ඇළකන්දේ කුණු කන්ද

998

ඇළකන්දේ පිහිටි සුවිශේෂී කුණු කන්දක් ගැන මෙවර ‘ඉරිදා දිවයින’ පුවත්පත මගින් අනාවරණය කර තිබේ. මේ කුණු කන්ද බ්ලූමැන්ඩල් කුණු කන්ද හෝ මීතොටමුල්ල කුණු කන්ද මෙන් එළිමහනේ පිහිටි එකක් නොව අඩි සියයකට වැඩි දුරකින් හා අඩි 60 වැඩි පළලකින් ද අඩි 60 පමණ උසින් ද සමන්විත ගබඩාවක් තුළ සකස් කරන ලද්දකි. සාමාන්‍යයෙන් කසළ අනුභව කරනු නො ලැබේ. කසළවල තෝරාගත් කොටස් ඇතැම් තිරිසනුන් විසින් අනුභව කරන අතර කිසිදු තේරීමක් නැතිව ඕනෑම ජෛව කසළ ගොඩක් කන එකම සතා ඌරා ය. අවසානයේදී මේ ඌරා මරණ මිනිස්සු උගේ මස්වලින් හැම්, බේකන්, සොසේජස්, පෝකීස් වැනි ආහාර නිපදවා කෙළ පෙරාගෙන අනුභව කරති. වැඩි නම්බුවක් දීම පිණිස මේ ආහාර නම් කරන්නේ පෙර සැකසුම් කරන ලද ආහාර ලෙස ය. ඇළකන්දේ කුණු කන්ද තුළ කල් ඉකුත් වූ ටින් මාළු, කල් ඉකුත් වූ බිම්මල්, කල් ඉකුත් වූ සහල්, ගෙන්දගම් මිශ්‍ර කොත්තමල්ලි යනාදිය තිබිණ. ඊට අමතරව සුදුපාට පරිප්පුද, හමුවිය. පරිප්පු සුදුපාට වන්නේ පමණ ඉක්මවා පුස්කෑ විට ය. කිසියම් රසායනික දියරයකින් පුස් කෑ මෙම පරිප්පු සේදූ විට පුස්ටික සේදී යයි. හැබැයි, රසායනික දියරය පරිප්පුවලට උරාගනියි. ඊළඟට මේ පරිප්පු කෑමට අපට සිදුවෙයි. එකී පරිප්පු කෑමෙන් පසු අපේ බොකු බඩවැල් කුණුවීම ඇරඹේ. වසර කීපයක ඇවෑමෙන් අප, අපගේ දිවි සැරිය නිම කරන්නේ බඩවැලේ පිළිකා රෝගීන් හැටියට ය. ඊට අමතරව මුං ඇට, වියළි මිරිස්, රටඉඳි, ඔලිව් ඔයිල්, පුරාවිද්‍යාත්මක ද්‍රව්‍ය ලෙස හැඳින්විය හැකි පාන්පිටි යනාදිය ද මේ ගබඩාව තුළ පණුවන් ගසමින් තිබිණ. මේ ගබඩාව තුළ කරන ප්‍රධානම දෙය නම් කල් ඉකුත් වූ ආහාර ටින්වල ලේබල් ගලවා ඒවාට අලුත් ලේබල් අලවා වෙළෙඳපොළට නිකුත් කිරීම ය. ගුල්ලන් සහ පණුවන් ගැසූ පාන් පිටි පිරිසිදු කරන්නේ කෙසේද යන්න අපට නම් නොතේරේ. එහෙත් ඒ සඳහා ද ඔවුන් සතුව ක්‍රම තිබෙනවා විය යුතු ය. ඇළකන්ද ගබඩාවේ තිබූ කසළ ආහාරවල වටිනාකම රුපියල් බිලියන භාගයකට වැඩි ය. එනම් එම කුණුගොඩවල්වලට අලුත් ලේබල් ගසා, අලුත් කල් ඉකුත්වීමේ දින යොදා වෙළෙඳපොළට නිකුත් කළ විට ලැබෙන මිල ය. මෙයට කලින් අප දැන සිටි පරිදි කුණු කසළ ආහාර නැවත ලේබල් ගසා විකිණීමේ ඒකාධිකාරය තිබුණේ අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ රටවලට ය. දැන් එම කප් එක අපට දිනා ගැනීමට හැකිව තිබේ.

හොඳට සහ නරකට යන දෙකටම කට බලපාන අතර ඒ කට තුළින් කුසට යන ආහාර ද හොඳට සහ නරකට විශාල බලපෑමක් කරයි. නරක් වූ ආහාර අනුභව කිරීමෙන් ජීවිතය ඉතා ඉක්මනින් කෙළවර කර ගත හැකිය. ආහාරයක් නරක් වන්නේ කෙසේද? එය ක්‍රම හතරකට විග්‍රහ කරනු ලැබේ. ඉන් පළමුවන ක්‍රමය නම් ජීව විද්‍යාත්මක නරක්වීම ය. ජීව විද්‍යාත්මක නරක්වීම ලෙස හඳුන්වන්නේ ආහාර කල් ඉකුත් වූ පසු කුණු වීම ය. මෙසේ කුණුවන විට විවිධ ක්‍ෂුද්‍ර ජීවීහුද, බැක්ටීරියා කණ්ඩායම් ද, පණු සේනා ද එම ආහාර ආක්‍රමණය කරති. ජාඩිවල ද පණුවෝ සිටිති. එවිට දකුණු පළාතේ ගෘහණිය එම පණුවන් ඉවත් කර ජාඩි පිසිනු ලැබේ. පණුවන් සහිත ජාඩි කෙමිකල්වලින් තොර උසස් මට්ටමේ ජාඩි බවට පිළිගැනීමක් තිබේ. එහෙත් පණුවන් ගැසූ ටින්මාළුවලට මේ තත්ත්වය ආදේශ කිරීමට නොහැක. පණුවන් ගැසූ හතු, පණුවන් ගැසූ මුංඇට, යනාදියට ද ජාඩි න්‍යාය ඔට්ටු නැත. කොතරම් තැම්බුවත් අභාවප්‍රාප්ත නොවන ක්‍ෂුද්‍ර ජීවීහු අපේ පරිසරයේ වාසය කරති. කෑමක් අනාරක්‍ෂිත ලෙස විවෘත කර ඇති බව හෝ එම ආහාරය කල් ඉකුත් වෙමින් පවතින බව දැනගත් වහාම හෝ මේ කියන ක්‍ෂුද්‍ර ජීවීහු ඊළඟ ෆ්ලයිට් එකේ නැඟ ආහාර මතට පාත් වෙති. එතැන් සිට එම ආහාරවල භාරකාරයා සහ පළමුවන පරිභෝජකයා වන්නේ පෙර කී ක්‍ෂුද්‍රජීවී හැතිකරයයි. දෙවනුව ආහාර අපිරිසිදු දෑත්වලින් ඇල්ලීමෙන් ද නරක් වන්නට පටන් ගනී. ආහාර ස්පර්ශ කරන විට අත්වැසුම් පළඳින ලෙස නිතරම අවවාද කරනු ලැබේ. එහෙත් ලංකාව වැනි රටවල වැඩිදෙනා තුළ ඒ ගැන තැකීමක් නැත. මේ රටේ ආහාර නිපදවන ආයතන බොහොමයක කෑම අල්ලන්නේ නිකම්ම නිකම් අතිනි. සමහර විට බේකරි බාස් ලැට් එකට ගොස් මළපහ කටයුත්ත නිමා කළ සැණින් පිටි අනන්නට පටන් ගනී. කොත්තුරොටීකාරයා කොත්තුරොටි ගසන අතර නාසය ද හාරයි. මෙහිදී කොත්තු රොටී ගැන විශේෂ සඳහනක් කළ යුතුය. කිසිම ප්‍රමිතියක් නැති කසඩ ආහාරයක් වූ කොත්තු රොටීවලට කල් ඉකුත් වූ සෝස් වර්ග සහ කල් ඉකුත් වූ රසකාරක යොදනු ලැබේ. මෙහි තිබෙන කුකුල් මස් ද බොහෝ විට ඉතා පැරණි ය. සාමාන්‍යයෙන් බ්‍රොයිලර් කුකුළකුගේ ආයු කාලය දවස් 45 කි. ඉන් පසු ඌ මරනු ලැබේ. ඒ මලකඳ සමහර විට අවුරුද්දක් පමණ අධිශීතකරණයේ අඩියේ සැඟවී සිටී. ඉන් පසු එය ගොඩගෙන මුලින්ම කරන්නේ රෝස් චිකන් සෑදීම ය. මේ රෝස් චිකන් එකක් දවස් 7 ක් පමණ තබා ගත හැකිය. උදේට හෝටලයේ ෂෝකේස් එකට යන රෝස් චිකන් එක රෑට ෆ්‍රිජ් එකට යයි. පසු දින ෂෝ කේස් එකට එයි. එපමණ කලක් ගත කොට කුකුළා නොවිකිණේ නම් ඌ කැබලි කර කොටසක් චිකන් කරි ලෙසත්, තවත් කොටසක් ඩෙවල් චිකන් ලෙසත් මේසයට එවනු ලැබේ. මේවාද තවත් දවස් 7 ක් පමණ තබා ගැනීමට පුළුවන. එහෙම වෙලාත් ඒ මඟුල විකුණුනේ නැත්නම් කොත්තු රොටී වලට දමනු ලැබේ. කොත්තු රොටියට මිශ්‍ර කරන කුකුළු මස් ඩාං ඩාං ගා දෙපාරක් ගසන විට ඇතිලියකට බෝම්බයක් දැමුවාක් මෙන් කුඩු වී යයි. අපි මේ ආහාර අනුභව කොට නිරුපද්‍රිතව සිටිමු. හැබැයි මාරයා අපගේ හිතවතෙක් නම් අපට සිය පාරක් බඩ ගොස්, දෙසිය පාරක් වමනය යන අතර තවත් එක් අවස්ථාවකට ඉඩ නොතබා මාරයා ළඟට යෑමට සිදුවෙයි. සෝස් වර්ග, ටින් කෑම, ජෑම් පමණක් නොව කල් ඉකුත් වූ ආහාර විශාල ප්‍රමාණයක් සමහර විට මේ මොහොතේදී ඔබේ කුස තුළත් තිබෙන්නට පුළුවන. පිළිගත් සන්නාම යටතේ ඇති ආහාර වර්ග මිලට ගන්නැයි වෛiවරු නිතරම ජනතාවගෙන් ඉල්ලති. එහෙත් එවැනි බ්‍රෑන්ඩඩ් බඩු වැඩි මිලට ගැනීමට කෝ සල්ලි!

advertistmentadvertistment
advertistmentadvertistment