අදහස් දැක්වීමට දෙපැත්තේම මන්ත්‍රීලා නැතිව මැති සභා විවාදය අතරමග නවතී

24

ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්ෂයේද මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමට සභාවේ නොසිටීම නිසා ඊයේ (02දා) පස්වරු 01ට පමණ පාර්ලිමේන්තු විවාදය අතරමග නවතා දැමීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට සිදුවිය.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝගය, එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සම්මත කිරීම සඳහා ඊයේ විවාදය පැවැත්විණි. එහෙත් එම විවාදයේ අදහස් දැක්වීමට කථිකයන් නොමැති වීම හේතුවෙන් සභාවේ කටයුතු පස්වරු 04 දක්වා තාවකාලිකව අත්හිටුවීමට නියෝජ්‍ය කථානායකවරයා පියවර ගත් අතර විවාදයේ අදහස් දැක්වීමට සභාවේ නොසිටි මන්ත්‍රීවරුන්ගේ නම් ද නියෝජ්‍ය කථානායක විසින් කියවනු ලැබීය.

ඒ අනුව විපක්ෂයේ ආචාර්ය හර්ෂ ද සිල්වා, එම්.ඒ.සුමන්දිරන්, විජිත හේරත්, පාඨලී චම්පික රණවක, නිරෝෂන් පෙරේරා, එස්.එම්.මරික්කාර්, මහාචාර්ය චරිත හේරත්, ගාමිණී වලේබොඩ, නාලක ගොඩහේවා, තුෂාර ඉඳුනිල් අමරසේන, වේලු කුමාර්, උදය කුමාර්, චාර්ල්ස් නිර්මලනාදන්, සෙල්වරාසා කජේන්ද්‍රන්, වීරසුමන වීරසිංහ.

ආණ්ඩු පක්‍ෂයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර, ආචාර්ය සුරේන් රාඝවන්, එම්.එම්.මුෂාරෆ්, බන්දුල ගුණවර්ධන, වඩිවේල් සුරේෂ්, ෂෙහාන් සේමසිංහ යන මැති ඇමැතිවරු සභාවේ නොසිටියහ.

මෙම විවාදයේදී රංජිත් සියඹලාපිටිය, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්, නලීන් ප්‍රනාන්දු, ගයන්ත කරුණාතිලක, අනුර ප්‍රියදර්ශන යාපා, රවුෆ් හකීම්, සරත් කුමාරසිරි, ඒ.එච්එම්.හාරිස්, දිලුම් අමුණුගම යන මැති ඇමැතිවරු අදහස් දැක්වූහ.

එම විවාදය පැය එකහමාරකටත් වඩා අඩු කාලයක් පැවැත්විණි. පස්වරු 4ට සභාව නැවත කැඳවූ අතර විපක්ෂය විසින් ගෙන එනු ලැබූ සභාව කල් තැබීමේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්විණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment