දකුණු ලක දීප්තිමත් කළ දුරක් දුටු ආයෝජනය

558

පොල්පිටිය – හම්බන්තොට අධිබලැති විදුලිබල සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය

අපේ ඉංජිනේරුවන්ගේ ආලෝකවත් විස්කමක්!

දැක්ම යථාර්තයක් බවට පත් කිරීමක්

දකුණු ලක දීප්තිමත් කළ දුරක් දුටු ආයෝජනය

මෙම ව්‍යාපෘතිය “විදුලි බලයෙන් සසිරිමත් දිවියක්” මණ්ඩලයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඇත්තටම මෙය අනාගත ආයෝජනයක්. මේ තුළින් දකුණු පළාතේ විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කරනවා පමණක් නොව දකුණේ නිපදවෙන පුනර්ජනනීය බලශක්තිය රට පුරා බෙදා හැරීමට අවශ්‍ය මඟ හෙළි පෙහෙළි කෙරෙනවා.

වර්ෂ 2030 දී සියයට 70 වක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිපදවීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීමේ දී මෙවැනි ව්‍යාපෘති අතිශය වැදගත්.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති
නලින්ද සම්පත් ඉලංගකෝන්

රටටත් මණ්ඩලයටත් එකසේ වැදගත්

දකුණු ලක දීප්තිමත් කළ දුරක් දුටු ආයෝජනය

මණ්ඩලයටත් රටටත් එක සේ මෙම ව්‍යාපෘතීන් වැදගත් වෙනවා. දැන් බාධාවකින් තොරව දකුණේ ජනතාවට විදුලි අවශ්‍යතාව සපුරා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. දකුණේ නිපදවෙන පුනර්ජනනීය බලශක්තිය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට හැකියාව මෙමගින් ලැබෙනවා. එය අතිශය වැදගත් කාරණයක්. අනේකවිධ බාධක, අභියෝග මැද අතිශය වැදගත් ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කිරීම පිළිබඳ ව්‍යාපෘති කළමනාකාරිත්වය ඇතුළු සියලු දෙනාට මා ස්තුතිවන්ත වෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ
සාමාන්‍යාධිකාරී ඉංජිනේරු
රොහාන් සෙනෙවිරත්න

අපේ පද්ධතියට මෙය විශාල ශක්තියක්
ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අනුරුද්ධ තිලකරත්න

දකුණු ලක දීප්තිමත් කළ දුරක් දුටු ආයෝජනය

මේ සම්ප්‍රේෂණ මාර්ගය තුළින් පුනර්ජනනීය බලශක්තිය උදේ වරුවේ ජාතික පද්ධතියට සම්බන්ධ කරන්න හැකවීම ඉතා වැදගත්. ඒ කියන්නෙ උදේ කාලයේ දකුණට විදුලිය ගේනවට වඩා දකුණේ පුනර්ජනනීය විදුලිය ජාතික පද්ධතියට එක්කරන්න මේ සම්ප්‍රේෂණ මාර්ගය පාවිච්චි කරන්න පුළුවන්. මේ සම්ප්‍රේෂණ මාර්ගය තියෙන තවත් ලොකුම වාසියක් තමයි වික්ටෝරියා බලාගාරයෙන් නිපදවන විදුලිය වගේ තුන් ගුණයක ධාරිතාවක් මේ මාර්ගයේ යවන්න පුළුවන් වීම. තව විදිහකින් කියනව නම්, නොරොච්චෝලේ බලාගාරයේ නිපදවන ශක්තිය වගේ ධාරිතාවක් මේ මාර්ගයේ යවන්න පුළුවන්.

ඒ ධාරිතාව මෙගා වොට් 800 ක්


‘ජනනය කරන ලද විදුලිබලයේ කාර්යක්ෂමතාව සහ උපරිම භාවිතය සහතික කිරීම සඳහා සුහුරු ජාලයක් සංවර්ධනය කිරීම’ විදුලිබල අමාත්‍යාංශයේ කාර්යයන් අතර සුවිශේෂී ප්‍රමුඛතාවක් හිමි කාර්යයකි. එම කාර්යය සැබෑ ලෙස ඉටුකළ ව්‍යාපෘතියක් පසුගියදා ඉතා සාර්ථක අන්දමින් ජාතියට දායාද විය. ඒ පොල්පිටිය-හම්බන්තොට කිලෝ වොල්ට් 220 සම්ප්‍රේෂණ මාර්ගය සහ හම්බන්තොට ග්‍රීඩ් උපපොළ බලගැන්වීමත් සමගය. මේ සම්ප්‍රේෂණ මාර්ගය ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ වූයේ දකුණු පළාතේ විදුලි අවශ්‍යතාව මුළුමුනින්ම සම්පූර්ණ කරමින් මෙන්ම, දකුණේ නිපදවන පුනර්ජනනීය බලශක්තිය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමේ මාර්ගයට ඉඩහසර විවර කර දෙමින්ය.

මෙතෙක් කලක් දකුණු පළාතට විදුලිය සැපයුණේ කිලෝ වෝල්ට් 132ක ධාරිතාවකින් යුත් සම්ප්‍රේෂණ මාර්ගයකිනි. එය එම පළාතේ විදුලි අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවුණේ දිනෙන් දින එහි ඉහළ යන විදුලි ඉල්ලුම හමුවේය. මෙම තත්ත්වය දැනෙන භාෂාවකින් කියන්නේ නම් බොහෝ තැන් හී සිය නිවසට ලැබෙන විදුලිය වතුර මෝටරය ක්‍රියාත්මක කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය. පරිභෝජනය උච්ච අවස්ථාවල විදුලි බුබුලුවල දීප්තිය අඩුය. කතරගම පෙරහැර සමයේ ඇති අධි විදුලි ඉල්ලුම මේ තත්ත්වය තීව්‍ර කළේය.

මෙලෙස දකුණේ වර්ධනය වෙමින් ඇති විදුලි ඉල්ලුම කල් තියා හඳුනාගත් ලංකා විදුලිබල මණ්ඩලය ඊට විසඳුමක් ලෙස, මීට වසර පහකට පෙරාතුව (2018) ඉහත පොල්පිටිය-හම්බන්තොට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේය. එහි බරපැන වූ ඇමරිකානු ඩොලර් මිලියන 55ක මුදල ණය ආධාරයක් ලෙසින් ලබා දෙන්නේ ආසියනු සංවර්ධන බැංකුවයි. ලංවීම ඉංජිනේරුවන්ගේ ඉංජිනේරු දැනුම සහ නිපුණතාව මත ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු චීන සමාගමකි.

“මේ සම්ප්‍රේෂණ මාර්ගය පටන් ගන්න තැන පොල්පිටිය. පොල්පිටිය කියන්නෙ ලක්ෂපානෙ පහළ තියෙන ස්ථානය. එතන දැනට ග්‍රීඩ් උපපොළක් තියෙනව. එතන ඉඳල කිලෝ මීටර් 150ක් දුරින් හම්බන්තොට තියන්නෙ. මේ සම්ප්‍රේෂණ මාර්ග සම්බන්ධ වුණාම දකුණේ විදුලි අවශ්‍යතාව සපුරගන්න පුළුවන්. අපි මේ යෝජනාව ආසියානු සංවර්ධන බැංකුවට ඉදිරිපත් කළා. ඔවුන් මූලික ශක්‍යතා අධ්‍යයනයකින් පස්සෙ අපේ යෝජනාවට කැමැත්ත ලබා දුන්නා” යැයි මෙම ව්‍යාපෘතිය පිළිබඳ ව්‍යාපෘති අධ්‍යක්ෂ, ඉංජිනේරු අනුරුද්ධ තිලකරත්න හඬ අවධි කළේ එලෙසිනි.

මෙරට කිලෝවොල්ට් 132ක රැහැන්වලින් යුත් සම්ප්‍රේෂණ ජාලයේ සමස්ත දුර දිග කිලෝ මීටර් 2361 ක් වන අතර කිලෝවොල්ට් 220 රැහැන් සහිත සම්ප්‍රේෂණ ජාලයේ දිග කිලෝ මීටර් 799කි. 2025 වර්ෂය වනවිට කිලෝ වොට් 220 සම්ප්‍රේෂණ ජාලය කිලෝමීටර් 1300 දක්වා දීර්ඝ කිරීම විදුලිබල අමාත්‍යාංශයේ ඉලක්කය යි. කිලෝ මීටර් 150ක් දිග මෙම සම්ප්‍රේෂණ මාර්ගය හේතුවෙන් එම ඉලක්කයට තවත් කිලෝ මීටර් 150කින් ළංවී තිබේ. එය මෙරට ඉදිවූ දීර්ඝතම අතරමැදි සම්බන්ධතා නොමැති සම්ප්‍රේෂණ මාර්ගයයි. මෙතෙක් අතර මැදි සම්බන්ධතා නොමැති දිගින් වැඩිම සම්ප්‍රේෂණ මාර්ග ලෙස පැවැති කොත්මලේ – අනුරධපුර (මෙය දිගින් වැඩිම සම්ප්‍රේෂණ මාර්ගය වී තිබුණද හබරණ උප ග්‍රීඩ් පොළ මෑතකදී එක්විය) කොත්මලේ-බියගම, පොල්පිටිය-පාදුක්ක, අනුරාධපුර-මන්නාරම වැනි දීර්ඝ සම්ප්‍රේෂණ මාර්ග අභිබවා යෑමකි.

“මේ සම්ප්‍රේෂණ මාර්ගය පුනර්ජනනීය බලශක්තිය උදේ වරුවේ ජාතික පද්ධතියට සම්බන්ධ කරන්න ඉතා වැදගත්. ඒ කියන්නෙ උදේ කාලයේ දකුණට විදුලිය ගේනවට වඩා දකුණේ පුනර්ජනනීය විදුලිය ජාතික පද්ධතියට එක්කරන්න මේ සම්ප්‍රේෂණ මාර්ගය පාවිච්චි කරන්න පුළුවන්. මේ සම්ප්‍රේෂණ මාර්ගය තියෙන තවත් ලොකුම වාසියක් තමයි වික්ටෝරියා බලාගාරයෙන් නිපදවන විදුලිය වගේ තුන් ගුණයක ධාරිතාවක් මේ මාර්ගයේ යවන්න පුළුවන් වීම. තව විදිහකින් කියනව නම්, නොරොච්චෝලේ බලාගාරයේ නිපදවන ශක්තිය වගේ ධාරිතාවක් මේ මාර්ගයේ යවන්න පුළුවන්. ඒ ධාරිතාව මෙගා වොට් 800 ක් ” පොල්පිටිය-හම්බන්තොට කිලෝ වෝල්ට් 220 සම්ප්‍රේෂණ මාර්ගයේ ශක්තිය පිළිබද පැහැදිලි කරමින් ඉංජිනේරු අනුරුද්ධ තිලකරත්න මහතා සඳහන් කරයි.

පොල්පිටිය-හම්බන්තොට කිලෝ වෝල්ට් 220 සම්ප්‍රේෂණ මාර්ගය මෙන්ම හම්බන්තොට නව ග්‍රීඩ් උපපොළක් ඒ අනුව දැන් බලගන්වා ජාතික විදුලි පද්ධතියට එක්කොට ඇත. එම ග්‍රීඩ් උපපොළ ට්‍රාන්ස්ෆෝමර් දෙකකින් යුක්ත වන අතර එහි සමස්ත ධාරිතාව මෙගා වොට් 500කි. මෙම විදුලි සම්ප්‍රේෂණ මාර්ගය සඳහා විදුලි රැහැන් දොළහක් යොදා ගෙන තිබේ. මෙරට විදුලි ඉතිහාසයට නව පිටුවක් පෙරලූ මෙම සම්ප්‍රේෂණ මාර්ග දැන් දකුණු පළාතේ විදුලි අර්බුදයට ස්ථිර විසඳුමක් ලබා දී ඇත. අඩ අඳුර නොව පිරිපුන් විදුලි එළියේ පහස දකුණට ලැබී ඇත. ඒ පිළිබඳ දකුණු පළාතේ විදුලි පාරිභෝගිකයෝ විදුලිබල මණ්ඩලයට ප්‍රශංසා කරති. නිසි කළමනාකරණයකින් යුතුව කටයුතු කළොත් ඉදිරි නියං කාලවලදී සමනල වැවේ ජලය වෙනුවෙන් වාරි මාර්ගයටත්, විදුලිබල මණ්ඩලයටත් වාද විවාද කරන්නට සිදුවන්නේ නැත.

2030 දී 70%ක් පුනර්ජනනීය බල ශක්තියෙන් විදුලිය නිපදවීමේ රජයේ නව විදුලිබල ප්‍රතිපත්තියයි. ඊට අනුබල දෙන හම්බන්තොට ප්‍රදේශයේ සංවර්ධනය කරන මෙගාවොට් 150ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතිය එහිදී විශේෂය.

එමගින් මෙගාවොට් 150ක ප්‍රමාණය 2024 වර්ෂයේදී ජාතික පද්ධතියට එකතු වීමට නියමිතය. අනුරුද්ධ තිලකරත්න මහතා ඉහත පැවැසුවා සේ මේ සම්ප්‍රේෂණ මාර්ගය මගින් එම ධාරිතාව ඉතා පහසුවෙන් ජාතික පද්ධතියට එකතු කළ හැක. එලෙස බලද්දි මෙය අනාගත ආයෝජනයකි.

අඹගමුවේ සිට හම්බන්තොට දක්වා දිවෙන මේ සම්ප්‍රේෂණ මාර්ගය පසුකරන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව එකොළහකි. එකී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විවිධ දේශගුණික කලාපය, එකිනෙකට වෙනස් පරිසර පද්ධතීන්ය. එකිනෙකට වෙනස් සිතුම් පැතුම් ඇති ජනයාය. මෙකී කිසිදු පාර්ශ්වයකට අගතියක් නොවන අයුරින් සියල්ලන් සමග වූ සුහද ගනුදෙනු මෙන්ම නොයෙක් ප්‍රශ්න මධ්‍යයේ හම්බන්තොට දක්වා පැමිණි මේ සම්ප්‍රේෂණ මග පිළිබඳ තවදුරටත් සිය අදහස් දැක්වූ තිලකරත්න මහතා..

“තෙත් කලාපයේ සිට වියළි කලාපයටත්, ඉන් ශුෂ්ක කලාපයට පැමිණී මේ මාර්ගයේදී අපිට නොයෙක් ආකාරයේ මිනිස්සු හමුවුණා. ඒ වගේම ලොකු, පොඩි ඉඩම්, තේ වතු, කෙසෙල් වතු ඇළ දොළ ගංගා, අධිවේගී මාර්ගය සහ නොයෙක් දේපළ මැදින් මේ ව්‍යාපෘතියේ ගමන් මාර්ගය සැකසුණේ. ඒ නිසා අපි පළමුව ශක්‍යතා වාර්තාව සකස් කළා. එයට පරිසර අනුමැතියක් ලබාගත්තා. ඉඩම් සහ වගාවන් අහිමිවූවන්ට වන්දි ලබාදුන්නා. ”

මෙම ව්‍යාපෘතිය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට පෙරාතුව රට්ටු දැන ගත්තේ රත්නපුර ප්‍රභූ පවුලකට අයත් සිරිපාගම තේ වත්තක් මැදින් දිවෙන කොටස සඳහා පැවැති ආරවුල මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමගය. අවසානයේ සියල්ල සතුටුදායක ලෙසින් අවසන් වූ එම සිදුවීම පිළිබඳ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවැසුවේ මෙවැන්නකි.

“මේ සිදුවීමට මැදිහත්වුණු ඒ ඉඩම හිමිකරුවන් එක්ක අපි 2018 ඉඳලම සාකච්ඡා කළා. ඒත් ඒ සාකච්ඡා සාර්ථක වුණේ නෑ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් ඇයි එතැන මගහැරල ව්‍යාපෘතිය ඉදිරියට ගෙනගියේ නැත්තෙ කියල. ඒකට හේතුවක් තියෙනවා. ඒ ඉඩම අක්කර 200ක ඉඩමක්. මුලින් තිබූ සැලසුම් වෙනස් කරමින් එවැනි විශාල වපසරියක් මගහරිමින් සම්ප්‍රේෂණ මාර්ගයක් වෙනස් කරනවා කියන්නෙ අතිශය දුෂ්කර වැඩක්. අනෙක් කාරණය එම ඉඩමෙන් වම්පැත්තෙ තිබුණෙ අතිශය සංවේදී පරිසර පද්ධතියක් විදිහට සැලකෙන ශ්‍රීපාද වන අඩවිය. දකුණු පස සිරිපාගම ජනයා පදිංචි නිවාස. ඒ නිසා මෙම ඉඩම ඉහළින් සම්ප්‍රේෂණ මාර්ගය අදිනවා හැර විකල්පයක් තිබුණෙ නෑ. ඒ නිසා මාස පහක් පමණ ව්‍යාපෘතිය පමා වුණා. සතුටුදායක අවසානයක් වෙනකන් බලා ඉන්න අපට සිදු වුණා”

