කොළඹ මූල්‍ය නගරය නිල වශයෙන් ලබන 26දා අබුඩාබිහිදී ආයෝජකයන් වෙත හඳුන්වා දෙනවා – රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම

88

අලුත් විදිහට හිතල තීරණයක් ගන්න බැරි පාලකයන් තමයි අද රටේ ඉන්නේ – හරිනි අමරසූරිය (ජාජබ)

බංකොලොත් රටක ආයෝජන ගැන මීට වඩා උපායමාර්ගික විය යුතුයි – පාඨලී චම්පික රණවක (සජබ)

කොළඹ වරාය නගරය කලම්බ් ෆයිනෑන්ෂල් සිටි (කොළඹ මූල්‍ය නගරය) වශයෙන් ඩුබායි රාජ්‍යයේදී සහ අබුඩාබිහිදී ලබන 26 වැනිදා නිල වශයෙන් ආයෝජකයන් වෙත හඳුන්වා දෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) සඳහන් කළේය.

හිටපු බි්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතාද එම උත්සවයට සහභාගී වෙන බව කී ඇමැතිවරයා වරාය නගරයේ ආයෝජනය කරන්නට දැනටමත් ආයෝජකයන් 17 දෙනකු ඉදිරිපත් වී ඇති බව කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග සම්මත කිරීමේ විවාදයට සහභාගි වෙමින් කියා සිටියේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ පනත යටතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග පිළිබඳව විවාදය ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කරමින් ආයෝජනප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා-

හෙක්ටයාර 269 ක් වරාය නගරයේ පවතිනවා. ප්‍රධාන සැලසුමට අනුව වාණිජ ඉඩම් කට්ටි 74 ක් හා පොදු ඉඩම් කට්ටි පවතිනවා.

රජය මාරුවීම නිසා වරාය නගර ව්‍යාපෘතිය විවේචනයට ලක්වුණා. සමහර පක්‍ෂ නායකයන් අවලාද නැගුවා. රජය මාරුවීමත් සමග යහපාලන ආණ්ඩුව ව්‍යාපෘතිය අත්හිටුවූවා. එහි ප්‍රතිඵලයක් ලෙස චීන රජයට තවත් ඉඩම් ප්‍රමාණයක් දෙන්න වුණා. ආණ්ඩුව හා විපක්‍ෂය මේ ව්‍යාපෘතියට ප්‍රමුඛ තැන දී තිබෙනවා. වැදගත්කම පිළිඅරගෙන තියෙනවා. ඒ නිසා කඩිනමින් ව්‍යාපෘතිය ඇරඹිය යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ) –

එදා යහපාලන ආණ්ඩුව කල්දැමීමට හේතුවක් තිබුණා. අක්කර 50 ක ඉඩම් කෑල්ලක් චීනයට සම්පූර්ණ අයිතිය ඔප්පුවකින් දීලා තිබුණා. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉඩම් ගණනාවක් සම්පූර්ණ භුක්තිය දෙනවා වෙනුවට අවුරුදු 99 ක බදු පදනම මත ලබා දුන්නා. මහින්ද රාජපක්‍ෂ ජනපති තමයි සම්පූර්ණ අයිතිය දීල තිබුණේ.

පෝර්ට්සිටියේ නම වෙනස් කිරීම නොකළ යුතුයි. කලම්බෝ ෆයිනෑන්ෂල් සෙන්ටර් ලෙස නම වෙනස් කරන්න සූදානම් වෙනවා. රට බංකොලොත් වී තියෙන මොහොතක මෙවැනි දෙයක් සිදු කිරීම සුදුසු නෑ. කලම්බු කොලේජ් සිටි එකක් කිරීම තමයි සුදුසුම. අපේ රට තොරතුරු තාක්‍ෂණය අතින් ඉහළයි. ඒ නිසා ඒ ගැන හිතන්න.

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු –

වරාය නගරයේ ව්‍යාපාර සැලසුම් ක්‍රියාත්මක වන්නේ අද අනුමත කරන පනත අනුවයි. අදින් පසු ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව ඔවුන්ට පවතිනවා.

අද රටේ ආර්ථික තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. බැංකු පද්ධතිය ආරක්‍ෂා කර මූල්‍ය ක්‍රමය ශක්තිමත් කළ යුතුයි. මීට වසරකට එහා බැංකු පොලිය සියයට 30 පැනල තිබුණා. අද එය සියයට 14 ට අඩුවෙලා. ආයෝජකයන්ට දැන් ණය පහසුකම් ලබාගත හැකියි.

ආනයන තහනම නවත්වා තැබීම සුදුසු නෑ. අපි අපනයන දිරිගන්වන විට අනිත් රටවල් ආනයන සම්බාධක ඉවත් කරන්න කියා ඉල්ලනවා. සම්බාධක පැවතීම ආයෝජනවලටත් බාධාවක්. රටේ දියුණුවේ ප්‍රතිඵල ගන්න නම් බාධක සියල්ල ඉවත් කරගත යුතුයි.

වරාය නගරයේ දියුණුව රටේම දියුණුව බවට පත්කර ගත යුතුයි. වරාය නගරය, ගුවන්තොටුපළ හා කොළඹ නගරයේ දියුණුව එකවර සැලසුම් සහගතව කරගත හැකියි.

සේවා සැපයීමත් පෝර්ට්සිටි ව්‍යාපෘතියට ඉතා වැදගත් ආයෝජන ආකර්ශනයට සේවා සැපයීම නිසි පරිදි සිදුවිය යුතුයි.

පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර (ශ්‍රීලපොපෙ) –

අපි බදු අඩුකරන විට එය වැරදියි කියල විපක්‍ෂය කියනවා. බදු වැඩිකර ආදායම් වැඩි කරන විටත් විපක්‍ෂය විරුද්ධ වෙනවා. මේ අය උත්සාහ කරන්නේ නැවත තරුණ නැඟිටීමකට ඉඩ තියන්න. පොදු ජන පෙරමුණේ අපේ අත්වල ලේ නෑ. අපේ වැඩපිළිවෙළ අපි ඉදිරිපත් කළා. විපක්‍ෂය ඇස්වල කඳුළු පුරවාගෙන විනිස්සු රවට්ටනවා. ප්‍රශ්න නැති ව්‍යාපෘති ලෝකෙ කොහේවත් නෑ. තියෙනවා නම් තියෙන්නේ අඟහරුවල තමයි. රට බංකොලොත් කිරීමේ

වගකිවයුත්තෝ තමයි 2015 බලයට ආපු යහපාලනය. 2015 රටේ ක්‍රියාත්මක වූ බලවේගම තමයි ගෝඨාභය ජනපති යවන්නත් මූලික වුණේ. මේ අය ඉන්නේ කථිකයෝ විදිහට පමණයි. වැඩක් කරන්න බෑ. අපි මේ රට ඉස්සරහට ගෙනයන්න එකට එකතු වෙමු.

පත්කළ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)

මේ රටේ පුරවැසියන් දේශපාලනඥයන්ට උගන්වපු පාඩම තවම ඉගෙනගෙන නෑ. ඒ මතයට ඇහුම්කන් නොදෙන අයට රටේ ඉදිරි ගමනක් නෑ.

පෝර්ට්සිටි එක ආරම්භ කර වසර ගණනාවක් ගිහින්. මෙය ඉදිකිරීමේ අරමුණ තවම ස්ථිර නෑ. එක එක නම්, ව්‍යාපෘති තියෙනවා.

පෝර්ට්සිටිය රටේ පරිසරයට විශාල බලපෑමක් කළා. ධීවර ජනතාවගේ දැඩි විරෝධය මත බලෙන් කළේ. පෝර්ට්සිටි හැදීමේ අරමුණ වසර තුනෙන් තුනට වෙනස් කරනවා. එක අරමුණක් කාටවත් නෑ. අදටත් ධීවර ප්‍රජාව මේ ව්‍යාපෘතියෙන් බැට කනවා. සැලසුමක්, ප්‍රතිපත්තියක් අරමුණක් නැතිව ව්‍යාපෘති ඇති කරනවා. ප්‍රතිපත්තියක් ස්ථාවරත්වයක් නැති රටකට ආයෝජකයො ගෙන ආ හැකිද? රටක දූෂණය පාලනය කරගන්න බැරිනම් ආයොජකයො එන්නෙ නෑ.

අලුත් විදිහට හිතල තීන්දු තීරණ ගන්න බැරි පාලකයන් අද රටේ ඉන්නේ. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. අන්තර්ජාලයටත් සීමා දානවා. පුරවැසියන් මර්දනය කරනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක (සජබ) – 2010 දී වරාය නගර ගිවිසුම 2016 දී අපි ප්‍රතිශෝධනය කළා. රටේ බිම් කොටසක් විදේශයකට සින්නක්කරව දී තිබූ තත්ත්වය අපි අපේ රටට අයිතිය ලබා ගන්න ඒ කාලයේදී හැකි වුණා. අපි විධිමත් පරිසර අධ්‍යයනයක් කළා. අපි ධීවර ගැටලු, පරිසර ගැටලු අවම කිරීමට ක්‍රියා කළා. මාස 36 ක ව්‍යාපෘතිය මාස 29 කින් අපි අවසන් කළා. සියලු අභියෝගවලට නොබියව මුහුණ දුන්නා. මේ ව්‍යාපෘතිය එදා ආරම්භ කළේ කිසිම පරිසර අධ්‍යයනයකින් තොරවයි. ආයෝජන ගේන්න අවශ්‍ය පරිසරය අපි ඇති කළා. 2018

අගභාගයේදී ආයෝජන සැලැස්ම එළියට දැම්මා. දින 52 කුමන්ත්‍රණය සියලු සැලසුම් විනාශ කළා. අපේ වගකීම් අපි අකුරට ඉටුකළා.

බංකොලොත් රටක කරන ආයෝජන ගැන මීට වඩා උපායමාර්ගිකව ක්‍රියා කළ යුතුයි. මූලික සැලැස්මක් හදල තියෙනවා. පෙට්ටි කඩ හදලා සැලැස්ම විනාශ කරන්න එපා. ආයෝජනවලට පටහැනි පියවර ගන්න එපා.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ (ශ්‍රීලපොපෙ) –

පෝර්ට්සිටි එක එදා 2015 දී නවත්වා තිබියදි නැවත පටන් ගත්තේ ඩීල්කාරයෝ එකට එකතු වෙලා එකඟතාවකින්. සමහර වෘත්තීය සමිති විවිධ රටවල න්‍යාය පත්‍රවලට වැඩ කළා. අපේ රට අවාසනාවන්ත තත්ත්වයට පත් කරන්න ආණ්ඩු ගත් තීරණවලට අමතරව පක්‍ෂ විපක්‍ෂව විදෙස් ඒජන්තවරු ගත් පියවරත් හේතු වුණා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී උදයන කිරිඳිගොඩ (ශ්‍රීලපොපෙ) –

රටේ ඉදිරි ගමනට සියලුදෙනා ශක්තියක් විය යුතුයි. දේශපාලන කුහකකම් නිසා රට ඉදිරියට ගෙන යා හැකි ව්‍යාපෘති අඩාල වුණා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර (ශ්‍රීලපොපෙ) –

පෝර්ට්සිටිය මූල්‍ය නගරයක් කරන්න යනවා. බංකොලොත් වූ රටකට මූල්‍ය ආයෝජනය කරන්න එන්නේ නෑ. අද ඩොලර් අර්බුදයක් රටේ තියෙන්නේ. ඊට විසඳුම් රජය ඉදිරිපත් කර නෑ. රටේ මිනිස්සුන්ට බදු ගහලා ආදායම උපයන්න පමණයි ක්‍රියා කරන්නේ. මේ වසරේ වාගේ දෙගුණයක් ලබන වසරේ බදු ආදායම අපේක්‍ෂා කරනවා.

ආයෝජන, විදේශ ප්‍රේෂණ වැඩිකර ගැනීමේ ක්‍රියාවලියක් රටේ නෑ. අද මහ බැංකුව ඩොලර් මිලියන 500 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවා. ආණ්ඩුවේ පොලියට ගන්න කවුරුත් නෑ. වැඩි පොලී ඉල්ලනවා. ආණ්ඩුව ගෝල්ඩන්කී එක වගේ වැඩි පොලියට මුදල් දෙනවා.

පාර්ලිමේන්තුව නැවත අද (20දා) දින පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment