සැකකටයුතු ලෙස මියගිය තරුණයාගේ මරණය රිය අනතුරක්

110

මහියංගන බදුල්ල ප්‍රධාන මාර්ගයේ නුවර පාර හංදියට මෑතින් වූ හැවන්දාන, කිරිවැල්කැටිය මංසන්දිය ආසන්නයේ දී ඉකුත් සෙනසුරාදා (12) අලුයම් කාලයේ හිසට බරපතළ තුවාල සිදුවීමෙන් සැකකටයුතු අන්දමින් මියගොස් සිටි තරුණයාගේ මරණයට හේතුව රිය අනතුරක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

කන්දකැටිය බදුලු ඔය හැවන්දාන කිරිවැල්කැටිය පදිංචි දිසානායක මුදියන්සේලාගේ නන්දන කුමාර නැමැති අවුරුදු විසි හයක් වයසැති තරුණයකු සිද්ධියෙන් මියගොස් තිබිණි.

මරණය සිදුව ඇත්තේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනය කළ පොලිසියට එම ස්ථානයේ වූ වෙළෙඳසලක හා නිවසක සවිකර තිබූ සී සී ටී වී කැමරාවක ආධාරයෙන් මරණයට හේතුව රිය අනතුරක් බවට අනාවරණය කර ගැනීමට හැකිව ඇත.

මරණයට පත් තරුණයා පෙරේදා දින අලුයම 1.17 ට පමන සිද්ධිය වූ ස්ථානයේ මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී බදුල්ල දෙස සිට මහියංගණය දෙසට පැමිණි සුදු පැහැති කැබ් රථයක් ඔහුව යට කරගෙන පලා යන අයුරු අදාළ සීසීටීවී කැමරාවේ සටහන්ව තිබුණද එහි දර්ශන අපැහැදිලි වීම හේතුවෙන් වාහන අංකය හරි හැටි හඳුනා ගැනීමට අපහසු වී ඇති අතර එම දර්ශන ඔස්සේ මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කන්දකැටිය පොලිස් රථවාහන අංශය පවසයි.

මියගිය තරුණයාගේ මරණය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඉකුත් සෙනසුරාදා (12) පස්වරුවේ අනතුර සිදුවූ ස්ථානයේදී පැවැති අතර මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (13) දින බදුල්ල ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

කන්දකැටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. කේ. දිසානායක මහතාගේ උපදෙස් පරිදි කන්දකැටිය පොලිස් රථවාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කන්දකැටිය ජී. චතුරංග

advertistmentadvertistment
advertistmentadvertistment