රැහැන් දිගේ නිවසට එන විදුලියෙන් ස්විචයක් ඔන් කළ සැණින් විදුලි බුබුලක් ආලෝකවත් වනවා තරම් තරම් විදුලිය නිපදවීමේ සහ සම්ප්‍රේෂණය කිරීමේ කාර්යය පහසු නැත. ඒ හා මුසුවුණු වෙහෙසකර කායික ශ්‍රමයක් මෙන්ම මොළය වෙහෙසවන බුද්ධිමය ශ්‍රමයක් ඇත. මේ ව්‍යාපෘතියට කායික මෙන්ම බුද්ධිමය ශ්‍රමය දියකළ තම කණ්ඩායම පිළිබඳ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාට ඇත්තේ තෘප්තිකර හැඟීමකි. ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අනුරුද්ධ තිලකරත්න මහතාගේ මේ වදන් ඒ බව මොනවට පැහැදිලි කළේය.

“මේ වැඩේ කරන්න ඕන කාර්ය මණ්ඩලයක් තෝරගත්ත. එතනදි විදුලි ඉංජිනේරුවන් තුන්දෙනෙක්, සිවිල් ඉංජිනේරුවෙක් ප්‍රධාන වශයෙන් සම්බන්ධ වුණා. විදුලි සහ සිවිල් අධිකාරිවරු 11 දෙනෙක් මේ ව්‍යාපෘතියට යොදාගත්ත. ඊට පස්සෙ ඔවුන් යටතේ පහළ මට්ටමේ සේවකයන්ට විශේෂ පුහුණුවක් ලබාදුන්නා. ඒ සේවක ප්‍රමාණය 25ක් 30ක් පමණ වුණා.

විදුලි ඉංජිනේරු රඛිත කොඩිකාර, විදුලි ඉංජිනේරු සංජීව කාරියවසම්, විදුලි ඉංජිනේරු චමිල් එදිරිමුනි වගේම අවසාන කාලයේ උසස් වීමක් ලැබීම නිසා ව්‍යාපෘතියෙන් ඉවත් වුණු චමිල් එදිරිමුණි වෙනුවට ආපු විදුලි ඉංජිනේරු ප්‍රභාත් වරකාඋල්ල මේ කාර්යයට දිවා රෑ දෙකේ වෙහෙස වී කටයුතු කළා. ඔවුන් ඔවුන්ගෙ රාජකාරියට එහා ගිය වැඩ කොටසක් ඉටු කළා. එතනදි විශේෂයෙන් මතක් කරන්න ඕන චරිතයක් ඉන්නවා. ඒ තමයි සිවිල් ඉංජිනේරු චන්දන කුමාර මහතා. ඔහු මේ ව්‍යාපෘතිය පුරාම අතිශය ක්‍රියාකාරී චරිතයක්. සිවිල් ඉංජිනේරු විද්‍යාව විතරක් නෙමෙයි, මේ මුළු සම්ප්‍රේෂණ මාර්ගය ගැනම ඔහු හොයා බැලුව. ඒ විතරක් නෙමෙයි ඔහුට තිබුණු මහා දැනුම, අත්දැකීම් අනෙක් විදුලි ඉංජිනේරුවන් එක්ක බෙදාගත්ත. ඒ වගේම ඔහුට අනෙක් විදුලි ඉංජිනේරුවෝ අනුගත වුණා. විදුලි අධිකාරී මහත්වරු වගේම පහළ සේවකයනුත් මේ කාර්යය වෙනුවෙන් තමන්ගෙ උපරිමය ලබාදුන්න. ඒ නිසා තමයි මේ කාර්යය සාර්ථක කරගන්න ලැබුණේ. ඒ වගේම මෙහිදී විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර මහතාත්, රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතාත්, අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් අප මණ්ඩලයේ සභාපති නලින්ද සම්පත් ඉලංගකෝන් මහතාත්, සාමාන්‍යාධිකාරි ඉංජිනේරු රොහාන් සෙනවිරත්න මහතාත් සිහිපත් කරන්න ඕනෑ. තවද මේ සඳහා උපරිම දායකත්වය ලබාදුන් අතිරේක සාමාන්‍යාධිකාරි (ව්‍යාපෘති) චම්පා සතරසිංහ මහත්මියත් ළඟදී විශ්‍රාම ගිය ඉංජිනේරු කමල් ඉලේපෙරුම මහතාත් ඉංජිනේරු ඉෂානි රාජපක්‍ෂ මහත්මිියත් කෘතිවේදීව සිහිපත් කරන්න ඕනෑ. ”

කිලෝ මීටර් 150 ක දුරක්, ඒ මගෙහි වූ බාධක අභියෝග රැසක් ජයගත් ඒ මෙහෙයුමේ ඉංජිනේරුමය දැනුම අපගේය. ඒ මෙහෙයුමට දායකත්වය දුන් සියල්ලෝ ම රටට ණය නැත. මෙරට බුද්ධි ගලනයක් වෙමින් ඇති මොහොතක තම රට වෙනුවෙන් කැපවීමෙන් වැඩකරන මෙවැනි ඉංජිනේරුවන් මෙරට රඳවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වනුයේ වෘත්තීය නිපුණයන් රට හැරගියහොත් ඇතිවන හිඩැස මුදලින් දැරිය නොහැකි පාඩුවක් වන නිසාය. රට ගැන හැඟීමෙන් වැඩ කළ කණ්ඩායමක් නිසා අපට දැන් ජාතික සම්පතක් හිමිව ඇත. ඉදින් එය රැක ගැනීමේදී පුරවැසියන් වෙත පැවරෙන වගකීමක් ද වේ. ඒ වගකීම පැවරෙන්නේ විශේෂයෙන් ම මෙහි ප්‍රතිලාභී ජනතාවටය.

“මේ සම්ප්‍රේෂණ මාර්ගය අවට අපි සරුංගල් යවන්න එපා කියල පසුගිය දවස්වල ජනතාවගෙන් ඉල්ලීමක් කළා. සරුංගල් යැවීමේ ගැටලුට අපි වඩාත් මුහුණ දෙන්නේ හම්බන්තොට, උඩවලව වැනි ප්‍රදේශවලදී. සම්ප්‍රේෂණ මාර්ගය අවට පිරිසුදුයි. ගස්කොළන් නෑ. ඒ නිසා ඒ වගේ තැන්වලට සරුංගල් යවන්න එන පිරිස වැඩියි. පාසල් නිවාඩු කාලයට මේක තවත් වැඩියි. අද සරුංගලයක් අඩි 50ක් විතර දිගයි. ඉතින් ඒ සරුංගලයක උඩ යවන්න පාවිච්චි කරන නූල් ඉතා ඝනකම තංගුස් නූල්. ඒ නූල් මේ සම්ප්‍රේෂණ මාර්ගයේ පැටලෙනව. එහෙම වුණ ගමන් සරුංගලේ අතහැරල යනව. ප්‍රශ්නය ඇතිවෙන්නෙ ඊට පස්සෙ. රාත්‍රි කාලයට පරිසරයේ ඇති ජල බිංදු සරුංගල් නූලට උරා ගන්නව. ඉන් පසුව නූලේ ජලවාෂ්ප රැහැන්වල ගැටෙන කොට කම්බියෙන් කම්බිය ෂෝට් වෙනවා. ඒක ඉතාම නරක තත්ත්වයක්. ඒ නිසා කරුණාවෙන් ඉල්ලන්නෙ මේ ප්‍රදේශවල සරුංගල් යවන්න එපා කියල.”

ඒ මෙම දැවැන්ත ව්‍යෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු අනුරුද්ධ තිලකරත්න ජනතාවගෙන් කරන ඉල්ලීමයි.

සිරිමන්ත රත්නසේකර
අඹගමුවේ සිට කඳුහෙල්, තේ වතු, කෙසෙල් වතු, කුඹුරු
උඩින් සම්ප්‍රේෂණ මාර්ගය හම්බන්තොට ආ දුෂ්කර ත්‍රාසජනක
ගමන ගැන කතාව ලබන සතියේ….

advertistmentadvertistment
advertistmentadvertistment