මට වෙඩි තිබ්බේ අද පවතින ක්‍රමය විසින් – මන්ත්‍රී උද්දික මැති සබයේදී කියයි

99

තමාට වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇත්තේ වර්තමානයේ පවතින ක්‍රමය විසින් යැයි සිතන බව අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

මීට දින දෙකකට පෙර තමන් වෙත එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“17 වෙනිදා රාත්‍රියේ මගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා. මේ වන විට පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව කටයුතු කරනවා. ඒ වෙලාවේ මට කතා කරපු මා ගැන හොයා බලපු සියලු දෙනාටම ගොඩක් ස්තූතියි. මේ සිද්ධිය කළේ කවුද කියන දේට වඩා මට හිතෙන්නේ මේ පවතින ක්‍රමය විසින් තමා මට ඒ ප්‍රහාරය එල්ල වෙන්න ඇත්තේ කියලයි. අපි හැමෝම දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපේ රටේ ජනතාවත් දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපේ රටේ සමාජ ක්‍රමයත් වැරදියි, දේශපාලනයත් වැරදියි. ඒ වැරැද්ද නිසා තමයි මුළු රටම අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.

අපි මේක වෙනස් කරගන්න මේකේ නිවැරදි තැන හොයා ගන්න ඕනේ. අපි වෙනස් වෙන්න ඕනේ කොතැනද කියන එක අපි හරියටම හොයා ගන්න ඕනේ. ඒක හොයාගෙන ඒ වෙනුවෙන් රටේ ජනතාවත් දේශපාලන නායකයොත් වැඩකරන්න ඕනේ. ඒ වෙනස මේ රටට ගේනකල් මම හිතන්නේ නෑ අපේ රට අනිත් රටවල තියෙන දියුණු තත්ත්වයට, දියුණු මිනිස්සු ඉන්න රටක් බවට ගොඩනගන්න පුළුවන් කියලා. ඒ දේශපාලන, සමාජ පරිවර්තනය මේ රට ඉල්ලනවා. අපි හැමවෙලේම කියන්නේ ඒ වෙනස මේ රටට ඇප්ලයි කරන්න. ඒ නිසා නම් අපිට තර්ජන එල්ල වෙන්නේ. හැමෝම හොයලා බලන්න ඕනේ මේ වෙනස ඇති කරන්නේ කොහොමද කියලා. වෙනස හොයාගෙන දෙගොල්ලෝම වැඩ කරමු. අපි තරුණ මන්ත්‍රීවරු විදියට ඒ වෙනස වෙනුවෙන් ඉදිරියටත් වැඩ කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – උද්දික මන්ත්‍රීතුමාගේ වාහනයට එල්ල වූ මේ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි. මේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාවම නීතිය හමුවට ගේන්න කටයුතු කරන්න ඕනෑ. ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අපි සියලු දෙනාගේ වගකීමක්. මා විශේෂ ඉල්ලීමක් කරනවා එතුමාගේ ආරක්ෂාව තර කරලා ඉක්මනින් මේ කාරණාව පිළිබඳව විභාගයක් කරලා ඒ වැරුද්ද කරපු අයට දඬුවම් කිරීමට අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න කියලා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment