කුරුණෑගල මලියදේව බාලිකාවෝ පාසල් දැල්පන්දු ශූරියෝ වෙති

139

පොළොන්නරුව මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු 30 වැනි සමස්ත ලංකා අන්තර් පාසල් දැල්පන්දු තරගාවලියේ දී වසර 13කට පසුව සමස්ත ශූරතාවය හිමිකර ගැනීමට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය සමත් විය.

මෙවර කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය වයස අවුරුදු 17න් පහළ සහ 13න් පහළ වයස් කාණ්ඩවල ශූරයන් වූ අතර කොළඹ මියුසියස් විද්‍යාලය හමුවේ එක් ලකුණක පරාජයක් ලබා අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩයේ අනුශූරතාව දිනා ගත්හ. වසර 13ක් ශූරයන් බවට පත් වූ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට මෙවර අවුරුදු 19න් පහළ ශූරතාවයෙන් පමණක් සෑහීමකට පත්වීමට සිදු විය.

දින තුනක් පුරාවට ක්‍රීඩිකාවන් පන්සීයකගේ පමණ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය විසින් පවත්වන ලද අතර නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම විසින් මෙවරත් පූර්ණ අනුග්‍රහය ලබා දුන්නේ ය.

තරගාවලියේ අවසන් උත්සව අවස්ථාවට නෙස්ලේ ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බර්න්හාඩ් ස්ටෙෆාන් මහතා සහභාගි විය. ඒ අතර මෙම අවස්ථාවට පාසල් දැල්පන්දු සභාපති සහ මලියදේව විදුහල්පතිනි නිරෝධා අබේවික්‍රම සහ නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ යන මහත්ම මහත්මීහූ ද සහභාගි වූහ.

මලියදේව විද්‍යාලයේ පුහුණුකරු සහ පුහුණුකාරිය ලෙස කමල් ශ්‍රී කාන්චන සහ එම්.කේ.එන්. ප්‍රියංගනී යන මහත්ම මහත්මීහු කටයුතු කරති.

advertistmentadvertistment
advertistmentadvertistment