සීනි බදු වංචාවට,රිදී සම්මාන!

1339

මෙරට ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශවල සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා සියලු පහසුකම්වලින් සමන්විත වෛද්‍ය නිල නිවාස දහසක් (1000) සෑදීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කොරියානු ආණ්ඩුවෙන් මුදල් ඉල්ලූ බවට එම අමාත්‍යාංශය නිවේදනය කළේය. ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති වීම නිසා අතිශය ගැටලුකාරී තත්ත්වයක් උදාවී ඇත. රඹුක්වැල්ල අමාත්‍යවරයා කළ මෙම ඉල්ලීම අවධාරණය ආණ්ඩුවට තම මූලික වගකීම් අමතක වී ඇති බවයි. නිල නිවාස දහසක අවශ්‍යතාවය හදිසියේ ඇතිවූ තත්ත්වයක් විය නොහැක. මෙම නිල නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට විදේශ ප්‍රතිපාදන ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලජ්ජා විය යුතුය. සියලුම දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් ‘සම්මාදම්’ වී බංකොළොත් කළ රටේ සෑම ඇමැතිවරයකුම ‘සාර්ථකවම’ ඉටු කරන්නේ ජාත්‍යන්තරයෙන් භාණ්ඩ, සේවා සහ ණය ඉල්ලීම පමණි. ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියෝන් ලී මහත්මියගෙන් කළ ඉල්ලීම නැවත නැවතත් අවධාරණය කළේ සමස්ත ආණ්ඩු ක්‍රියාවලියම විදේශ ආධාර මත රැඳී ඇති බවයි. තම වගකීම් ඉටු කිරීමට විදේශ ආධාර සහ ණය මෙයාකාරයෙන් ඉල්ලන රටක් (ආණ්ඩුවක්) තවත් තිබිය හැකිද? නොඉල්ලන දෙයක් නැත. වෛද්‍ය නිල නිවාස දහසක ව්‍යාපෘතියට දකුණු කොරියානු මූල්‍යාධාර ලැබුණහොත් අනෙකුත් අමාත්‍යාංශයවලට අයත් නිල නිවාස නඩත්තු කිරීමේ සහ නව නිවාස සෑදීමේ ව්‍යාපෘති පෝලිමක් ඇතිවෙන බවට සැකයක් නැත. මුදල් අමාත්‍යාංශය මෑතකදී රිදී සම්මානයෙන් පිදීම පිළිබඳව විමසා බැලිය යුත්තේ ශ්‍රී ලංකාව කිසිවක් කර කියාගැනීමට නොහැකි තත්ත්වයකට පත් වී ඇති බවද සිහියේ තබා ගෙනය.

පාර්ලිමේන්තුවේ ජුලි 18 දින පැවති උත්සවයකදී 2019 සහ 2020 වසරවලදී ඉහළ කාර්ය සාධන මට්ටමක් ළඟා කරගත් රාජ්‍ය ආයතන 65 කට රන් සහ රිදී සම්මාන පිරිනැමිණි. ඒ උත්සවය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා සහ මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාගේ සහභාගිත්වයෙන් සිදුවිය. ජයග්‍රාහකයන් තෝරා ගැනීම රජයේ ගිණුම් කාරක සභාව විසින් කර තිබිණි. එම සභාවේ සභාපති ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයාය ගේ (ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය ශ්‍රීලනිප) නායකත්වය යටතේ එම සභාව ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්විය.

විධායක බලතලවලට අමතරව ජනාධිපතිවරයා අමාත්‍ය ධුර හතරක් දරන අතර මුදල් අමාත්‍යාංශය ද එම ගොන්නට අයත් වේ. ගෞරවයට පාත්‍රවූ රාජ්‍ය ආයතන අතර එකම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයයි. බහුතර සම්මාන ප්‍රමාණය පළාත් සභා වලට හිමිවී තිබිණි.

අදාළ වසර දෙකටම මුදල් අමාත්‍යාංශයට රිදී සම්මානය පිරිනැමීම මෙම ලියුම්කරුගේ අවධානයට යොමුවූයේ රජයට බදු අහිමි කිරීමේ ප්‍රධාන සිද්ධීන් දෙකක් එම කාලය තුළ සිදුවී තිබීම නිසාය. එම සිද්ධීන් දෙකටම මුදල් අමාත්‍යාංශය මූලික වශයෙන් වගකිව යුතුය. එම සිද්ධීන් දෙකටම ජනාධිපතිවරයා නායකත්වය දෙන කැබිනට් මණ්ඩලයේ වගකීම සහ වගවීම ද අමුතුවෙන් කිව යුතු නැත. රාජ්‍ය සම්මාන හිතුමතයට පිරිනැමිය නොහැක. බංකොළොත් රටේ පාර්ලිමේන්තුව එම තත්ත්වය තේරුම්ගත යුතුය. විශේෂයෙන්ම රජයේ ගිණුම් කාරක සභාවේ මූලිකත්වයෙන් සිදුකරන වැඩපිළිවෙළක් වගකීමෙන් ක්‍රියාත්මක කළ යුතුය.

ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළ 2019 නොවැම්බර් පැවති ජනාධිපතිවරණයෙන් පසුව කැබිනට් මණ්ඩලය රැස්වූ පළමුවන අවස්ථාවේ එවකට රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීමට හේතුවී තිබූ බදු රාශියක් කපා හැර දැමීමට තීරණය කළේය. එම ඉතාමත් අනුවණ තීරණය ගැනීමට කවුරු මූලික වුවත් මුදල් අමාත්‍යාංශය වගකීම භාර ගත යුතුය. රාජ්‍ය අදායමට අහිමි වූ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 600 පමණ බව ඇස්තමේන්තු කර ඇත. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය ධුරය දැරූ අතර එස්. ආර්. ආටිගල මුදල් අමාත්‍යාංශයේ ලේකම් විය.

කිසිදු වග විභාගයකින් තොරව ක්‍රියාත්මක කළ මෙම බදු සංශෝධනය කොවිඩ් වසංගතය පුපුරා යෑමට පෙර ගෝඨාභය රාජපක්ෂ රජය රාජ්‍ය අදායමට එල්ල කළ මරු පහරක් විය. එම ආණ්ඩුව වියරුවෙන් ක්‍රියා කළ බවට චෝදනා කළත් වරදක් නැත. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම යම් කොටසක් කැබිනට් මණ්ඩලය ගත් තීරණය වැරදි බව තේරුම් ගත්තත් ඔවුන්ට කළ හැකි දෙයක් නොවීය. එම ආණ්ඩුව මුරණ්ඩු විය. සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් තීන්දු තීරණ ගැනීම එම ආණ්ඩුව වුවමනාවක් නොමැති විය. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කඩා වැටීම මූලික අඩිතාලම දැමුවේ 2019 නොවැම්බර් මාසයේ 27 දින රැස්වූ ඔහුගේ කැබිනට් මණ්ඩලය විසින් බව අවධාරණය කළ යුතුය. එයට වගකිවයුතු මුදල් අමාත්‍යාංශයට රිදී සම්මානයක් දීම එම මුදල් අමාත්‍යධුරයද දරන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීම ඇත්ත වශයෙන්ම දෛවයේ සරදමකි.

සීනි බදු වංචාවට,රිදී සම්මාන!

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ එවකට සභාපති අනුර ප්‍රියදර්ශන මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තුව 2022 අගෝස්තු මාසයේ සංවිධානය කළ වැඩසටහනකදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ විශේෂඥයකු වූ මාර්කෝස් නේටෝ බදු කපා හැරීම ශ්‍රී ලංකාව කළ මූලික වරදක් බවට අවධාරණය කළේය.

ඊට මාස කීපයකට පෙර මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පෙන්වා දුන්නේ මුදල් අමත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය බදු කපා හැරීමට තීරණය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනතුරු ඇඟවීම නොසලකා බවයි. පාර්ලිමේන්තු කාරක සභාවක් ඉදිරියේ එතුමා කළ මෙම බරපතළ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ නිසි අවධානය යොමු වූයේ නැත. එසේ වූවානම් මුදල් අමාත්‍යාංශයට කිසිසේත්ම ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟා කරගත් ආයතනයක් ලෙස රිදී සම්මානයක් පිරිනමන්නේ නැත.

මුදල් අමාත්‍යාංශයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කිසිදු පසු විපරමක් කර නොමැති බව පැහැදිලිය. මුදල් අමාත්‍යාංශයට සම්මාන පිරිනැමීම හේතුවෙන් මුදල් වර්ෂ දෙකක් සඳහා හොඳම කර්ය සාධනයන් අත්කරගත් රාජ්‍ය ආයතන තෝරාගැනීමේ සමස්ත ක්‍රියාවලියම ප්‍රශ්න සහගත බව අවධාරණය කළ යුතුය.

පාර්ලිමේන්තුවේ අසමත්භාවය හේතුවෙන් බව නොවේ. පාර්ලිමේන්තුවේ මූලික වගකීම් දෙක වන මහජන මුදල් පරිපාලනය සහ සැකසීම නිසි ආකාරයෙන් සිදු වූවානම් ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ රට බංකොළොත් වන්නේ නැත. පාර්ලිමේන්තු ක්‍රියාදාමයට පිටින් මුදල් අමාත්‍යාංශය දීර්ඝකාලයක් කටයුතු කර ඇත. මුදල් අමාත්‍යාංශය වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම විමසා බැලිය යුතු වන්නේ ශ්‍රී ලංකාව මීට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ වැඳ වැටී ඇති බව සිහියේ තබාගෙනය. අවලස්සන සත්‍යය එයයි.

මුදල් අමාත්‍යාංශයේ දීර්ඝකාලීන දුර්වලතාවය සමස්ත ආර්ථික පරිහානියට හේතු වී ඇති බව ආණ්ඩු කළ සියලුම පක්ෂ දැනගත යුතුය. ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) අදටත් 2019 නොවැම්බර් – 2022 ජුලි කාලය තුළ තම පක්ෂය ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් නිසි පසු විපරමක් කළ බව පෙනෙන්නේ නැත. එලෙසම වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ යටතේ ක්‍රියාත්මක මුදල් අමාත්‍යාංශය පෙර වැරදි (අවම වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය තුළ) සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට උත්සුක වෙන බවක් පෙනෙන්නේ නැත. එසේ වූවානම් රට බංකොළොත් වීමට අඩිතාලම දැමූ මුදල් අමාත්‍යාංශයට 2019 වසර සඳහා රිදී සම්මානයක් පිරිනමන්නේ නැත.

අද වනතුරු විපක්ෂය නියෝජනය කරන කිසිදු පක්ෂයක්, කණ්ඩායමක් හෝ රාජ්‍ය නොවන ආයතනයක් මුදල් අමාත්‍යාංශයට රිදී සම්මාන දෙකක් පිරිනැමීම සම්බන්ධයෙන් කිසිදු අදහසක් දක්වා නැත. පාර්ලිමේන්තුවේ පක්ෂ ක්‍රියාකාරීත්වය තුළ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය හඳුනාගැනීමට නොහැකිය. ‘වොයිස් කට්’ දේශපාලනය තම ජීවිකාව කරගත් මහජන නියෝජිතයන් රට අර්බුදයට ලක් කළ ක්‍රියාමාර්ගය වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නැත.

● අපූරු ගැසට් පත්‍රයක්

විනාශකාරී 2019 වෙනුවෙන් රිදී සම්මානයක් පිරිනැමීම සිදුවන්නේ රට බංකොළොත් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභාවක් විමර්ශනය කරමින් සිටින අවස්ථාවකදීය. සමස්ත විපක්ෂය පොහොට්ටු පක්ෂයේ මහා ලේකම් සාගර කාරියවසම්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක එම කාරක සභාව ප්‍රතික්ෂේප කිරීම වෙනමම විමසා බැලිය යුතු කරුණකි.

මුදල් අමාත්‍යාංශයට දෙවන රිදී සම්මානය හිමි වූ 2020 වසරේදී එවකට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ 2020 ඔක්තෝබර් 13 වන දින නිකුත් කළ ගැසට් පත්‍රයක් හරහා ආනයනය කරන සුදු සීනි කිලෝවකට පැනවූ රුපියල් 50 ක බද්ද ශත 25 දක්වා අඩු කෙරිණි. ඒ අවස්ථාවේදී මුදල් ලේකම් වූයේ එස්. ආර්. ආටිගලය.

ජාතික විගණන කාර්යාලය කළ විමර්ශනයකදී හෙළිවූයේ මාස 4 ඇතුළත (ඔක්තෝබර් 2020 – පෙබරවාරි 2021) රජයට රුපියල් බිලියන 16 අහිමි වූ බවයි. අදටත් මෙම අහිමිවූ මුදල අය කර ගැනීමට මුදල් අමාත්‍යාංශය නිසි ලෙස කටයුතු නොකරන බවට පාර්ලිමේන්තුව තුළින්ම චෝදනා එල්ල වී ඇත. එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක රජය ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ලාභ ලැබූ සීනි ආනයනකරුවන් කණ්ඩායමේ ඉහළින්ම සිටින්නේ පිරමිඩ් විල්මා බව සඳහන් කර ඇත. මෑතකදී සමගි ජන බලවේගය මන්ත්‍රිනි රෝහිණි කවිරත්න පාර්ලිමේන්තුවේදී පොහොට්ටු පක්ෂයට චෝදනා කළේ සීනි බදු වංචාවෙන් ඉපැයූ ලාභයෙන් කොටසක් 2019 ජනාධිපතිවරණය සහ 2020 මහ මැතිවරණය සඳහා කළ වියදම් පියවා ගැනීමට පාවිච්චි කළ බවයි.

මහා බැංකු බැඳුම්කර වංචාවලින් (2015 සහ 2016 සිදුකළ) පර්පෙචුවල් ට්‍රෙෂරිස් ඉපැයූ ලාභයෙන් කොටසක් එදා එජාපයට ගිය බවට ශ්‍රීලනිප/ පොහොට්ටු පක්ෂය කළ චෝදනාව කවිරත්න මන්ත්‍රීතුමියට මතක් කර දිය යුතුව ඇත. ඒ එදා ඇය එජාපය නියෝජනය කළ නිසාය. සත්‍යය අමිහිරිය. අතිශය කටුකය.

පසුගිය අගෝස්තු 8 වන දින රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව සමගි ජන බලවේගය නියෝජනය කරන පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් මුදල් අමාත්‍යාංශයට අහිමි වූ සීනි බදු සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය. රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව අවධාරණය කළේ මුදල් අයකර ගැනීමට මුදල් අමාත්‍යාංශය නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. මෙවැනි වගකීම් විරහිත ලෙස කටයුතු කරන පාලන ක්‍රමයක් ලෝකයේ තිබිය හැක්කේ රටවල් කීපයක පමණි. ශ්‍රී ලංකාව එම රටවල් කීපය අතර ඉහළින්ම සිටින බව කිසිදු අවිනිශ්ෂිතභාවයකින් තොරව සඳහන් කළ හැකිය.

මුදල් කාරක සභාවේ එවකට සභාපති පොහොට්ටු පක්ෂයේ අනුර ප්‍රියදර්ශන නිකුත් කළ නිවේදනයකින් අවධාරණය වූයේ සීනි බදු කපා හැරීමෙන් මහජනතාවට කිසිදු සහනයක් හිමි නොවූ බවයි. එවකට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත අවධාරණය කළේ අදාළ ගැසට් පත්‍රය නිකුත්කරන තුරු තමන් ඒ පිළිබඳව දැනුවත් වී සිටියේ නැති බවයි. අමාත්‍යවරයා කෙලින්ම තම ඇඟිල්ල දිඟු කළේ එම තීරණය කළ මුදල් අමාත්‍යාංශයට බව රහසක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම තත්ත්වය සම්බන්ධයෙන් තමන් කළ කරුණු දැක්වීමට අවධානය යොමු නොකළ බවද පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. නමුත් 2020 වසරටත් මුදල් අමාත්‍යාංශයට රිදී සම්මානයක් පිරිනමා ඇත. රන් සම්මානයක් පිරිනැමුවත් පුදුම විය යුතු නැත.

මෙම ක්‍රියාවලියේදී රාජ්‍ය ආයතන 833ක් ඇගයීමට ලක් වූ අතර 2019 වර්ෂයේදී ඉන් තෝරාගත් ආයතන 15ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මානද, 2020 වර්ෂයේදී තෝරාගත් ආයතන 15ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මාන වශයෙන් සමස්ත සම්මාන 90ක් පිරිනැමීම සිදු විය.

රන් සහ රිදී සම්මාන පිරිනැමූ අවස්ථාවේදී ජනාධිපතිවරයා කළ කතාවේ කරුණු දෙකක් අවධාරණය කළේය. පළමුවන කාරණය මූල්‍ය කටයුතු සම්බන්ධව වැඩිම කමිටු ප්‍රමාණයක් පත්කර ඇති ලොව එකම පාර්ලිමේන්තුව වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට රට තුළ මූල්‍ය විනයක් ඇති කිරීම වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් පැවරෙන බවයි. දෙවැනි කාරණාව වියදම් පාලනයේ දී මෙන්ම රාජ්‍ය මූල්‍ය සම්බන්ධව මූලික වගකීමක් පැවරෙන පාර්ලිමේන්තුව එම බලය නිසි ලෙස භාවිතා නොකිරීම රටේ වත්මන් මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුවක් වූ බවයි.

පළමුවරට 1977 දී පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස ගම්පහ දිස්ත්‍රික්කයෙන් පත්වූ වර්තමාන ජනාධිපති වික්‍රමසිංහ ද මූල්‍ය අර්බුදයට දායක වී ඇති බව පෙන්වා දිය යුතුය. ඒ මහා බැංකු බැඳුම්කර වංචා 2015 සහ 2016 සිදුවන අවස්ථාවේදී මහා බැංකුව එතුමාගේ යටතේ ක්‍රියාත්මක වූ නිසා පමණක් නොවේ. මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ මහ බැංකුව එවකට අග්‍රාමාත්‍ය වූ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය එජාප නායක වික්‍රමසිංහ යටතට විශේෂ ගැසට් පත්‍රයක් හරහා පත් කළේ 2015 ජනවාරි මාසයේදීය. එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා ය. අද ඔහු සමගි ජනබලවේගය පක්ෂයේ ප්‍රබලයෙකි.

ආර්ථිකය බංකොළොත් කළ පක්ෂ රටේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටීම ඇත්ත වශයෙන්ම කනගාටු විය යුතු තත්ත්වයකි. සමස්ත විනාශය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ගිණුමට බැරකර වසර 30 ක් තිස්සේ ආර්ථිකය විනාශ කළ පක්ෂ ජනතාව මුළා කිරීමේ කාර්යයේ යෙදී සිටී. පාර්ලිමේන්තුවේ අසමත්භාවය සම්බන්ධයෙන් යම් අවබෝධයක් තිබුණා නම් ආර්ථිකය බංකොළොත් රටේ රාජ්‍ය ආයතනවලට සම්මාන පිරිනමන්නේ නැත. ලැජ්ජාවක් තිබූ එකෙකු සිටියානම් අවම වශයෙන් මුදල් අමාත්‍යාංශයට රිදී සම්මාන ලබා දෙන්නේ නැත.

● තීරු බදු සහනය

කොවිඩ් ව්‍යසනය රටම වෙලාගනිමින් තිබූ අවස්ථාවක මුදල් අමාත්‍යාංශය මන්ත්‍රීවරුන් 225 දෙනාටම තීරු බදු රහිත ටොයෝටා ලෑන්ඩ් කෘසර් ඇනවුම් කිරීමට කැබිනට් පත්‍රයක් දැමීමම ජනතාවට අපහාස කිරීමකි. පසුව මෙම කැබිනට් පත්‍රය ඉවත් කර ගත්තේය. ඒ මාධ්‍ය ඇති කළ තෙරපුම නිසාය.

ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයකට කෙසේ හෝ බලයට ඒමට තිබෙන කෑදරකම මිස ජනතාව මුහුණ දෙන අවාසනාවන්ත තත්ත්වයට සංවේදී නැත. තීරු බදු සහිත වාහනයක් ගෙන්වා එම වාහනය එක් දිනක් හෝ පාවිච්චි නොකර තුන්වන පාර්ශ්වයකට විකිණීම දේව කාර්යක් ලෙස මුදල් ඇමැති ඇතුළුව මැති ඇමැතිවරු කරති. රුපියල් ලක්ෂ 222-300 අතර බදු ගෙවා සුපිරි වාහනයක් ගැනීමට හැකි පුද්ගලයන්ට තමන් තීරු බදු රහිතව ගෙන්වූ සැප රිය විකුණති. රජයට හිමිවිය යුතු බදු තමන් සතු කර ගනිති. ඇත්ත වශයෙන්ම එසේ නොකළ මැති ඇමැතිවරුන් 1977 සිට අද දක්වා සිටිය හැක්කේ අතළොස්සකි. මෙම සමස්ත ක්‍රියාවලියම රටේ නීතියට පිටින් දේශපාලන පක්ෂවල කිසිදු විරෝධතාවයක් නොමැතිව ක්‍රියාත්මකයි.

මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුව නොමඟ යවන බවට පසුගිය වසරේ මැයි මාසයේ පාර්ලිමේන්තු කාරක සභාවකදී චෝදනා කළේ වර්තමාන මහා බැංකු ප්‍රධානියාය. පසුගිය කාලය තුළ අයවැය සැකසීමේදී ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම සැබෑ තත්ත්වයට එහා ගිය යථාර්ථවාදී නොවන ආදායමක් ලෙස ඉදිරිපත් කිරීම නිසා පාර්ලිමේන්තුව නොමග ගිය බව කළ ප්‍රකාශය අතිශය බරපතළය. සිතා මතා ඉදිරිපත් කළ වැරදි දත්ත මත අමාත්‍යාංශ සඳහා වැඩි මුදලක් වෙන් කිරීම නිසා ඉහළ අයවැය පරතරයක් ඇති වීමත්, ණය උගුලක හිරවීමටත් සිදුවූ බව ප්‍රකාශ කර ඇත. අවශ්‍යනම් බංකොළොත්භාවය විමර්ශනය කරන ආණ්ඩුවේ කාරක සභාවට මහ බැංකු අධිපතිවරයා කැඳවිය හැකිය.

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment