ගම්පොළ ඒටීඑම් යන්ත්‍රය කොල්ල කෑ හයේ කල්ලිය අල්ලයි

461

ගම්පොළ නගරයේ පෞද්ගලික බැංකුවකට කඩා වැදී රුපියල් හැත්තෑහය ලක්‍ෂයක් තැන්පත් කර තිබු ඒටීඑම් යන්ත්‍රය කොල්ලකා ගෙන පලාගිය හයදෙනකුගෙන් සමන්විත සන්නද්ධ කොල්ල කණ්ඩායම ගම්පොළ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය මගින් ඊයේ (14 දා) අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ලකන ලද මුදල්වලින් විසිලක්‍ෂයක් ද එම මුදල් වැය කර මිලදී ගත් මෝටර් රථයක් ඇතුළු තවත් වටිනා භාණ්ඩ රැසක් ද සැකකරුවන් සමඟ පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම කොල්ලය සිදුව ඇත්තේ ජනවාරි 25 වැනිදාය.

කොල්ලකන ලද ඒටීඑම් යන්ත්‍රය ගම්පොළ කැලෑබද ප්‍රදේශයක හෙළකට විසිකර තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, කොල්ල කල්ලිය සතුව තිබී ස්වයංක්‍රීය පිස්තෝලයක් ද සොයාගෙන තිබේ. එම පිස්තෝලය ඉකුත් අරගල දිනයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයකුගේ නිවස ගිනි ගන්නා අවස්ථාවේදී කොල්ලකන ලද මන්ත්‍රීවරයාට අයත් එකක් බවට හෙළි වී ඇත.

අත්අඩංගුවට ගත් කොල්ලකරුවන් හයදෙනාම මුස්ලිම් ජාතිකයෝ වන අතර ගම්පොළ හා ඒ අවට පදිංචිකරුවෝ වෙති. කොල්ලකෑමෙන් පසු සන්නද්ධ කණ්ඩායම පුත්තලම ප්‍රදේශයට පලාගොස් සැඟව සිට ඇති අතර ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ එහිදී ය.

කොල්ල කණ්ඩායම තවත් බැංකු කොල්ලයකට ඇතුළු කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ බවට විමර්ශනවලින් හෙළි වී ඇත. කොල්කරුවන් හයදෙනා රඳවා තබා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකෙරේ.

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ගම්පොළ කොට්ඨාශ අපරාධ මෙහෙයුම් ඒකකය මෙහි පරීක්‍ෂණ පවත්වයි.

හේමන්ත රන්දුනු

advertistmentadvertistment
advertistmentadvertistment