මහාචාර්ය සෙනරත් පරණවිතානයන් එදා ලියූවකි

ලංකාවේ අතීත යුගයේ පැවැති සෞඛ්‍ය නීති රීති

මිහින්තලයේ ආරාමයට යාබදව පිහිටි ආරෝග්‍ය ශාලාවේ නෂ්ටාවශේෂ හඳුනාගන්නා ලද්දේ එහි වූ ශිලා ලේඛලනයේ ආධාරයෙනි. ඒ ආරෝග්‍ය ශාලාව සම සතරැස් මැද මිදුලකිනුත් ඒ මැද පිහිටි කුඩා වෙහෙරකිනුත් යුක්ත වූයේය. එහි සතර පස මැදමිදුලට මුහුණලා නේවාසිකාගාර පිහිටියේය.

බෙල් මහතා විසින් ඒ නෂ්ටාවශේෂ විස්තර කරනු ලබන්නේ මෙසේය.

“දක්ෂිණ දිශාභිමුඛව ගොඩනංවා තිබුණු මේ ආරෝග්‍ය ශාලාව තනා තිබුණේ ක්‍රමානුකූලවත් ආයාතාකාරයෙනුත්ය. එහි බටහිර සිට නැඟෙනහිරට විහිදී බිත්තියක දිග අඩි 118කුත් අඟල් 6කි. එහි පුළුල් බිත්තියක දිග අඩි 97 හමාරකි.

“මෙසේ තනා තිබීම නිසා ඒ බිත්ති ගඩොලුවලින් කළ හරස් බිත්තිවලින් ආගාරවලට බෙදිය හැකි විය. එක් පසෙක ආගාර සතක් වූයේය. දෙකොනෙහි වූ ආගාර දෙකින් එකක ප්‍රමාණය මැද පිහිටි ආඝාර පහෙන් එකක ප්‍රමාණය මෙන් දෙගුණයක් වූයේය. එහි පශ්චාද්භාගයෙහි ආගාර නවයක් වූයේය.

“ඉදිරිපස බිත්තියේ මැද කොටසෙහි දොරටුව සඳහා ඉඩ හැරුණු හෙයින් ඒ දොරටුවේ එක් පසෙක වූ ආගාර සංඛ්‍යාව හතරකට සීමා වූයේය. ඒ හැම ආගාරයක්ම මැදමිදුලෙහි වූ වෙහෙර දෙසට මුහුණ ලා පිහිටියේය. සම සතරැස් වූ ඒ ආගාරයක පැත්තක දිග අඩි දහයක් වූයේය. ඒ ආගාර පෙළෙහි ඉදිරිපස පටු වරණ්ඩයක් වූයේය.

බෙහෙත් ඔරු

ලංකාවේ අතීත යුගයේ පැවැති සෞඛ්‍ය නීති රීති
මිහින්තලය

“මේ සම සතරැස් ගොඩනැඟිල්ලෙහි ඊශාන දෙස ඔරුවක් වැනි භාජනයක් වේ. තනි ගලින් නෙළන ලද මෙය ශරීරයෙහි හැඩයට සුදුසු වන සේ තනා ඇත්තේය.”

ථූපාරාමය අසල පිහිටි ස්වරූපයෙන් මිහින්තලේ ආරෝග්‍ය ශාලාවට සමාන වූ ගොඩනැඟිල්ලක් ද ගලින් කළ මෙවැනි භාජනයක් ඇත්තේය. එවැනි තවත් භාජනයක් මැදිරිගිරියේ ද තිබී සොයාගෙන ඇත්තේය. දසවැනි ශත වර්ෂයෙහි එහි ද එවැනි ආරෝග්‍ය ශාලාවක් තිබුණු බැව් පෙරකී ශිලා ලේඛනයෙහි සඳහන් වේ.

මේ භාජන සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ “බෙහෙත් ඔරු” වශයෙනි. විනය පිටකයෙහි හා වෙනත් බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථයන්ගෙනුත් අපට දැනගත හැක්කේ වාතාබාධා දී ඇතැම් රෝගවලින් පෙළුණු රෝගීන් මේ ඔරුවල බෙහෙත් ජලය පුරවා එහි හොවන ලද බවය. එවැනි ඔරු පැරණි ලංකාවේ ආරෝග්‍ය ශාලාවල තිබිය යුතුම වූයේය.

ඇතැම් තැන්වල ඒ ඔරු තනන්නට ඇත්තේ ගල් පමණ කල් නොපවත්නා දේවලින් විය හැකිය. මේ ඔරු සොයාගන්නා ලද තැන් අතීත යුගයේ ආරෝග්‍ය ශාලා පිහිටි තැන් බැව් අපට ස්ථිර වශයෙන්ම නිගමනය කළ හැකිය. අතීත යුගයේ ආරෝග්‍ය ශාලාවන්හි රෝගීන්ට පිළියම් කරන ලද ආකාරය සවිස්තර ලෙස දැනගත නොහේ. එහෙත් ඒ ප්‍රතිකාර ක්‍රමය සාමාන්‍ය වශයෙන් ආයුර්වේද ක්‍රමයට අනුකූල වූ බැව් අපට පිළිගත හැකිය. මේ ආරෝග්‍ය ශාලාවන්හි ප්‍රතිකාර ලැබූ රෝගීන්ට සාත්තු කළ ස්ත්‍රී-පුරුෂ උපස්ථායකයන්ට ගම්වර ප්‍රදානය කරන ලදී.

වෙහෙර විහාරවලට යාබදව පිහිටි ආරෝග්‍ය ශාලාවන්හි රෝගීන්ට ප්‍රතිකාර කරන ලද්දේ භික්‍ෂුන් වහන්සේලාට ප්‍රතිකාර කළ යුතු ආකාරය කියන විනය පිටකයේ අනුදැනීම්වලට එකඟව යැයි සිතිය හැකිය.

උපස්ථායකවරු

විනය පිටකයේ දීර්ඝ පාඨයකින් කියවෙන්නේ බේත් වර්ග ගැනය. විවිධ වර්ගයේ බේත් පැළෑටි හා ප්‍රතිකාර වර්ගත් එහි සඳහන් වේ. ඇතැම් විට භික්‍ෂුන් වහන්සේම උපස්ථායක සේවයෙහි යෙදෙන්නට ඇත. එසේ කිව හැක්කේ තමාට උපස්ථාන කරනු කැමැත්තන් රෝගීන්ට උපස්ථාන කරත්වායි කියූ බුදු හිමියන් විසින් රෝගීන්ට උවතැන් කරන භික්‍ෂුන් වහන්සේට අවවාද කළ බැව් විනය පිටකයෙහි සඳහන් වන හෙයිනි.

රෝගීන්ට උපස්ථාන කරන්නවුන් කෙරෙහි පිහිටා තිබිය යුතු ගති පහක් ද බුදු හිමියෝ දක්වති.

  1. බෙහෙත් නියම කළ හැකි විය යුතුය.
  2. රෝගීන්ට සුදුසු නුසුදුසු දේ මේ යැයි ඔහු දැන සිටිය යුතුය.
  3. ඔහු විසින් රෝගීන්ට උවටැන් කළ යුත්තේ මෛත්‍රී පෙරටුව මිස ගිජු බවින් නොවේ.
  4. ඕනා කෙළ, වැමෑරුම් ආදී දේ ඉවතලීමෙහි ඔහු පිළිකුල් කළ යුතු නොවේ.
  5. ඔහු විසින් වරින් වර රෝගියාට ආගමික උපදේශ දිය යුතු ද වන්නේය.

පැරණි දඹදිව හා පැරුණි ලංකාවේ පෞද්ගලික සනීපාරක්ෂාව ආගමික කාර්යයක් මෙන්ම වෛද්‍ය ශාස්ත්‍රයට අයත් කාර්යයක් ද වූයේය. පෞද්ගලික ස්වස්ථතාව ගැන ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන් වන නීති රීති සමූහය, එදිනෙදා දිවි පෙවෙතේදී පිරියයුතු වත් පිළිවෙත් හා ආගමික නීති රීතිත් ගැන ගෘහ්‍ය සූත්‍ර හා මනු නීතියෙනුත් කියනු ලබන නීති රීතිවලට බොහෝ සේ සමානය.

දත් මැදීම් හා ස්නාන දෝවනාදිය ගැනත්, පෞද්ගලික සෞඛ්‍ය සංරක්ෂණය සඳහා කළ යුතු දේ ගැනත් ස්ථිර නීති රීති ලියා තබා ඇත්තේය.

එසේම විනය පිටකයෙහි මේ කරුණු ගැන නීති රීති රාශියක් ඇත්තේය. ඒවාට පටහැනි සේ හැසිරීම සුළු වශයෙන් හෝ විනය රීති කඩ කිරීමකැයි ඒ සඳහා උචිත දඬුවම් ලැබිය යුතු යැයි ද කියන ලදී. මේ නීති රීති පිළිබඳ විස්තරයක් මෙහිදී අනවශ්‍ය ය. ඒවා මුල් පොතින්ම උගත හැකි ය. මේ ග්‍රන්ථය ඉංගිරීසියට ද පරිවර්තනය කොට තිබේ.

නීති රීති

මේ නීති රීති සමූහය ලංකාවේ හැම කෙනකුන් විසින්ම අනුගමනය කරනලදැයි අපට කිව නොහැකිය. එහෙත් අනුරාධපුර හා වෙනත් පැරණි නගරවල ඇති විහාරාරාමයන්ගේ නෂ්ටාවශේෂ විමසා බැලීමේදී අපට පැහැදිලිවන්නේ භික්‍ෂුන් වහන්සේලා නම් ඒ නීති රීති පිළිපදින්නට උත්සුක වූ බවය. විහාර තැනීමේ දී සෞඛ්‍ය සංරක්‍ෂණය ගැන විශේෂ උනන්දුවක් දක්වන ලදී. මේ ස්ථානයන්හි ඉතා මහත් පරිශ්‍රමයෙන් ස්නාන දෝවනාගාරාදිය තනන ලද බැව් ඒ නෂ්ටාවශේෂයන්ගෙන් දැනගත හැකිය.

අනුරාධපුර, පොළොන්නරු දෙනගරයෙහි නටබුන් අතර නාන පොකුණු ඇත්තේය. නගරයෙහි ඒ ඒ තැනට ජලය බෙදා දෙන පිණිස යොදන ලද මැටියෙන් කළ ජල නළ පොළොන්නරු නගරයේ නෂ්ටාවශේෂ අතර තිබී සොයා ගන්නා ලදී.

පානය සඳහා යහපත් ජලය ලබා ගැනීමට පැරණි සිංහලයන් විසින් දක්වන ලද සැලකිල්ල ලංකාවේ පැරණි නගරයන්හි නටබුන් අතර තිබී සොයා ගන්නා ලද පැරණි ළිං සමූහයෙන් දැනගත හැකිය.

ඒවා ගඩොලින්, මැටියෙන් හෝ කළු ගලින් තනා තිබිණි. පර්වතයක අඩි තිස් හයක් ගැඹුරට කණින ලද ළිඳක් රජ මාලිගයක් අසල තිබී නොබෝදා සොයා ගන්නා ලදී. එහි පතුලේ පැති ගලිනුත්, උඩ කොටසෙහි බිත්ති ගඩොලිනුත් නිමකොට තිබිණි. ළිඳෙහි පතුල දක්වාම ගලින් තනන ලද පියගැට පෙළක් වූයේය. ළිඳ පියස්සකින් ආවරණය කොට තිබිණැයි සිතිය හැක.

අනුරාධපුරයේත්, පොළොන්නරුවේත් ලංකාවේ වෙන අනික් නගරවලත් තිබී නාන පොකුණුවල නෂ්ටාවශේෂ සොයාගෙන තිබේ. කලාත්මක කෘති වශයෙන් මේවායේ ඇති අගය හැරෙන්නට පිරිසිදු ජලය ඒවාට ලබාගන්නා පිණිස යොදා තිබුණු ක්‍රම විසිනුත් ඒවා සිත්ගත්තේය. ජලය ලබාගන්නා ලද්දේ ඒ අසල පිහිටි වැව්වලින් හා ජලාශවලිනුත්ය.

ඒ සඳහා ගලින් හෝ මැටියෙන් හෝ කළ නළ පොළොව යට සවිකොට තිබිණි. අවශ්‍ය වූ විටෙක නාන පොකුණු හිස් කරනු පිණිස ජලය ගලා යන සොරොව් ගලින් තනා තිබුණේය.

මහජනයාගේ සෞඛ්‍ය සංරක්ෂණය සඳහා අවශ්‍ය විධි විධාන ද නොඅඩුව ක්‍රියාවේ යෙදිණි. ක්‍රිස්තු යුගයෙන් පෙර හතරවන ශත වර්ෂය පමණේ දී රජ පැමිණි පණ්ඩුකාභය රජ සමයෙහි පවා නගරයේ වීථි කුණු කසළින් තොරව තබා ගන්නා පිණිස පන්සියයක් දෙනා පත්කොට තිබිණැයි මහාවංශය කියන්නේය.

ලංකාවේ අතීත යුගයේ පැවැති සෞඛ්‍ය නීති රීති

නගර ගුත්තික

නගරයේ සෞඛ්‍ය සංරක්‍ෂණ කටයුතු භාරව සිටියේ නගර ගුත්තික නම් නිලධාරියෙකි. මේ රජුන් සමයෙහි ඒ නිලය දරන ලද්දේ පඬු අබාවන්ගේ මයිලණු කෙනෙකුන් විසිනි. මේ නිලය පැවැති බැව් ක්‍රිස්තු යුගයෙන් පෙර ශිලා ලේඛනවලිනුත් දැනගත හැකිය.

මේ නගර ගුත්තික ධුරයට සමානව වූ නිලයක් ගැන කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයෙහි ද පැවැසේ. මහ ඇලෙක්සැන්ඩරයන්ගේ කනිෂ්ඨ සමකාලින යකු වූ චන්ද්‍රගුප්ත යන ඇමැතියකු විසින් රාජ්‍ය පාලනය ගැන සංස්කෘතයෙන් ලියනල ද මේ ග්‍රන්ථයෙහි එන ආකාරයට ඒ නිලධාරියා සතු කාර්යය වූයේ රජුගේ අගනුවර වැසි ජනයාගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සැලසීමත් ඒ සඳහා අවශ්‍ය නීති රීති ක්‍රියාවේ යෙදවීමත්ය.

සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ නීති රීති කිහිපයක් මෙසේය.

“වීථියකට කුණු කසළලන තැනැත්තකුට දඬුවම දඩයකි.

“මහ මඟ දිය රැඳෙන්නට හෝ වගුරු සැදෙන්නට හෝ ඉඩ සලස්වන්නකුට දඩ ය.

“පෙර කී පරිද්දෙන් රාජවීථිය කෙලෙසන තැනැත්තකුට ඒ මෙන් දෙගුණයක් වූ දඩ ගෙවන්නට සිදු වේ.”

මේ නීති – රීති සහිත සංස්කෘත ග්‍රන්ථය ලාංකිකයෝ දැන සිටියහ. එපමණක් නොව රජවරු සිය ප්‍රතිපත්ති සකස් කොට ගත්තේ ද එහිවූ නියමයන්ට අනුවය. පසුව මහා පාලකයකුත්, සංග්‍රාමිකයකුත්, නිර්මාතෘවරයකුත් වූ පැරකුම් කුමරුන් විසින් ලබන ලද අධ්‍යාපනයෙහි ද මේ පෙර කී ග්‍රන්ථ උගැන්ම ඇත. ඒ වූ බැව් වංශකතාකියන්නේය.

සමාජයේ සාමූහික සෞභාග්‍යය සඳහා මේ සෞඛ්‍ය නීති රීති ක්‍රියාවේ යෙදවීම පැරණි දඹදිව හා පැරණි ලංකාවේත් රජය විසින් අනුදන්නා ලද බව මේ පාඨයන්ගෙන් දැනගත හැකි වේ.

(මේ ලිපිය “ලංකාවේ ඓතිහාසික සංග්‍රහය” නම් ත්‍රෛමාසික සඟරාවේ පළවූ ලිපියක් ආශ්‍රයෙන් සකස් කර ගන්නා ලදී.)

advertistmentadvertistment
advertistmentadvertistment