පාපන්දු නිදහසට බාල්දි පෙරළන කුමන්ත්‍රණයක්

117

මාස හතක් සහ දින හතක් පුරා ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව වෙලාගෙන තිබූ ඝන අන්ධකාරය දුරලමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාව ඉන් නිදහස් කරන ලදී. ඒ නිදහස යනු ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර තහනම ඉවත් කිරීමයි. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ලේකම් ෆැට්මා සමුරා පසුගිය 28 වැනිදා එම සුබ පණිවිඩය ශ්‍රී ලංකාවට ලිඛිතව දැනුම් දුන්නාය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය හෙවත් ෆිෆාට අවනත නොවී ගමන් කළ ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනයට ඔවුන් තහනමක් පනවා තරවටු කළේ පසුගිය ජනවාරි 21 වැනිදාය. එදා ෆිෆාට අපව එපා වුණ බව ලිඛිතව කීවේය. එය හරියට අපේ පාපන්දුවේ හුළං බැස්සුවා වැනිය. නැතිනම් අත් පා ගැට ගසා බිත්තියට හේත්තු කළේය.

ජාත්‍යන්තර සම්මේලනත් එක්ක දිගින් දිගටම ඔට්ටු වීම හෝ ඔවුන්ට එරෙහිව යෑමේ පලවිපාකයේ දිග මහත අපි ඒ මාස හතක කාලය තුළ හොඳින් අත් වින්දෙමු. ඒ නිසා නැවතත් එවැනි තහනමක් පාපන්දුවට හිතැති කිසිවෙක් නොපතති. එහෙත් තව සති හතරකින් පමණ පැමිණෙන පාපන්දු නිලවරණය ඉලක්ක කර ප්‍රතිවාදීන්ට කුමන්ත්‍රණ එල්ල කිරීමේ අරමුණෙන් යමෙක් තවදුරටත් බාල්දි පෙරළන්නේ නම් ඔවුන් සිදු කරන්නේ පාපන්දුවට ද්‍රෝහී කමක් නොවේද? පාපන්දුවේ සුබසිද්ධිය පසෙකලා තම සුඛවිහරණය පිණිස මේ අවස්ථාවේදී ඇතැමෙක් හැසිරෙන්නේ නම් ඔවුන් හඳුන්වන වෙනත් නමක් තිබෙන්නට නොහැක. ශ්‍රී ලංකා පාපන්දු තහනම අවසන් බවට ෆිෆා විසින් දැනුම් දුන්නද ඉදිරි නිලවරණය පිළිබඳ ඔවුහු මහත් විමසිල්ලෙන් පසු වෙති. එම නිලවරණය ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මාර්ගෝපදේශ අනුව පැවැත්වෙන්නේ දැයි සහ නිලවරණ කමිටුව ස්වාධීනව සහ අපක්ෂපාතීව එය මෙහෙයවන අයුරු ද ෆිෆා විමසුම් ඇසින් යුතුව සිටී. ඒ බව ඔවුන් පාපන්දු තහනම ඉවත් කළ ලිපියේ ද දක්වා තිබුණි. එමෙන්ම ඊට පූර්ව කටයුතු ද සිදු වන අයුරු ෆිෆා විසින් අධීක්ෂණය කරනු ලබයි. කොටින්ම අප මේ ගෙවමින් සිටින්නේ “පරිවාස” කාලයකට සමාන අවධියකි.

ඒ නිසා මේ අවස්ථාව දෙකට බෙදී ගහ මරා ගැනීමට සුදුසු අවස්ථාවක් නොවේ. දෙපාර්ශ්වයක් තරගයට පැමිණියද එය ප්‍රජාතන්ත්‍රවාදී නිලවරණයක් නොවේ නම් හෝ අපේ රටේ යළි කුළල් කා ගන්නවා පෙනේ නම් ෆිෆා දුන් තීරණය යළි ආපස්සට හරවන්න බැරි නැත. එසේ වුවහොත් යළි නිදහස් නිදහස් වීම මෙතරම් පහසු යැයි නොසිතනු.

ෆිෆා විසින් ශ්‍රී ලංකාවට පනවන ලද තහනම ඉවත් කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඔවුන්ගේ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව කටයුතු කිරීමට එකඟ වීමයි. එමෙන්ම ශ්‍රී ලංකා පාපන්දුවේ අභිවෘද්ධිය පිණිස ඒකාබද්ධ සන්ධානයක් ගොඩ නැගෙන අයුරුද ෆිෆා බලධාරීන්ගේ අවධානයට පාත්‍ර විය. එනම් පාපන්දු ලීග 67 න් 58 කට ආසන්න ප්‍රමාණයක් එක මේසයකට පැමිණීම ෆිෆාට අපේ එකමුතුකම පෙන්නූ කැඩපතක් වූයේය. ඔවුන් විසින් තහනම ඉවත් කරන කරන ලද ලිපියේ ඒ පිළිබඳව මෙසේ දක්වා තිබිණි.

“මීට අමතරව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිරීක්ෂණය කළේ 2023 අගෝස්තු 14 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු ලීග නියෝජිතයන් තුනෙන් දෙකක බහුතරයකගේ ඉල්ලීම මත සුවිශේෂී මහා සභා රැස්වීමක් පැවැතවූ බවයි”

එම එකතුවේ වටිනාකම ෆිෆා විසින් දැක තිබුණේ එසේය. එහෙත් පෙරේදා කොළඹ නිපොන් හෝටලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපති ධුර අපේක්ෂක ජස්වර් උමාර් මහතා පවසා සිටියේ කුමක්ද?

“සුළු පිරිසක් පාපන්දු ක්‍රීඩාව යළි වලපල්ලට යැවීමේ කුමන්ත්‍රණයක නිරත වෙලා තිබෙනවා. ඔවුන්ගේ වුවමනාව යළි තහනමක් පනවා ගැනීමයි. අපේ රටේ නැවත කුලල් කා ගන්නවා කියන එක ලෝකයට පෙන්නන්න ඔවුන් උත්සාහ කරනවා. 10 දෙනෙක්ගේ කල්ලියක් මේ පිටුපස ඉන්නවා. ඒ වගේම පසුගිය පසුගියදා අරගල භූමියේ සිටි ප්‍රධානියෙක් මගෙන් කප්පම් ඉල්ලනවා. ජන්දය දිනවල දෙන්න ලක්ෂ 30 ක බජට් එකක් දුන්නා. මම ඒවා ප්‍රතික්ෂේප කළා. මේවා ජාත්‍යන්තරයට ආරංචි වෙන්න හොඳ දේවල් නොවෙයි.”

ජස්වර් උමාර් තමාගේ උප සභාපති ධුර අපේක්ෂක දොස්තර මනිල් ප්‍රනාන්දු ද සිය වම්පසින් තබාගෙන එසේ කීය. මේ රට එතරම් පහත් තැනකට වැටීම පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෝ ඕනෑ තරම් වෙති. මේ මොහොතේ අවැසි වන්නේ ලද නිදහස පාලමක් කරගෙන යළි පාපන්දු සම්මේලනය පිහිටුවා ක්‍රීඩාව නගා සිටුවීමය. ඒ මිස කුළල් කෑමේ පළමුවැනියා තෝරා ඔහුටද, වැඩිම කප්පම දෙන පුද්ගලයා තෝරා ඔහුටද පදක්කම් ලබා දීම නොවේ. මාස හතක් ෆිෆා විසින් තහනම් වී තිබුණ ද ඊටත් මාස කීපයකට පෙර පටන්ම අපේ රටේ පාපන්දු ක්‍රීඩාව අකර්මණ්‍ය වී තිබුණි. ක්‍රීඩකයෝ සී සී කඩ ගියහ. දැන් උදා වී ඇත්තේ ඒ සියල්ල යළි එකතු කිරීම බව සියලු දෙනාගේ මොළයට වැටහිය යුතුය.

කුෂාන්

advertistmentadvertistment
advertistmentadvertistment