ලකුණු 140ක් කෝටි 140ක ජනතාවගේ කඳුළු බවට පත්වෙයි – මේ ජයග‍්‍රහණය අතිවිශිෂ්ටයි ටෙස්ට් ලෝක ශූරතාවය දිනූ නවසීලන්ත නායකයා කියයි

409

අයිසීසී ලෝක කුසලාන දෙකක් සමීපයටම ගිය තම කණ්ඩායම ඒ වේදනාබර මතකය අමතක කර අයිසීසී ටෙස්ට් ලෝක කුසලානය තම රටට ගෙන දීමට සමත් වූ බව නවසීලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් ලෝක ටෙස්ට් ක‍්‍රිකට් ශූරතාවය ජයග‍්‍රහණය කිරීමෙන් පසුව මාධ්‍යයට ප‍්‍රකාශ කර සිටියේය. එමෙන්ම එය සුවිශේෂී අවස්ථාවක් බව ද නවසීලන්ත නායකයා ප‍්‍රකාශ කළේය.

වසර 144 ක ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ මංගල ටෙස්ට් ලෝක කුසලානය නවසීලන්තය පෙරේදා (23 වැනිදා) හිමිකර ගත්තේ තරගයට වෙන් කර තිබූ අතිරේක දිනය වූ හයවැනි දිනයේ වාසිය උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගනිමිනි.

පසුගිය 18 වැනිදා ඇරඹි අයිසීසී ටෙස්ට් ලෝක කුසලාන අවසන් මහා තරගයේ පළමු දිනයද ඇතුළුව දින දෙකකට ආසන්න කාලයක් වර්ෂාව හේතුවෙන් අපතේ ගිය හෙයින් තරගය ජය පරාජයෙන් තොරව අවසන්වීමේ ලකුණු පෙන්නුම් කළේය.

එහෙත් ඉන්දීය කණ්ඩායමේ ප‍්‍රබල පිතිකරු බලඇණිය දුබල තැනකට පත් කරමින් ඉන්දීය දෙවැනි ඉනිම ලකුණු 170 කට සීමා කළ නවසීලන්ත වේගපන්දු යවන්නෝ සිය කණ්ඩායමේ ඉලක්කය ලකුණු 139 කට සීමා කිරීමට සමත් වූහ.

රවිචන්‍ද්‍රන් අශ්වින් විසින් නවසීලන්ත ඉනිමේ පළමු කඩුලූ දෙක ලකුණු 44 කට බිඳ දැමූවද ජයග‍්‍රහණය හඹා යෑම පිණිස තැබූ අඩිය මදකුදු පස්සට නොගත් නවසීලන්ත නායකයා සහ ජ්‍යෙෂ්ඨ පිතිකරු රොස් ටේලර් කෝටි 140 කට ආසන්න ඉන්දීය ජනතාවගේ බලාපොරොත්තු සුන් කරමින් නවසීලන්තය ජයග‍්‍රහණය කරා ගෙන ගියේය.

තරගයේ ජයග‍්‍රාහී ලකුණ,

4 පහරකින් ලබා ගත් රොස් ටේලර් ලකුණු 47 ක් ද කේන් විලියම්සන් ලකුණු 52 ක් ද නොදැවී ලබා ගත් අතර ඒ වන විට නවසීලන්ත ලකුණු පුවරුව කඩුලූ 2 ක් දැවී ලකුණු 140ක් ලෙස සටහන් වී තිබිණි. පළමු ඉනිමේදී කඩුලූ 5 ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලූ 2 ක් දවා ගත් කයිල් ජැමීසන් මංගල ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ වීරයා බවට පත්වූවේය.

advertistmentadvertistment
advertistmentadvertistment