රුසියාව සහ ලෝකය

632

මේ දිනවල ලෝක දේශපාලනය තුළ කතාවන ප්‍රධාන මාතෘකාව වන්නේ රුසියානු ජනාධිපතිවරණයයි. මනුෂ්‍ය වර්ගයාගේ අවධානය වැඩි වශයෙන් දිනා ගත් මැතිවරණයක් ලෙස මෙය හඳුනාගත හැකිය. 2024 වර්ෂය යනු ලෝකයේ කෝටි 800 ක් පමණ වන මනුෂ්‍ය ජනගහනයෙන් කෝටි 500ක් පමණ ජනතාව ඡන්දය භාවිතා කරන මැතිවරණ වර්ෂයකි.

රුසියාව සහ ලෝකය

ඒ අතරින් රුසියානු ජනාධිපතිවරණය ලෝකයේම අවධානය දිනාගත් මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය. මේ ඒ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සමග සිදුකළ සාකච්ඡාවකි.

2000 වර්ෂයේදී පළමුවරට රුසියාවේ ජනාධිපතිවරයා වූ ව්ලැඩිමීර් පුටින් මෙවර රුසියාවේ ජනාධිපතිවරයා වන්නේ 5 වැනි වතාවටය. මෙවර ධුර කාලය අවසාන කිරීමෙන් පසුව ඔහු රුසියාවේ වැඩිම කලක් බලය හෙබවූ රාජ්‍ය නායකයා බවට පත් වේ. ඔහුගේ දේශපාලන ඉතිහාසය මීට වසර 30කට 35 කට පෙර පැවති සෝවියට් දේශය දක්වා දිව යයි. ව්ලැඩිමීර් පුටින් රුසියාවේ ජනාධිපති වීමට පෙර යුරෝපයේ ජර්මනු කලාපය භාරව හිටපු ප්‍රධාන නිලධාරියා විය. එබැවින් ඔහුට සෝවියට් ඉතිහාසය සහ සෝවියට් අත්දැකීම් මෙන්ම ඒ තුළින් ලැබූ ශික්ෂණයත් හිමි විය. එකල ලෝකයේ පැවතියේ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ලිබරල් ධනේෂ්වර ක්‍රමයක් සහ අනෙක් පැත්තෙන් සෝවියට් සංගමය කේන්ද්‍ර කරගත් පෙරදිග කොමියුනිස්ට්වාදී ලෝක ක්‍රමයකි. සෝවියට් දේශය යනු ලෝක භූමියෙන් 1/6 කි. එය භූ දේශපාලනිකව, භූ ආර්ථිකව මෙන්ම සංස්කෘතික වශයෙන් වැදගත් වූ බලවත් රාජ්‍යයකි. නමුත් මෙම ක්‍රම දෙක අතර පැවැති සටනේ ප්‍රතිඵලයක් ලෙස සෝවියට් සංගමය බිඳ වැටී සෝවියට් දේශය සකස් වී තිබුණු රාජ්‍ය 15 වෙන් වී ගොස් ඒවා ස්වාධීන රාජ්‍යයන් බවට පත් විය. පසුව පැවති ද්වී ධ්‍රැවීය ලෝක රටාව වෙනුවට ඒක ධ්‍රැවීය ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගත් ලෝක රටාවක් නිර්මාණය වූවේය. සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසුව රුසියාවේ ජනාධිපතිවරයා වූයේ බොරිස් යෙල්ස්ටින් මහතාය. ඔහුගේ පාලන සමය තුළ රුසියාව විශාල පසුබෑමකට ලක් වූයේ තුන්වන ලෝකයේ රටකටත් වඩා ආර්ථික, සමාජීය, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් පසුබෑමකට ලක් වෙමිනි. අනතුරුව බලයට පත්වූ ජනාධිපතිවරයා වන්නේ ව්ලැඩිමීර් පුටින්ය. සෝවියට් සංගමය බිඳ වැටීමත් සමග ඔහුගේ අනාගත දේශපාලන දැක්ම, ගමන්මග සකස් විය. ඉතා දක්ෂ නායකයකු වූ ඔහු බරපතල පසුබෑමකට ලක්ව තිබූ රුසියාව යළි නඟා සිටුවීමට කටයුතු කළේය. එදා සිට අද දක්වා රුසියාවේ පූටීනියානු පාලනයක් ගෙනයමින්, ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සමග කරට කර තරගයක් ගෙන යමින් රුසියාවේ ප්‍රබලත්වය සහ ස්වාධීනත්වය රැකගැනීමට ජනාධිපති පුටින් කටයුතු කරමින් සිටී. දැනට ලෝකයේ සිටින ප්‍රබලතම රාජ්‍ය නායකයෙක් ලෙස ව්ලැඩිමීර් පුටින් හඳුනාගත හැකිය. ටයිම්ස් සඟරාව මගින්ද කිහිප වතාවක්ම ලෝකයේ වඩාත් බලපෑම් සහිත පුද්ගලයෙක් ලෙස ව්ලැඩිමීර් පුටින් නම් කර තිබේ.

පුටින් ඡන්දය ඉල්ලා සිටින සෑම අවස්ථාවකදීම විශාල ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. මෙවරද රුසියානු ජනාධිපතිවරණය සඳහා 77 % ක ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කොට තිබේ. ලෝකයේ වැඩිම අවධානයක් දිනා ගන්නා ඇමෙරිකා එක්සත් ජනපදයේද වැඩිම ඡන්ද ප්‍රමාණයක් ප්‍රකාශ කර තිබුණේ 2020 වර්ෂයේදීය. එය 66%කි. ඊටත් වඩා වැඩි ප්‍රමාණයක ඡන්ද දායකයින් ප්‍රමාණයක් රුසියානු මැතිවරණය සඳහා මෙවර ඡන්දය ප්‍රකාශ කොට තිබේ. ඉන් 87.29% ක අති විශාල ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පුටින් නැවත වරක් රුසියානු ජනාධිපතිවරයා වශයෙන් මෙවර පත්විය. දැනට ලොව පුරා උද්ගතව තිබෙන භූ දේශපාලනික, භූ ආර්ථික, භූ සංග්‍රාමික පසුබිම තුළ පුටින් දරන ස්ථාවරත්වය මෙන්ම මානව වර්ගයාගේ අනාගතය සම්බන්ධයෙන් ඔහුගේ දැක්ම තවදුරටත් සාධනය කිරීමක්, අවකාශය ලබා දීමක්, හා ලෝක මට්ටමේ අනුමත කිරීමක් මෙම ජයග්‍රහණය තුළ අන්තර්ගත වේ. එය ඔහුගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ලෝක නායකයින්, විශේෂයෙන්ම ලතින් අමෙරිකානු, අප්‍රිකානු, ආසියානු කලාපවල නායකයින් එක් කළ සුභාසිංශන මගින් පැහැදිලි වේ.

ස්කොට් රීටර් නම් ඇමෙරිකානු හිටපු බුද්ධි සේවා නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ මෙම ජයග්‍රහණය රුසියානුවෝ සිය රාජ්‍ය සඳහා දුන් ජයග්‍රහණයක්, රුසියානු ක්‍රමය සඳහා දුන් ජයග්‍රහණයක් සහ අනාගතය වෙනුවෙන් දුන් ජයග්‍රහණයක් බවයි. සුවිශේෂීත්වය වන්නේ මෙසේ පවසා සිටියේ ඇමරිකානුවෙක් වීමයි. නමුත් මෙම ජයග්‍රහණය, නැති වී යන පශ්චාත් ලිබරල්වාදී ක්‍රමය පවත්වාගෙන යෑමට කැසකවන ඇමරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍ය, ජර්මනිය සහ ප්‍රංශය වගේ රටවලට සතුටුදායක තත්ත්වයක් නොවේ. උදාහරණයක් ලෙස බි්‍රතාන්‍යයේ ඩේවිඩ් කැමරන් රාජ්‍ය නිලධාරියා පුටින්ගේ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ එය නොනිදහස් සහ අසාධාරණය මැතිවරණයක් බවයි. එබැවින් ඒකාබද්ධ බටහිරට අත් වූ විශාල පරාජයක් ලෙස පුටින්ගේ මෙම ජයග්‍රහණය පෙන්වා දිය හැකිය.

අපි මේ ජීවත් වන්නේ මීට අවුරුදු 100කට පෙර පැවැති ලෝක ආර්ථික මොඩලය, දේශපාලනික රටාව හා තාක්ෂණික මොඩලය වෙනස් වෙමින් පවතින සංක්‍රාන්තික යුගයකය. එම පැවැති ආකෘතිය අද වන විට විශාල අර්බුදයකට ලක්ව තිබේ. විශේෂයෙන්ම ලෝක ධනේශ්වරය, මූල්‍යවාදය ස්වරූපයෙන් තමන්ගේ සංවර්ධනය අවසන් කරගෙන තිබේ. එබැවින් 21 වන ශත වර්ෂය වන විට එකී ක්‍රමය රැක ගැනීමට සහ අලුතින් ඇති වීමට යන නව ක්‍රමය අවහිර කිරීමට බොහෝ ප්‍රතිගාමීන් සහ මානව සංහතියට විරෝධී බලවේග උත්සාහ කරමින් සිටී. මින් පැහැදිලි වන්නේ මේ වන විට ලෝකය ප්‍රධාන කඳවුරු දෙකකට බෙදී ඇති බවයි. 2007 දී ජර්මනියේ මියුනිච් නගරයේ පැවැති ලෝක ආරක්ෂණ සමුළුවකදී ඒක ධ්‍රැවීය ලෝක රටාවක් තුළ ජනතාව පීඩාවට සහ අසාධාරණයට ලක් වන බවත් එය රාජ්‍යයන්හි ස්වෛරීත්වයට, සංස්කෘතික අනන්‍යතාවයන්ට, මනුෂ්‍ය ජාතීන්ට, ජාතික අනන්‍යතාවන්ට, අධ්‍යාපනයට බාධා පමුණුවන බවත් පෙන්වා දෙමින් පුටින් පවසා සිටියේ විෂම ධ්‍රැවීය ලෝක රටාවක අවශ්‍යතාවයයි. නමුත් එම ප්‍රකාශය හේතුවෙන් ඒකාබද්ධ බටහිර සමග රුසියාවේ යම්කිසි විභේදනයක් ඇති වූවේය. එම ප්‍රතිගාමීන්ට රුසියාවේ ව්ලැඩිමීර් පුටින් මේ ලබා ගත් ජයග්‍රහණය අභියෝගයක් සේම තර්ජනයක් ද වේ. දැනට පවතින ඒක ධ්‍රැවීය ලෝක රටාව තුළ මුළු මනුෂ්‍ය වර්ගයාගෙන් 90% ක් පමණ දැවැන්ත පීඩාවකට සහ අසාධාරණයකට ලක්ව තිබේ. ලෝකයේ බොහෝ රටවල්වලට තම ආර්ථික, සමාජීය, දේශපාලනික හා සංස්කෘතික අනන්‍යතාවය අහිමි වී තිබෙන අතර ඔවුන් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ පවතින ඒක ධ්‍රැවීය ලෝක රටාව වෙනුවට බහු ධ්‍රැවීය නොඑසේ නම් විෂම ධ්‍රැවීය ලෝක රටාවකි. තමන්ට අභිමත පරිදි තමන්ගේ ආර්ථිකය, සමාජය, සංස්කෘතිය හා රාජ්‍යය සංවර්ධනය කර ගත හැකි, තම රාජ්‍යයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගත හැකි ලෝක රටාවක් ඔවුන් ඉල්ලා සිටී. එවැනි මානව සමාජයක පරිණාමය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන නායකයකු ලෙස ව්ලැඩිමීර් පුටින් වැදගත් වේ. මේ නිසා පුටින් ලබා ගත් මෙම ජයග්‍රහණය රුසියානු ජනතාව ලබා ගත් ජයග්‍රහණයක් පමණක් නොව ලෝකයේ සමස්ත ප්‍රගතිශීලී මානව වර්ගයාගේම ජයග්‍රහණයකි.

19 වන සියවසේ ප්‍රධාන මුදල් ඒකකය බවට පත් වූයේ ඩොලරයයි. එදා සිට අද දක්වාම ලෝකයේ මූල්‍ය ගනුදෙනු සිදු කරන මුදල් ඒකකය වන්නේ ඩොලරයයි. මීට අවුරුදු තුනකට පෙර ලෝකයේ වෙළෙඳ ගනුදෙනුවලින් 97% ක් පමණ සිදු වූයේ ඩොලරය මගින්ය. නමුත් අද වන විට එය 57% ක් දක්වා අඩු වී තිබේ. මෙය “නිර්ඩොලරීකරණය” ලෙස හඳුන්වනු ලැබේ. බොහෝ රටවල් වර්තමානය වන විට ඩොලරයෙන් ගනුදෙනු කිරීම නවතා තමන්ගේ රටේ මුදල් මගින් ගනුදෙනු කිරීමට යොමුවී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඇමෙරිකානු ආර්ථික ආධිපත්‍යය ක්‍රමානුකූලව ලෝක ආර්ථිකයෙන් අඩුවී යමින් පවතී. එබැවින් ඔවුන් ඩොලරයේ ආධිපත්‍යයන් පවත්වා ගැනීම සඳහා තෝරාගන්නා මාර්ගය වන්නේ යුද්ධයයි. රුසියාව සහ NATO සංවිධානය අතර සෘජු සටනක් පෘථිවිය තුන්වන ලෝක යුද්ධයකට ආසන්න කරවන සිදුවීමක් බවට පත්වනු ඇති බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තම ජයග්‍රහණයෙන් පසුව පවසා සිටියේය. ඉන් අදහස් වන්නේ බටහිර රටවල්වල විවිධ ප්‍රකෝපකාරී ක්‍රියාවන්ගෙන් රුසියාවේ ජාතික ආරක්ෂාවට යම්කිසි හානියක් සිදු වුවහොත් එය පෘථිවිය තුන්වන ලෝක යුද්ධයක් දක්වා ගෙන යා හැකි බවයි. පසුගියදා රුසියාවේ මොස්කව් නුවර සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය ද මෙම ගැටුම්වල ප්‍රතිඵලයක් විය හැකිය. සත්‍ය වශයෙන්ම රුසියාව තම ආත්ම ආරක්ෂාව සඳහා න්‍යෂ්ටික යුද්ධයකට වුවද යොමු වීමට හැකිය. එවැනි යුද්ධයකට යොමු වුවහොත් මනුෂ්‍ය වර්ගයාම විනාශ වී යෑම කිසිවෙකුටත් වළක්වාලිය නොහැකිය. න්‍යෂ්ටික යුද්ධයකට යොමු වීමෙන් ජයග්‍රහණය කරන හෝ පරාජය කරන පාර්ශ්වයක් ඉතිරි වන්නේ නැත. ඒ දෙකටම අයත් නොවන පාර්ශ්වයන්ද ඉතිරි වන්නේ නැත. එබැවින් එවැනි යුද්ධයකට අත ගැසීම ඉතාමත් අවදානම් තත්ත්වයකි. ඇතැම් විට එම යුද්ධය මනුෂ්‍ය වර්ගයාගේ අවසානය ද විය හැකියි.

ශ්‍රී ලංකාව වුවත් වර්තමානයේ මේ මතු වී තිබෙන භූ දේශපාලනික, භූ සංග්‍රාමික යථාර්ථය නිසි ලෙස අවබෝධ කරගෙන නොමැති බවක් දැක ගත හැකිය. උදාහරණයක් ලෙස මෙවර පැවැති රුසියානු ජනාධිපතිවරණයෙන් ව්ලැඩිමීර් පුටින්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සුභාසිංශන එක් කිරීමක් හෝ පසුගිය දා Crocus City Hallහි සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කිරීමක්වත් නිසි ආකාරයකින් ශ්‍රී ලංකාව සිදු කර නොමැත. නමුත් ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනය සිදු වූ අවස්ථාවේදී රුසියාව තම සහයෝගය ශ්‍රී ලංකාවට දැක්වූ අතර ජිනීවාහි මානව හිමිකම් කොමිසම ඉදිරියට යෝජනා ගෙන එමින් ඇමෙරිකාව ශ්‍රී ලංකාව අපහසුවට පත් කළ අවස්ථාවලදී ද පුටින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ගෞරවය සහ ආරක්ෂාව සඳහා පෙනී සිටියේය. මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාව රුසියාව සමග එතරම් මිත්‍රශීලී සම්බන්ධතාවක් නොපවත්වන බවයි. නමුත් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාව තුලනාත්මක සහ සාධාරණ දෘෂ්ටිකෝණයකින් ලාංකීය ජාතික වුවමනාවන්වලට වැදගත් වන පරිදි මෙවැනි අවස්ථාවල දී ප්‍රතිචාර දැක්වීම ඉතාමත් වැදගත්ය.

සකස් කළේ කෞෂාණි පල්ලියගුරු
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment