්‍රදානය කර සිටීමටය. ඔහුගේ ආබාධිත බව ඒ සඳහා බාධාවක් ව පැවතිය ද එම අභියෝගය ජය ගන්නා පැතුම් බණ්ඩාර තමන්ගේ අවසඟ අතපය සහිතව ‘යකඩ’ සමග ඔට්ටු වන්නේ ගත සවිබල නැතත් හිත හයිය තරුණයකු ලෙසය.

මං වැටිලා නෑ…රෝද පුටුවෙන් ජීවිතය දිනන්න පුළුවන් - පැතුම් බණ්ඩාර පවසන පැතුම් සහගත කතාව

ගෙදර ඇවිත් භෞත චිකිත්සක ප්‍රතිකාර කරන අතර මම කල්පනා කරන්න පටන්ගත්තා දැන් මම මොනවද කරන්නෙ කියලා. අපේ ගෙදර තිබුණේ කෘෂිකාර්මික පරිසරයක්. අම්ම තාත්තා රැකියාව ලෙස කරන්නෙ ගොවිතැන. මමත් මේ අනතුර සිදුවෙන්න පෙර අම්මගෙ තාත්තගෙ ගොවිතැන් කටයුතුවලට නිතර නිතර සහයෝගය දුන්න කෙනෙක්. ඒ පසුබිම තුළ ගෙදරට වෙලා රෝද පුටුවක් උඩ කල්ගත කරමින් ඉන්නකොට තමයි මට අදහසක් එන්නෙ කෘෂිකාර්මික කටයුතු පහසු කිරීම පිණිස යොදාගත හැකි නව නිපැයුම් නිර්මාණය කරන්න ඇත්නම් හොඳයි කියලා.

පැතුම් බණ්ඩාර නම් පැතුම් සහගත තරුණයා මෙතෙක් දුරක් පැමිණ ඇත්තේ එම සිතුවිල්ල ක්‍රියාත්මක කිරීම ඔස්සේය. මේ වනවිට ඔහුගේ දැනුමින් නිර්මාණය වූ නව නිපැයුම් දහයකට අධික ප්‍රමාණයක් රට හමුවේ හඳුන්වා දී තිබෙන අතර එම නව නිපැයුම් අතරින් නිපැයුම් හතරක් සඳහා ඔහු විසින් මේ වනවිට පේටන්ට් බලපත්‍ර හිමිකරගෙන ඇත. රටට පර්මාදර්ශයක් බඳුවූ පැතුම් තමන් විසින් නිපදවන ලද නව නිපැයුම් පිළිබඳ සඳහන් කර සිටින්නේ මේ අයුරින්ය.

එකක් තමයි මම කලින් සඳහන් කළ වී ඇට පේළියට දමන යන්ත්‍රය. ඊළඟට මම හැදුවා තවානක තිබෙන පැළ අතින් අල්ලන්නෙ නැතිව ක්‍ෂේත්‍රයේ රෝපණය කරන්න පුළුවන් යන්ත්‍රයක්. ඉන් අනතුරුව තවත් නව නිපැයුමක් ලෙස උදැල්ලක් අතට අරන් බිම කොටනව වෙනුවට වල් කපන යන්ත්‍රයට උදලු තලයක් සවිකරලා බිම් කොටන්න පුළුවන් යන්ත්‍රයක් හදන්න මට පුළුවන් වුණා. ඊට පස්සෙ වී ගොවිතැනේ වල් නෙළන්න පුළුවන් යන්ත්‍රයක් හැදුවා. ඔය අතරේ 2020 දී අපේ රටට කොවිඩ් වසංගතය එනවා. එතනදී මම හැදුව වහල තියෙන දොරක් අතින් අල්ලන්නෙ නැතිව කකුල භාවිත කරලා විවෘත කරන්න පුළුවන් වන ආකාරයේ නව නිපැයුමක්. දොර අඟුල පවා එහා මෙහා කරන්නෙ කකුලෙන්. ඒ නිපැයුමේ සාම්පල් හතරක් පේරාදෙණිය රෝහලට පරිත්‍යාග කළා. ඒත් එක්කම මම වගේ ආබාධිත අයගේ පහසුව පිණිස වතුර කරාමයක් පිට අල්ලෙන් විවෘත කරන්න පුළුවන් ආකාරයෙන් තවත් නිර්මාණයක් මම කරලා තිබෙනවා. ඊළඟට විනිවිද පෙනෙන මුව ආවරණයක් හැදුවා. ඒකෙ ෆිල්ටරය හර්බල්. මම දන්න විදිහට දැනට හර්බල් ෆිල්ටර් එකක් සහිත මුව ආවරණයක් හදලා නෑ. ඔය වගේ නව නිපැයුම් 10 කට අධික ප්‍රමාණයක් මම කරලා තියෙනවා. මේ මෑතක කරපු නව නිපැයුමක් ලෙස මඤ්ඤොක්කා ගහක් අතින් ඇදලා ගලවනවා වෙනුවට ඒ සඳහා පහසුකම් සපයන ලීවර් එකක් හැදුවා. මිනිස්සු තුන්දෙනකු කරන වැඩක් මේ ලීවර් එක පාවිච්චි කරලා තනි පුද්ගලයකුට කරන්න පුළුවන්. ඒක තමයි එහි තිබෙන විශේෂත්වය. ඔය වගේ නව නිපැයුම් රැසක් දැනටමත් මම කරලා තිබෙනවා. මිනිස් ශ්‍රමය අඩුවෙන් වැය කරලා වැඩි වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර තමයි ඒ අතරින් වැඩි ප්‍රමාණයක් තිබෙන්නෙ. මා විසින් රටට හඳුන්වා දුන් නව නිපැයුම් අවස්ථා කිහිපයකදී දේශීය වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්වුණා. කොරෝනා වෙලාවෙ ඊට විකල්පයක් වශයෙන් කරන ලද නව නිපැයුම් දෙක සඳහා ජාත්‍යන්තර පදක්කම් දෙකක්, ඒ වගේම ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසම සංවිධානය කරන ප්‍රදර්ශනයකදී පිට පිට වසර තුනක් රන් පදක්කම් ලබා ගන්නත් පුළුවන්කම ලැබුණා. දැන් මට අවශ්‍ය වෙලා තිබෙන්නේ මා විසින් කරන ලද නව නිපැයුම් තුළින් මෙරට කෘෂිකර්ම ක්‍ෂේත්‍රයට ප්‍රයෝජනවත් දෙයක් කරන්න. ඒ දෙය කරන්න නම් මා විසින් හඳුන්වා දුන් උපකරණ ගොවියන් අතරට ගෙනියන්න වෙනවා. එහෙම කළොත් තමයි මගේ මහන්සියේ ප්‍රතිඵලය සමාජය වෙත යවන්න පුළුවන් වෙන්නෙ.”

‘කෙනෙකුට හිතෙන්න පුළුවන් රෝද පුටුවක් උඩ ඉන්න මම කොහොමද මේ දේවල් කරන්නෙ කියලා. මම ශාරීරිකව ආබාධිතයි. නමුත් එහෙම කියලා මගේ ජීවිතය රෝද පුටුවකට සීමා වෙන්න දෙන්න බෑ. මට රැකියා අවස්ථා කීපයක් පවා ආවා. නමුත් මගේ සෞඛ්‍ය තත්ත්වය එක්ක රැකියාවක් කරන්න ගියොත් ගමනා ගමනයේ සිටම නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒ හින්ද මම තිරණයක් ගත්තා රැකියාවකට සීමා නොවී හොඳ ව්‍යවසායකයෙක් වෙන්න. එතකොට මට පුළුවන්කම ලැබෙනවා තවත් පිරිසකට රැකියා දෙන්න. මට ඒ ඉලක්කයට යන්න පුළුවන්. දැනටමත් මම ඒ පැත්තෙන් සාර්ථක ගමනක් ඇවිත් කියලා මම හිතනවා…”

පැතුම්ගේ අධිෂ්ඨානය, ඉලක්කය, සාර්ථක ව්‍යවසායකයකු ලෙස රට හමුවේ නැගී සිටීමය. ඔහු පවසා සිටින්නේ රෝද පුටුව ඊට බාධාවක් නොවන බවය. ඔහු විසින් ඒ බව මේ වනවිට ප්‍රායෝගිකව ඔප්පු කර ඇත. පැතුම් විසින් රට හමුවේ හඳුන්වා දුන් නව නිපැයුම් වලට මේ වනවිටත් පේටන්ට් බලපත්‍ර හතරක් හිමිකරගෙන ඇති අතර තවත් නව නිපැයුම් අටක් සඳහා පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම සඳහා ඔහු විසින් අයදුම් කර ඇත.

ඒ සියලු වැඩ කටයුතු අතර තවදුරටත් උසස් අධ්‍යාපනයේ නිරත වන පැතුම් මේ දිනවල ඒ සඳහා ද කාලය වෙන් කර ඇත. ඔහුගේ ඉලක්කය බවට පත්ව ඇත්තේ ඉදිරියේදී ශාස්ත්‍රපති උපාධිය සඳහා පෙනී සිටීමය. හදිසි අනතුරක් නිසා සිදුවූ ආබාධිත බව පසෙක තබමින් දිරියෙන් නැඟී සිටින පැතුම් අවසන් වශයෙන් ද සඳහන් කර සිටින්නේ තමන්ගේ එකම අරමුණ රටට බර වැඩි මිනිසෙකු නොවී සිටීම තම එකම අභිප්‍රාය බවත් එය සැබෑවක් බවට පත්වන තෙක් තමන් එම ගමනේ නිරත වන බවත්ය.

‘මා විසින් මේ වනවිට හඳුන්වා දුන් සෑම නව නිපැයුමක් ඇතුළේම මගේ ශ්‍රමය තිබෙනවා. රෝද පුටුවෙන් වැඩ මේසය ළඟට ගොස් මට පුළුවන් වැඩ ටික මා විසින් කර ගන්නවා. ඊට අමතරව ගෙදරදි මගේ මල්ලී මට ලොකු සහයෝගයක් දෙනවා. අවශ්‍ය කරන වියදම් දරන්නෙ මගේ අම්ම තාත්තා. යන්ත්‍ර සූත්‍ර නිපදවීමේදී මගේ පවුලේ උදවියගේ සහයෝගයට අමතරව පිටස්තර සේවය ලබාගන්නා අවස්ථා තිබෙනවා. ජීවිතය මෙහෙම තමයි. වැටීම් නැගිටීම් එක්ක යන ගමනක්. නමුත් මනසින් වැටෙන්නෙ නැත්නම් මට වගේම ඕනෑම කෙනකුට සාර්ථක ජීවිතයකට මුහුණ දෙන්න හැකියාව පවතිනවා…’

ඉකත් දිනක ඔහු කොළඹ ඇවිත් සිටියේ ඔහුගේ හැකියාවන් දකින හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මහතාගේ ඉල්ලීමකට අනුවය. ඒ පිළිබඳව පැතුම්ගෙන් අප කළ විමසීමකදී පිළිතුරු දුන් පැතුම් සඳහන් කර සිටියේ එය තමන්ගේ ඉදිරි ගමනට බෙහෙවින් සාර්ථක වූ ගමනක් බවට පත්වූ බවත්ය.

‘මගෙත් එක්ක විශ්වවිද්‍යාලයේ එකට ඉගෙන ගන්න මිතුරියක් හදබිම අධිකාරියේ කලාප නිලධාරිනියක් ලෙස සේවය කරනවා. එයාගෙ නම ශාලිකා ගම්ලත්. ශාලිකා තමයි හදබිම අධිකාරියේ සභාපතිතුමාට මා ගැන කියන්නෙ. එතුමගෙ මාර්ගයෙන් මට කෘෂිකර්ම ඇමැතිතුමා මුණගැසීමේ අවස්ථාව ලැබුණා. මගේ නව නිපැයුම් දැකපු ඇමැතිතුමාත් ඒ සම්බන්ධව වැඩිදුරටත් අධ්‍යයනය කරලා අවශ්‍ය ඉදිරි කටයුතු කරන්න කියලා නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඒ මැදිහත්වීම මට ලොකු ශක්තියක්…’

එලෙස පැවසූ පැතුම් තමන් පිළිබඳව වූ කතාව අප හමුවේ පවසා සිටීම නිමාකරන ලද්දේය. හදිසි අනතුරක් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වුවද පැතුම් යනු රටක් වටින තරුණයකු බව වටහා ගැනීමට ඉහත විස්තරය වුවද ප්‍රමාණවත්ය. රට ඉල්ලා සිටින්නේද කුමන දුෂ්කර තත්ත්වයක වුවද තම කාලය, ශ්‍රමය, සමාජ යහපතෙහි යොදවන පැතුම් වැනි දිරිමත් දූ පුතුන්ය.

රුවන් ජයවර්ධන
ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment