මනිපුර් සාරි, මනිපුර් නැටුම් සහ මනිපුර් ගැටුම්

1150

අපේ රටේ වැඩි ප්‍රසිද්ධියක් නැතුවාට ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තය මේ වනවිට තනිකරම ගිනි ජාලාවකි.

මනිපූර් කී සැණින් මනිපුර් නැටුම් සහ මනිපුර් සාරි ගැන මිස වෙනත් දෙයක් ගැන අපේ රටේ වැඩිදෙනා දන්නේ නැත. එහෙත් ඊට වැඩි දේවල් දශක ගණනාවක් තිස්සේම මේ ප්‍රාන්තයේ පවතී. එක් පැත්තකින් බංගලාදේශයටත් අනෙක් පැත්තෙන් බුරුමයටත් මායිම්ව තිබෙන මනිපූර් ප්‍රාන්තය ගැන අප මේ මොහොතේ කතු වැකියක් ලිවිය යුත්තේ ඇයි? එය ආගම්වාදය නිසා ගිනිගෙන තිබෙන බැවිනි. වර්ගවාදය නිසා අළුවෙමින් පවත්නා බැවිනි. මීට මාස දෙකකට පෙර මනිපූර් ප්‍රාන්තයේදී ඉතාම නරක දෙයක් සිදුවිය. ප්‍රාන්තයේ බහුතර ගෝත්‍රය වන මෙයිටෙයි ගෝත්‍රයට අයත් රස්තියාදුකාරයන් කිහිපදෙනෙක් ප්‍රාන්තයේ සුළුතර ප්‍රජාව වන කුකී ගෝත්‍රයට අයත් තරුණියන් දෙදෙනකු පැහැරගෙන ඔවුන් දූෂණය කර නිරුවතින් මහ පාරේ ඇවිද්දවීය. ඉන්පසු මෙය වීඩියෝ කර යූ ටියුබ් එකට මුදාහරින ලදී. ඉතාම භයානක ප්‍රචණ්ඩ ක්‍රියා පටන්ගන්නේ එතැන් සිටය. තරුණියන් දෙදෙනා නිරුවතින් ඇවිද්ද වූ සල්ලාල රස්තියාදුකාරයන් කිහිපදෙනා මේ වනවිට පොලිස් කූඩුවේ සිටිති. ගල් ගසා මැරිය යුතු මේ දෙදෙනා පොලිස් කූඩුවට දමන ලද්දේ අන්තර්ජාලයට පින්සිදු වන්නටය. මේ මොහොතේදී අන්තර්ජාලය සහ එහි තිබෙන ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාල වසංගතයක් සේ සලකනු ලැබේ. එහෙත් ඇත්තම කතාව නම් ඒවා වසංගත නොව ආශිර්වාදයන් බවය. පසුගිය අවුරුදු පහ තුළ ලෝකයේ සිදුවූ අපරාධ වලින් 70% ක්ම හෙළිදරව් කරගන්නා ලද්දේ සමාජ මාධ්‍යයවල ප්‍රචාරය වූ වීඩියෝ ක්ලිප් සාක්ෂි වශයෙන් යොදා ගැනීමෙනි. ලංකාවේ තත්ත්වයද එයමය. පසුගියදා අතුරුදන් වූ රූමත් තරුණ මවක හා ළදැරියක මරා දැමූ මස්සිනා කෙනකු පොලිසියට අල්ලාදෙන ලද්දේ කොළඹින් ගෙන්වන ලද බෲනෝ නමැති පොලිස් සුනඛයා විසිනි. බෲනෝට අමතරව මේ රටේ පොලිසියට වැඩිපුරම උදව් කරන දේවල් වී ඇත්තේ CCTV කැමරා සහ ෆේස්බුක් එකය. ඒ අනුව අපරාධ ඔප්පු කිරීම සඳහා Circumstantial Evidence හෙවත් පරිවේශනීය සාක්ෂි ප්‍රයෝජනවත් වනු ඇත්තේ තවත් ටික කාලයක් පමණි. හැමතැනම තිබෙන CCTV කැමරා සහ අන්තර්ජාලය විසින් සියලු අපරාධ ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි ලබාදෙනවා ඇත.

අපි නැවත වතාවක් මනිපූරි සාරි වියන මනිපුරි නැටුම් නටන ඒ අතර ආගම් සහ ගෝත්‍ර වෙනුවෙන් අනිකාගේ බිරිඳ හෝ නැගණිය දූෂණය කරන මනිපූර් ප්‍රාන්තයට යමු. මේ ප්‍රාන්තයේ සිටින ජනගහනය තිස්තුන් ලක්ෂයකි. එයින් භාගයක්ම හින්දු ආගම අදහන මෙයිටෙයිවරුය. පොඩි කොටසක් වූ කුකීවරු ක්‍රිස්තියානි ලබ්ධිය අදහති. නාග ගෝත්‍රිකයෝ ඔවුන්ට ආවේණික ආගම්වල ගැලී සිටිති. මේ ගෝත්‍ර තුන අතර ඉඩම් ප්‍රශ්නයක් තිබේ. මෙයිටෙයිවරු ප්‍රාන්තයේ ඉඩම් වලින් විශාල ප්‍රමාණයක් පාවිච්චි කරන බවත් තමන්ට හිමිව ඇත්තේ සුළු ඉඩම් ප්‍රමාණයක් බවත් කුකී ප්‍රජාව කියති. මේ අතර තමන් වෙනම ජාතියක් ලෙස හඳුනාගන්නා ලෙස ඉල්ලමින් මෙයිටෙයිවරු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළහ. මේ ඉල්ලීම ඉටු කළොත් මෙයිටෙයිවරු තමන්ගේ ඉඩම් ද බලෙන් අත්පත් කරගනු ඇතැයි කුකීවරු ආණ්ඩුවට කීහ. කොහොමටත් මනිපූර් ප්‍රාන්තයේ වැඩි ආණ්ඩු බලය ඇත්තේ හින්දු ආගමිකයන් වූ මෙයිටෙයි ප්‍රජාවටය. භාරතීය ජනතා පක්ෂය සහ වෙනත් හින්දු මූලාශ්‍ර සහිත පක්ෂ අතර එම ප්‍රජාව බෙදීගොස් සිටිති. මේ සියල්ලටම අමතරව කුකීවරු පොපි ගස් වගාකරන කතන්දරයක්ද පැතිර තිබේ. පොපි වලින් අබින් හදා එම අබිං පිරිපහදු කළ විට හෙරොයින් නිෂ්පාදනය කළ හැකිය. හෙරොයින් පදනම් කරගෙන මත්ද්‍රව්‍යය වර්ග තවත් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලැබේ. මෙයිටෙයි ප්‍රජාව සහ මෝදිගේ ආණ්ඩුවේ මත්ද්‍රව්‍යය නාශක හමුදා කුකීවරුන්ගේ ප්‍රදේශවලට කඩා වදිමින් පොපි වගාවන් විනාශ කිරීමට පටන්ගෙන ඇත. කුකීවරුන් කියන්නේ පොපිවලට මුවාවී මෙයිටෙයිවරු සහ ආණ්ඩුව තමන්ට හිරිහැර කරන බවය. එසේම මෙයිටෙයි කුකී සහ නාග යන ගෝත්‍ර තුනටම කුඩා මනිපුර් ප්‍රාන්තය තුළ වෙනම රටවල් තුනක් අවශ්‍යව තිබේ. අප මනිපුර් ප්‍රාන්තයේ පවත්නා ගැටුම් සම්බන්ධයෙන් මේ කතුවැකිය ලියන්නේ එම අවශ්‍යතාවම ඇති ජාතිවාදී සහ වර්ගවාදී ගොන් වස්සන් අපේ රටේද හරක් පට්ටි වශයෙන් ගැවසෙන නිසාය.

මැයි මාසයේදී කුකී තරුණියන් දෙදෙනා දූෂණය කර නිරුවතින් මහපාරේ ඇවිද්දවා එම වීඩියෝව අන්තර්ජාලයට දැමූ පසු හටගත් ගෝත්‍රික ගැටුම් වලින් මේ වනවිට 130 ක් මියගොස් ඇත. ඒ අතර මාස දෙකක ළදරුවෙක්ද, අවුරුදු 104 ක මහල්ලෙක්ද වෙති. ඊට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් හැටදහසකට පමණ වාසස්ථාන අහිමි වී තිබේ. ඉන්දියන් යුද හමුදාව සහ පොලිසිය පැය 24 පුරාම ඇහැ ඇරගෙන ප්‍රචණ්ඩකාරීන් අත්අඩංගුවට ගැනීමෙහි නිරතව සිටිති. එහෙත් මෙබඳු වනගත ප්‍රාන්තවල ඇතිවන සටන් ඉක්මනින් මර්දනය කළ නොහැක. පාර්ශ්ව දෙකටම අයත් ත්‍රස්තවාදීහු පොලිසියේ ආයුධ ගබඩාවලට පැන ආයුධ පැහැරගෙන ඒවායින් වෙඩි තබමින් මිනිසුන් මරති. මේ වනවිට කුකීවරුන්ගේ ක්‍රිස්තියානි පල්ලි සිය ගණනක්ද හින්දු දේවාල පහළොවකට කිට්ටු ගණනක්ද ගිනි තබා විනාශ කර තිබේ. මේ සාහසික ප්‍රචණ්ඩත්වයේ නරකම ආයුධය වී ඇත්තේ ස්ත්‍රී දූෂණය බව බීබීසී පුවත් සේවයේ දිල්ලි වාර්තාකාරිනී ගීතා පාන්ඩේ පවසයි. මේ නරක ආයුධය නිසා ඉතා දරුණු ලෙස වෛරය වැපිරෙන බව ඇය සඳහන් කර තිබේ.

මේ වනවිට ලොව වැඩිම ජනගහනය සිටින රට බවට ඉන්දියාව පත්ව ඇත. ඒ නිසා මේ රටේ හටගන්නා ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම රජයට ඉතා අපහසු වී ඇති බව පෙනේ. අපට හිතෙන විදිහට මෙවැනි තත්ත්වයන් මර්දනය කිරීම සඳහා දැනට තිබෙන හමුදාව සහ අවි ආයුධ ගණන තුන් ගුණයකින් පමණ වැඩි කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදිට සිදුවනු ඇත. ත්‍රස්තවාදයට පිළිතුරු දිය යුත්තේ ත්‍රස්තවාදයෙනි. තුවක්කුව කතා කරන භාෂාව හැර වෙනත් බසක් ත්‍රස්තවාදියා හඳුනන්නේ නැත. තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයකට මැදිවී සිටි රටක් වශයෙන් අප ප්‍රාර්ථනා කරන්නේ මනිපූර් ප්‍රාන්තයේ අවුල වහා අවසන් වනු ඇතැයි යනුවෙනි. එසේම මෙය වවාගෙන කෑමට දේශපාලනඥයන්ට ඉඩ නොදීමට අගමැති මෝදි වගබලාගන්නවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment