කිරිපිටි තොරතුරු නොදුන් සෞඛ්‍ය ලොක්කන් දෙදෙනකුට උසාවියෙන් සිතාසි

158

ලබන මාර්තු 21 වැනිදා තම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජේ. සී. ගම්ලත් මහතාට සහ එම අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී වී. ටී. එස්. සිරිවර්ධන මහතාට සිතාසි යැවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් නිදහස් සෞඛ්‍ය උදෙසා ජනතා ව්‍යාපාරය වෙනුවෙන් වෛi නිලාන් ප්‍රනාන්දු මහතා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා තිබූ තොරතුරු ලබාදෙන ලෙසට තම කොමිෂන් සභාව විසින් 2021 සැප්තැම්බර් 24 වැනිදා ලබාදුන් තීරණය අනුව කටයුතු කිරීම පැහැර හැරීම හෝ ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව

ගොනු කර තිබූ නඩුවක් සලකා බැලු ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව විසින් එම පනත යටතේ ලබාදුන් නියෝගය හා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයක් හමුවේ පැවරු ප්‍රථම නඩුව එය ලෙස සැලකේ.

2019 පෙබරවාරි 19 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ආනයනික කිරිපිටිවල මේදය හැර වෙනත් කිසිවක් අඩංගු නොවන බවට දේශීය වෛi පරීක්‍ෂණවලදී හෙළිවී ඇතැයි සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබිණි.

එම පරීක්‍ෂණ සිදු කළේ කවදා ද කුමන පරීක්‍ෂණා ගාරයේදීද කව්රුන් විසින් දැයි හා එම පරීක්‍ෂණ වාර්තාවේ සම්පූර්ණ පිටපතක් ලබාදෙන ලෙසට වෛද්‍යවරයා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කොට තිබූ අතර එම ඉල්ලීම ඉටු කිරීම පැහැර හැරීම නිසා ඒ පිළිබඳව කොමිෂන් සභාවට පැමිණිලි කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් පැවැති පරීක්‍ෂණයෙන් අනතුරුව වහාම තම කොමිෂන් සභාවට හා ඉල්ලුම්කරුට එකී වාර්තාවේ පිටපත් ලබාදෙන ලෙසට 2021 සැප්තැම්බර් 24 වැනිදා තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව නියෝග කොට තිබිණි.

තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ හිමාලි කුලරත්න මහත්මිය පෙනී සිටියාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment