සර්වපාක්ෂික හමුවේ මතගැටුමක් මැද ජනපති නැගිට යයි

262

ඉතා සාර්ථක ඉන්දියානු නිල සංචාරයක් නිමා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවතත් ලංකාවට පැමිණියේ පහුගිය සෙනසුරාදා අලුයම ය. වැඩි විවේකයක් ගත කරන්නටවත් ඔහුට ඉඩ ලැබෙන්නේ නැත. මන්ද එදිනම ඔහු කලින් යොදාගත් වැඩ රාජකාරි රාශියක් සඳහා අනුරාධපුරය බලා පිටත්ව ගියේය.

අනුරාධපුර සංචාරයට පෙර සිය කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කළ ජනාධිපතිවරයා විශේෂ පක්ෂ නායක හමුවක් කැඳවන්නට ඔවුන්ට උපදෙස් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය දැනට නීතියක්ව පවතින නිසා එය බලාත්මක කිරීම සඳහා පහුගිය දිනවල ඔහු දිගින් දිගටම විවිධ කණ්ඩායම් හා සාකච්ඡා කළේය. ඉන්දියානු සංචාරය අරඹන්නට මත්තෙන් වරෙක පක්ෂ නායකයින් සමඟද, තවත් වරෙක පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ පක්ෂවල නියෝජිතයන් සමඟ ද ඔහු සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබිණි. සර්ව පාක්ෂිකයින්ගේ හමුවක් කැඳවන්නට තීරණය කළේද දහතුන්වන සංශෝධනය බලාත්මක කිරීම සඳහා ආරම්භ කර ඇති කතිකාව ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තීන්දු තීරණ කීපයක් ගැනීම සඳහාය.

සෙනසුරාදා අනුරාධපුරයට ගිය රනිල් වික්‍රමසිංහ වැඩිම උනන්දුවක් දැක්වූයේ අනුරාධපුර පූජා භූමියේ මහාවිහාරීය සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි සොයා බැලීමටය. මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවට අනුරාධපුරයේ පරිපාලන අධිකාරිය දේශපාලන අධිකාරිය මෙන්ම අටමස්ථානාධිපති ප්‍රමුඛ මහා සංඝරත්නය ද සහභාගි වී සිටියහ.

● ජනාධිපති අනුරාධපුරයේ
පූජා භූමිය සකසයි

සාකච්ඡා අවසන් කළ කළ වික්‍රමසිංහ ජනාධිපතිවරයා සෙනසුරාදා රාත්‍රියේත් ඉරිදා දිනයත් අනුරාධපුර ජනාධිපති මන්දිරයේ විවේකීව කල්ගත කළේය. මේ අතර ඉරිදා එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලයේ පවත්වන්නට දිස්ත්‍රික්කයේ සංවිධායකයෝ කටයුතු සූදානම් කර තිබුණි. ඉරිදා උදේ නීතිඥ කස්තුරි අනුරාධනායක ඇතුළු පිරිසක් ජනාධිපති මන්දිරයට ගොස් මේ සඳහා සහභාගී වන්නට ජනාධිපතිතුමා එන්නේ දැයි විමසා සිටියහ.

“රුවන් ඉන්නවනෙ. ඔයගොල්ලො වැඩේ කරගෙන යන්න. මම ජනාධිපති හැටියට ස්වාධීනව ඉන්න ඕන. පක්‍ෂ වැඩවලට සහභාගි වෙන්නේ නෑ” ජනාධිපතිවරයා කීවේය.

සඳුදා දිනයේ ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලය වෙත ගොස් දෛනික රාජකාරී කටයුතු ගැන සොයා බලන්නට විය. එහි දී මැති ඇමැතිවරු පිරිසක් පැමිණ ජනාධිපති සමග සුහද සාකච්ඡාවක යෙදෙමින් ඉන්දියානු සංචාරයේ ප්‍රගතිය ගැන කතාබහ කරන්නට වූහ. සුවිශේෂී දේශපාලන කරුණු ගැන පැවැත්වූ සාකච්ඡාවට අමතරව ඉන්දීය නායකයන් හා බලධාරීන් සමග පවත්වන ලද විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා ගැන ජනාධිපති රනිල් මෙහි දී පැහැදිලි කිරීමක් කළේය.

“ගිය සුමානෙ මම ඉන්දීය අගමැති, ඉන්දීය ජනාධිපති හමුවී වෙන වෙනම සාකච්ඡා කළා. අගමැති මෝදි සමග ද්විපාර්ශ්වික විශේෂ භෝජන සංග්‍රහයකට සහභාගි වුණා. ඒ වගේම ඔයගොල්ල දැනගන්න ලබන සිකුරාදා මා සමග ඒ වගේ සාකච්ඡාවක් කරන්න ප්‍රංශ ජනාධිපතිතුමා ලංකාවට එනවා.”

මෙහිදී නිලධාරීන්ගේ හා මැති ඇමැතිවරුන්ගේ ප්‍රතිචාරය මදක් බලා සිටි ජනාධිපතිවරයා මෙසේ කීවේය.

“ඕගොල්ලො දන්නවද… මෙතන කාටවත් නොපෙනුණු දෙයක් තියෙනවා…” එසේ කිව්වත් ඔවුන් කිසිවෙකුගෙන් ඊට ජනාධිපතිවරයා බලාපොරොත්තු වූ ප්‍රතිචාරය නොලැබුණු කල ඔහුම කතා කරමින් මෙසේ කීවේය.

“මම පහුගිය සිකුරාදා ඉන්දියාවේ නායකයො හමුවුණා. අගමැති මෝදි හා ජනාධිපතිතුමිය. මේ සතියේ සිකුරාදා ප්‍රංශ ජනාධිපති හමු වෙනවා.”

“ඒ විතරක් නෙවෙයි නේ. රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් මේ සතියේ ගොඩයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයො එක පැත්තකින් හමුවෙන අතර අනිත් පැත්තෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක මුණගැහෙනවා. බිම්ස්ටෙක් සමුළුවේ මහ ලේකම් හමු වෙනවා. සෙනසුරාදට ජපන් විදේශ ඇමැති හමු වෙනවා. හැම හමු වීමකින් ම රටට ලොකු ප්‍රතිලාභයක් ලැබෙනවා..” සාගල රත්නායක ද එම පැහැදිලි කිරීමට දායක වූයේ එසේය.

එදින හවස අමාත්‍ය මණ්ඩලයේ රැස්වීමේ දී ද ඉන්දියානු සංචාරය ගැනද ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කරන්නට සිදුවිය. දෙරට අතර දෙරටෙහි මුදල් පාවිච්චි කිරීමේ හැකියාව ගැන හා නව ඉන්දීය ශ්‍රී ලංකා සබඳතා ඇතිවන ආකාරය ගැන මෙහිදී කරුණු පැහැදිලි කළේය. ඒ අතර ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතර රටේ පැතිර ගොස් තිබූ කතාවක් ගැන ද රනිල් විස්තර කීවේය.

“ලංකාවයි ඉන්දියාවයි යා කරලා පාමක් හදනවයි කියල කතාවක් ගිහින් තියෙනවා. හැබැයි අපි නම් එහෙම දෙයක් ගැන සාකච්ඡා කළේ නැහැ. මොකද ඒක හැදුවොත් සේතුසමුද්‍රම් කියන නාවුක ගමන් මාර්ගයට බාධාවක්.” ජනාධිපති පැහැදිලි කිරීමක් කළේය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පසුගිය දිනවල දිගින් දිගටම ජනාධිපතිවරයා සහභාගී වූ රැස්වීම් රැසක්ම තිබිණි.

● කසුන් ඉරාජ් යට යයි
ක්‍රිකට් සවාරි මතුවෙයි

මේ අතරතුර සමගි ජන බලවේගයේ හේෂා විතානගේ මන්ත්‍රීවරයා අමුතුම තාලයේ දේශපාලන බෝම්බයක් සමාජය වෙත අත හැරියේය. පසුගිය සතියට පෙර සතියේ සමාජයේ වඩාත්ම කතාබහට ලක් වූ සිද්ධිය වූයේ කසුන් කල්හාර හා ඉරාජ් වීරරත්න අතර ඝට්ටනයයි. සැබවින්ම ඒ දෙදෙනා අතර ගැටුමක් වීදැයි සැක සහිතය. මන්ද සමාජයේ සිටින බහුතර මධ්‍යස්ථ මතධාරීන්ට මේ දෙදෙනාම අපේ සමාජයේ තරුණ රසිකත්වයේ ආකර්ෂණය දිනාගත් අතිශය ජනප්‍රිය තරුණ ගායකයන් හා සංගීතඥයන් දෙදෙනෙකු වනවා හැර වීරයන් නම් නොවේ. නමුත් දෙදෙනාම යම්කිසි ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරු දෙකකට තම ශක්ති ප්‍රමාණයෙන් හා නිර්මාණ කෞෂල්‍යයෙන් සේවය කළ දෙදෙනකු බව ද රහසක් නොවේ. ඒ පිළිබඳ මේ රටේ බහුතර රසික කැළට ද ප්‍රශ්නයක් තිබුණේ නැත. බොහෝ දෙනා ආදරය කළේත් අගය කළේත් ඒ දෙදෙනාගේ නිර්මාණශීලිත්වය හා හැකියාවන් විනා දේශපාලනය කුමක්ද කියන කාරණාව ගැන නෙවේ.නමුත් මේ පසුගිය දිනවල යම් හේතුවක් නිසා ඉරාජ් වීරරත්න සහභාගි වන සංගීත ප්‍රසංගයකට කසුන් කල්හාර සහභාගී නොවන්නට තීරණයක් ගෙන තිබිණි. සමාජ මාධ්‍යවල පළ වූයේ රාජකීය දේශපාලන භාවිතාව නිසා කසුන් මෙසේ ඉරාජ් සහභාගි වන තැන්වලට සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති බවකි. එහිදී කසුන් සමාජ මාධ්‍යවල වීරයා වූහ. ඉරාජ් ප්‍රතිමල්ලවයා වූහ.

ප්‍රස්තූතය මත සමාජ මාධ්‍ය දෙපසකට බෙදී සටන් වදින්නට වූහ. ඉරාජ් ද හරි කසුන් ද හරි කියා ලොකු සංවාදයක් පැතිර ගියේය. දේශපාලනය ගෑවී තිබීම නිසා සමාජය මත එය පසුව දේශපාලන ප්‍රශ්නයක් ද විය.

● හේෂා අතහැරපු
දේශපාලන බෝම්බය

හේෂා විතානගේ ඉහත කී දේශපාලන බෝම්බය දමා ගැසුවේ ඒ සමාජය මතය. සිද්ධිය කෙලින්ම 2022 වසරේ ඔස්ටේ්‍රලියාවේ පැවති ක්‍රිකට් තරගාවලියක් හා සම්බන්ධ වූහ. ප්‍රශ්නය වූයේ මෙම ක්‍රිකට් තරගාවලිය බලන්න යන්නට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතා කරමින් නළු නිළියන් කලාකාරයන් ඇතුළු පිටස්තර පුද්ගලයන් රැසක් රැගෙන ගොස් ඇතැයි කියා විගණකාධිපති වාර්තාව නිකුත් වීමයි. හේෂා විතානගේ විගණකාධිපති වාර්තාව පුවත්පත් සාකච්ඡාවක් කැඳවා ප්‍රසිද්ධියක් දෙමින් සමාජගත කළේය. එනමුත් සමාජය මත වඩාත් කතාබහට ලක්වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අවභාවිතා වීමට වඩා එහි උප සභාපතිවරයා ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් මේ ගමන සඳහා කැටුව ගියා යැයි කියන පුවතයි.

මේ පුවත පැමිණීමත් සමගම හැබෑ වීරයා කසුන්ද ඉරාජ්ද යන ප්‍රශ්නය යට ගියේය. සැබෑම වාසනාවන්තයා සභාපතිද උප සභාපතිද නිළියන් දෙදෙනාද නැත්නම් සෙසු නළු නිළියෝද කියන ප්‍රශ්නය මතු වුණේය.

කොටින්ම කිව්වොත් සමාජ මාධ්‍යවලට ඒ දිනවල කතා කරන්නට වෙන දෙයක් තිබුණේම නැති තරම් ය. බහුතරයක් කතා කළේ අර නිළියන් දෙදෙනා හා ඔවුන්ට සම්බන්ධ වාසනාවන්තයා ගැනය.

“මේකෙන් වෙන්නේ ඇත්තටම රටේ අවධානය දිනා ගත යුතු සැබෑ ප්‍රශ්න යට යන එක. අවසානයේ නොවැදගත් ජනප්‍රිය ප්‍රශ්නයක් සාකච්ඡා වෙනවා. කරුණාකරලා සමස්ත ලොකු චිත්‍රය ගැන කතා කරන්න. ඒකෙ ඇතුලෙ තියෙන පුංචි පුංචි රූප ගැන කතා කරන්න එපා…” බැරිම තැන හේෂා හදම එමඉැ වැඩසටහන් ඔස්සේ සමාජයෙන් ඉල්ලා සිටින්නට පටන් ගත්තේය. ඒ වගත් එසේය.

● ඩොලර් ප්‍රශ්නය
ඇති වුණේ මෙහෙමයි

පසුගිය සතියේ අපේ සමස්ත වෙළෙඳපොළ ආර්ථිකයේ පිටරටින් ගෙන්වන බඩු භාණ්ඩවල යම් මිල වැඩිවීමක් සිදු වන්නට පටන් ගත්තේය. ඊට හේතුව රුපියලට සාපේක්ෂව ඩොලරය යම් තරමකට ඉහළ නගින්නට පටන් ගෙන තිබීම බව පැහැදිලිය. 314ට 317ට තිබූ ඩොලරය 330 – 340 දක්වා ඉහළ යන බව පෙනෙන්නට විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ පිළිබඳව සාකච්ඡා කරන්නට විශේෂ ආර්ථික කමිටු රැස්වීමක් මුදල් අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය. එහිදී ජනාධිපතිවරයා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ගෙන් විමසනු ලැබුවේ හිටිහැටියේ ඩොලරයේ මිල ඉහළ යන්නට පටන් ගත්තේ කවර හේතුවක් නිසාද නිසා ද කියාය.

“ඒකට හේතුවක් තියනවා සර්… තව සති තුනකින් විතර මිනිස්සු බැංකුවලින් ලබා ගත්ත සංවර්ධන බැඳුම්කරවල කාලය ඉකුත් වෙනවා. ඊළඟට මිනිස්සු ඒ සල්ලි ගන්න බැංකුවලට දුවන් එනවා. ඒක ගන්න වාණිජ බැංකු ටික එළියට බැහැලා මුදල් වෙළෙඳපොළෙන් ඩොලර් ටික එකතු කරලා. ඕක තමයි ඩොලර්වල මිල වැඩි වෙන්න හේතුව. හැබැයි මේක තාවකාලිකයි. ආයෙත් සති දෙක තුනකින් පරණ තත්ත්වයට පත්වෙයි.” රංජිත්ගේ මේ කතාව එතන සිටි මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අනුමත කරමින් ජනාධිපතිවරයාගේ කුකුස සංසිඳුවාලී ය.

පසුගිය සතියේ පාර්ලිමේන්තු සතියක් නොවීය. එබැවින් අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් සිය ගම් දනව්වලට ගොස් විවේකීව කල් ගත කළේය. සමහරු විදේශගත වීය. එහෙත් කවර විවේකයක් වත් නොමැති දේශපාලනඥයෝ පිරිසක් ද වූහ.

බදාදා හවස ජනාධිපතිවරයා කැඳවූ සර්වපාක්ෂික පක්ෂ නායකයන්ගේ හමුව හරියටම හවස පහයි තිහට ජනාධිපති කාර්යාලයේ ආරම්භ වූයේ ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ සහභාගිත්වයෙනි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු උතුරේ මහ ඇමති විග්නේෂ්වරන්, දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් ඇතුළු පොහොට්ටුවේ නායකයෝ සමගි ජන බලවේගයේ නායකයෝ කුඩා පක්ෂවල නායකයෝ ආදි සියලු දෙනා මේ සඳහා සහභාගී වී සිටියහ. පැමිණ සිටියේ නැත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ පමණි.

● බලය බෙදීම මෛත්‍රී විසඳපු හැටි

සාකච්ඡාව අමතා මුලින්ම කතා කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි. ඒ වන විට සාකච්ඡාවේ සියලුම මේසවල සාකච්ඡාවට අදාළ න්‍යායපත්‍රයක් ලබාදී තිබිණි. දෙමළ පක්ෂවල නායකයින් සමඟ සාකච්ඡා කළ පරිදි අහවල් අහවල් කරුණු මේ සාකච්ඡාවට අදාළ වේ යැයි එහි සඳහනක් තිබිණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙහිදී කතා කළේ දහතුන්වැනි සංශෝධනයට වටිනාකමක් දීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරියේ දී කැප වී වැඩ කළ යුතු ආකාරය ගැනය.

“දහතුන්වන සංශෝධනය මේ වන විට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් වෙච්ච නීතියක්. ව්‍යවස්ථාවේ තියෙන දෙයක් නං එය ක්‍රියාත්මක කිරීම අපේ වගකීමක්. මේ ගැන දිගින් දිගටම අපි සාකච්ඡා කළා. එහි අදාළ කරුණු ගැන අපි කාටවත් කිසි විවේචනයක් නෑ. හැබැයි මෙහි පොලිස් බලතල ලබාදීම ගැන ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ඒ ගැන ඇමැතිතුමා අලුත් පොලිස් පනතක් සකස් කරමින් ඉන්නවා. එතකොට ඒ ප්‍රශ්නයත් විසඳ ගන්න පුළුවන් වෙයි. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේ පිළිබඳ ඕගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරන්න.”

ජනාධිපතිවරයාගේ එම පෙළඹවීමෙන් පසුව කතා කරන්නට ඉදිරිපත් වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ය. උතුරු නැගෙනහිර දැනට පවතින ප්‍රශ්නය විසඳීම සඳහා තමා දැක්වූ දායකත්වය විස්තර කරමින් හේ කතා කළේය. උතුරු නැගෙනහිර ප්‍රශ්නයක් ව තිබූ ඉඩම් ගැටලුව විසඳන්නට තමන් මැදිහත්ව හමුදාව භාරයේ තිබූ ඉඩම්වලින් 97% ක්ම ආපසු ලබා දෙන්නට ක්‍රියාකළ බව හේ පෙන්වා දුන්නේය.

ඉන් අනතුරුව කතා කළේ සම්බන්ධන් ය. ටික වෙලාවක් කතා කළ මුත් ඔහුගේ කථාව එතරම් නිරවුල් නොවීය. අනතුරුව සජිත් ප්‍රේමදාස හොඳ ප්‍රවේශයකින් සාකච්ඡාවට අවතීර්ණ විය.

“දැන් ඔබතුමා 13 සංශෝධනයට අනුව බලය බෙදීමක් ගැන කතා කරනවා. හැබැයි 13 සංශෝධනයේ බලය බෙදීමේ පදනම තමයි පළාත් සභා. අද පළාත් සභා එකක්වත් රටේ නෑ. ඉතින් කොතැනටද බලය බෙදන්නේ. ඉස්සරවෙලා පළාත් සභා මැතිවරණය කියලා පළාත් සභා ටික පිහිටුවල ඉන්න. නැත්තං මේ සාකච්ඡාවලින් පලක් නෑ…” සජිත් හරි ප්‍රස්තුතය කතා කරමින් සාකච්ඡාවට පාර කපා තබා ඔහු යන්නට ගියේය. ඉන් පසුව කතා කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ය.

“13 සංශෝධනය අනුව පූර්ණ වශයෙන් බලය බෙදීමක් මේ වගේ සැහැල්ලුවෙන් කතා කරන්න බෑ. කලින් හිටපු ජනාධිපතිවරු හත් දෙනෙක්ම මේක නොකළේ ඇයි ද කියලා අපි කල්පනා කරන්න වෙනවා. මේ වෙලාවේ රටේ ප්‍රමුඛතාවය දිය යුතු ප්‍රශ්නය මේකද කියලත් අපට ප්‍රශ්නයක් තියෙනවා.” සාගර එසේ කී විට ඩලස් අලහප්පෙරුම කතා කරමින්…

“ගරු ජනාධිපති තුමනි.. මෙතෙන්දි බලය බෙදීම ගැන කතා කරන ඔබතුමාගේ සද්භාවය ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. බලය බෙදන්න පළාත් සභාවක් අද රටේ නෑ. අනෙක් පැත්තෙන් බලය බෙදීම සඳහා කියන කුඩාම ඒකකය තමයි පළාත් පාලන ආයතන. පළාත් පාලන ආයතනවලට ඡන්දෙ තියන්න නාමයෝජනා කැඳෙව්වා. නමුත් ඡන්දෙ තිව්වේ නෑ. අපිට තියෙනවා මේ වෙලාවේ සද්භාවය පිළිබඳ ලොකු ගැටලුවක්.”

“අනිත් එක ඔබතුමා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ඔබතුමා ඇවිල්ල තියෙන්නෙ ජනවරමකින් නෙවෙයි. ඔබ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ ඉතිරි ධුර කාලය සම්පූර්ණ කරන කෙනා. එහෙම කෙනෙක් රට සම්බන්ධයෙන් මේ වගේ බරපතල තීන්දු තීරණවලට උත්තර හොයන එක වැරදියි කියලයි මගේ අදහස…” එසේ කීවේ විමල් වීරවංශ ය. ඉන්පසුව කතා කරන්නට නැගිට්ටේ මේ ප්‍රශ්නේ ගැන දැඩි අවධානයකින් පසුවන ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයාය.

“මේ ප්‍රශ්නය ගැන ඔබතුමා උතුරු නැගෙනහිර නියෝජනය කරන මන්ත්‍රීවරු හා කතා කළා කියලා කියනවා. හැබැයි ඔබතුමා උතුරු නැගෙනහිර සමහර මන්ත්‍රීවරු සාකච්ඡාවට කැඳවලා නෑ. ඊළඟට දෙමළ පක්ෂවල මන්ත්‍රීවරු එක්ක කතා කළා කියනවා. නමුත් මෙම මනෝ ගනේෂන් මන්ත්‍රිතුමාලා ඒ සාකච්ඡාව ගැන දැනුවත් නෑ. මාධ්‍යවල විවිධ වාර්තා පළ වෙනවා. අපිට පේන විදිහට ඔබතුමා සාකච්ඡා කරලා තියෙන්නේ දෙමළ ජාතික සන්ධානය එක්ක විතරයි. ඇයි ඉතිං ඒක කෙළින් කියන්නේ නැත්තේ. උතුරේ එක පක්ෂයක් එක්ක විතරක් කතා කරල පුළුවන්ද පළාත් දෙකක ප්‍රශ්නයක් විසඳන්න.

අනිත් කාරණාව ඔබතුමා 69 ලක්ෂයක ජනවරමේ අනුප්‍රාප්තික ජනාධිපති තුමා. හැටනම ලක්ෂයක ජනවරමක් ලැබුණේ සෞභාග්‍යයේ දැක්ම කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයට. එකේ පැහැදිලිවම තියෙනවා ඒකීය රාජ්‍යයක් සඳහා අලුත් ව්‍යවස්ථාවක් ගේනවාය, ඒකීය රාජ්‍ය ශක්තිමත් කරනවාය, මුළු රටටම බලපාන එක නීතියක් හදනවා ඒ කියන කාරණා තුන. අන්න ඒකට මිනිස්සු ඡන්දෙ දුන්නේ. ඔබතුමාට 13 ප්ලස් කියලා බලය බෙදන්න නෙමෙයි. බලය බෙදන්න ඕන නම් අඩුම තරමින් පළාත් පාලන ඡන්දයවත් කියන්න ඕන. පළාත් සභා අක්‍රියයි කියලා කියනවා. නමුත් කවුද පළාත් සභා අක්‍රිය කරන්න අත ඉස්සුවේ. ඔබතුමා අත ඉස්සුවා. ඔය සුමන්තිරන්ලා අත ඉස්සුවා. එදා පළාත් සභා එපා කියලා අත ඉස්සුවෙ අද පළාත් සභාවලට බලය ඕන කියන අයම තමයි.”

ගෙවිඳු ගේ කතාව එදා පැවැති 13 ප්ලස් සාකච්ඡාව මුළුමනින්ම අනිත් පැත්ත හැර වූ කතාවක් විය.

● කොච්චර දුන්නත් මොවුන්ට මදිලු

“අද මේ රටේ තියෙන්නේ බලය බෙදීම පිළිබඳ අර්බුදයක් නෙවෙයි. ආර්ථික අර්බුදයක්. ඔබතුමා පිළිතුරු සොයන්න ඕන ආර්ථික අර්බුදයට මිසක් කොහේවත් නැති බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නයට නෙවෙයි… කොහෙද ජනවර්ගික ප්‍රශ්නයක් තියෙන්නේ. මේ විග්නේෂ්වරන් මැතිතුමාව උදාහරණයට ගන්නකෝ. එතුමා ඉගෙන ගත්තෙ සිංහල ස්කෝලේ. මෙතුමාගේ දරුවෝ විවාහ වෙලා ඉන්නේ සිංහල අය එක්ක. මෙතුමාට තියනවද ජාතිය නිසා ඇති වුණ ගැටලුවක්…” සරත් වීරසේකර දැඩිව කියා සිටියේය.

“ඇත්තටම අපි හිතුවේ මේක පොලිස් බලතල පිළිබඳව කරන ගැඹුරු සාකච්ඡාවක් කියලා. දැන් බලාගෙන ගියාම මේක විසිවෙනි සංශෝධනයටත් වඩා භයානක යෝජනාවක් ගැන කරන සාකච්ඡාවක්…” උදය ගම්මන්පිල කීවේය. මේ වෙලාවේ වාසුදේව ද කතා කළේය.

“ජනාධිපතිතුමනි… ප්‍රතිපත්තිමය වශයෙන් අපි බලය බෙදීමට විරුද්ධ නෑ. හැබැයි ඔබතුමාට මේ වෙලාවේ දකුණේ කැමැත්ත ගැන නොසලකා හරින්න බෑ. දකුණේ කැමැත්තක් නැතුව මේ වැඩේ කරන්න ගියොත් ඔබතුමා ලොකු අමාරුවක වැටෙනවා.”

ඊට තරමක් විරුද්ධ ස්ථාවරයක සිට කිරිඇල්ල මන්ත්‍රීවරයා කතා කළේය. ඔහු පෙන්වා දුන්නේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ගෙනැවිත් තිබෙන යෝජනාව බලාත්මක කර අවශ්‍ය නම් ජනාධිපතිවරයාට බලය බෙදීමේ ක්‍රියාන්විතය දියත් කළ හැකි බව ය. සුමන්තිරන් ගෙනවිත් තිබුණේ පළාත් සභා පිහිටුවීම පිළිබඳ යෝජනාවකි. පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් අවශ්‍ය නම් එය ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බව මෙහිදී කිරිඇල්ල පෙන්වා දුන්නේය.

මේ වෙලාවේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ද සුපුරුදු කතාව පටන් ගත්තේය. ජනාධිපතිවරයා මේ සියල්ල අසා ගෙනය.

“මහින්ද රාජපක්ෂ මීට පෙර තුන්වතාවක් කියලා තියෙනවා දහතුන ප්ලස් කියලා. ඒගොල්ලන් 13 ට වඩා එහා ගිය බලය බෙදීමට කැමතියි. ඒත් මේ එයාලගේ පක්ෂයේ මහලේකම්වරයා දැන් ඇවිල්ල මෙතන මොනවද කියන්නේ…” කියමින් ඔහු බලය බෙදීමේ ක්‍රියාවලියේ ඇති අවශ්‍යතාවය පැහැදිලි කරමින් දිගු කතාවක් කළේය.

මේ කතාව නිසා මවිතයට පත් ජනාධිපති රනිල් මෙසේ ඇසීය.

“මේ කාරණාව ගැන ඕගොල්ලොත් එක්ක අපි මාස හයක් විතර සාකච්ඡා කළා. අපි එකඟත්වයකට ආවේ ව්‍යවස්ථාවේ ඇති සංශෝධන පළමුවෙන් නිමා කරලා ඊට පස්සේ ඡන්දෙ තියන්න. දැන් ඔයා මේ මොනවද කියන්නේ.”

“නැහැ ජනාධිපතිතුමා. ඕන්නං ඉස්සෙල්ලා ඡන්දෙ තියලා ඊට පස්සේ පුළුවන්නේ ව්‍යවස්ථාවේ අදාළ සංශෝධන කරන්න..” ජනාධිපතිවරයා සුමන්තිරන්ගේ ඒ ස්ථාවරයට කැමති වූයේ නැත. ඔවුන් අතර ඒ පිළිබඳව එකඟතාවක් තිබෙන බව පෙනෙන්නට විය. සුමන්තිරන් කතා කළේ ඒ එකඟතාවය බිඳ දමමින් බව පෙනිණි. මීට පෙර විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා කළ යෝජනාවක් ද විය. ඔහු කියා තිබුණේ ආයුධ නොමැතිව උතුරට පොලීසියක් පත් කරන්නට බලය දෙන්න කියාය.

මේ අවස්ථාවේ යළිත් ගෙවිඳු නැගී සිටියේය. ඔහු හරි අපූරු කතාවක් කීවේ කෙළින්ම සුමන්තිරන් ව ඉලක්ක කරගෙනය.

“ඔන්න ඕක තමයි ජනාධිපතිතුමා යථාර්ථය. ඔන්න ඔය තත්ත්වය හින්දා තමයි මේ රටේ බහුතරයක් ජනතාව මේ ගොල්ලන්ව විශ්වාස කරන්නේ නැත්තේ. ඔබතුමාට තේරෙන්නේ නැද්ද මේගොල්ලන්ට මොනවා දුන්නත් මදි කියලා…

ඒ වෙලාවෙයි ජනාධිපති පසු වූයේ එතරම් සතුටකින් නොවේ. ඔහු දිනේෂ් දෙසට හැරී… “දැන් මේක අවසන් කරන්න වෙලාව හරි” කියා නැගිට ගියේය. බලය බෙදීම පිළිබඳ පැවැත්වූ සර්ව පාක්ෂික පක්ෂ නායකයින්ගේ රැස්වීම ද එතැනින් හමාර විය.

● ගුටි කන ප්‍රශ්නෙන් රාජිත ගැලවිලා

අන්තරායකාරී එන්නත් හා ඖෂධ ප්‍රශ්නය තවමත් නිමා වී නැතත් කෙහෙළිය රඹුක්වැල්ල ගැන කතාව දැන් ටිකක් සමනය වී අවසන්ය. සමාජයේ දැන් ඒ පිළිබඳ කතාබහක් නැති තරම්ය. ඒත් මේ ගැන කතා කෙරෙන කට්ටියක් තවම සීයට සීයක් නිහඬ වී නැති බව පැහැදිලිය.

සමගි ජන බලවේගය හා සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිතිවල නම් තවමත් ප්‍රධාන මාතෘකාව කෙහෙළිය ඇමැතිවරයා ය. ඔහුව රකින්නට කිසිවෙකුත් ආණ්ඩුව පැත්තෙනුත් ඉදිරිපත් වී නැති තරම්ය.

පසුගිය සතියේ කෙහෙළියට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන එන්නට නියමිත විශ්වාසභංගය ගැන කතා කරන්නට යළිත් විපක්ෂයේ කණ්ඩායම සංවිධානය වූහ. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමක් ද මේ සම්බන්ධයෙන් පසුගිය සතියේත් පැවැත්විණි. ඔවුන් එහිදී කතා කළේ විශ්වාසභංගය ඉදිරිපත් කරන ආකාරය හා ඊට චෝදනා ගොනු කරන ආකාරය ගැනය. කරුණු කාරණා දක්වමින් මේ පිළිබඳව ලොකුම පැහැදිලි කිරීම කළේ රාජිත සේනාරත්නයි.

“මේ ප්‍රශ්නය තවම හරියට එළියට ඇවිල්ලා නෑ. ඖෂධ ප්‍රශ්නය ඉදිරියටත් තියනවා. හෙට අනිද්දා වෙනකොට ඇමැතිවරයාටවත් මේ ඖෂධ ගැන සහතික දීලා කතා කරන නිලධාරීන්ටවත් ඒ වෙනුවෙන් පෙනී සිටින වෛද්‍යවරුන්ට වත් පාරේ බැහැලා යන්න බැරි වෙනවා. නිසැකවම මිනිස්සු පාරෙ පන්න පන්න ගහනවා…” රාජිත එසේ කියද්දී කවුදෝ මෙසේ කීවේය.

“යාන්තං ඔබතුමා ගැලවුණා…”

“මොකක්ද කිව්වේ…” රාජිත වටපිට බැලීය.

“නෑ…. මං කිව්වේ ඔබතුමා පාරෙදි ගුටි කන එකෙන් යන්තම් ගැලවුණා කියලයි..” එසේ කීවේ මුජිබර් රහුමාන් ය. මුජිබර් ගේ කතාවට සියල්ලෝම කොක් හඬලා සිනාසුනහ. රාජිත ද මුජිබර්ගේ ඒ විහිළුවට හඬනගා සිනාසුණා මිස කිසිවක් කීවේ නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ මූලිකත්වයෙන් දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී පිරිසක් එක්ව ගොඩනගන ලද නව සන්ධානයේ කාර්යාලය රාජගිරියේ ලේක් ඩ්‍රයිව් නො 118 ස්ථානයේ විවෘත කිරීමත් සමග එහි වතගොත සෙවීම සඳහා බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවකි.

තත්ත්වය එසේ තිබියදී නව සන්ධානයේ මන්ත්‍රීවරුන්ට ද පසුගිය සතිය වඩාත් කාර්ය බහුල විය. ඊට හේතුව වූයේ නව දේශපාලන වැඩපිළිවෙළ ගැන විවිධ පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කිරීමයි.

ඒ අනුව දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන ප්‍රගතිශීලි පක්ෂ කිහිපයක්ම ලන්සාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක හා තවත් ස්ථාන කිහිපයකදී හමුවී නව සන්ධානයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා පැවැත්වූහ. ප්‍රධාන දේශපාලන පක්ෂ 5ක් සමග මේ වන විටත් සාකච්ඡා අවසන් කර ඇති අතර ඉදිරි සතියේ තවත් පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කිරීමට ලන්සා ඇතුළු කණ්ඩායම වෙලාව වෙන්කර තිබේ.

ඊට අමතරව අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, ලසන්ත අලගියවන්න, නිමල් ලන්සා, දුමින්ද දිසානායක, නලින් පෙරේරා ඇතුළු පිරිසක් පසුගියදා ප්‍රවාහන අමාත්‍යාංශයේදී හමුවී නව සන්ධානයේ මංගල රැලිය ලබන වසරේ ජනවාරි 19 වෙනිදා පැවැත්වීම ගැන සාකච්ඡා කර තිබේ. ඒ වන තෙක් මේ ගැන ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට ද මෙහිදී තීරණය විය. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිමල් ලන්සා අතරද විශේෂ හමුවක් පසුගිය සඳුදා පැවති අතර එහිදී ලන්සා මේ ගැන ජනාධිපතිවරයා ද දැනුවත් කළේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment