අන්නාවිරාළ

153

අන්නාවි රාළ කොළමට ප්‍රතිචාර දක්වන ඇතැම් පියතුමන්ලා කතා කර සිදුකරනු ලබන ස්තූතිවලට අන්නාවි රාළ හැටියට මට කියන්න ඇත්තේ ජේසු පිහිටයි කියාය. මේ වැනි දේ සෑම සතියකම සඳහන් කරන්නේ තරහින් නොවේ. තරහා, මරහා පැත්තකට විසිකර ජේසුගේ නාමයෙන් අපි සන්සුන්ව කටයුතු කරමු.

දැන් ඔය අන්නාවි නාමය පට බැඳුනාට ඉස්සර හැඳින්වූයේ මුප්පු රාළ කියාය. ඒ කාලයේ චතාරිකයට පසන් ගායනා පටන් ගන්නේ මුප්පු රාළගේ මූලිකත්වයෙනි. කෙසේ හෝ මුප්පු රාළ අන්නාවි රාළ වුවද සේවය එදා පැවති පරිද්දෙන්මය. අද අන්නාවි රාළ අමතන්නේ නමින් වීමද කාලයත් සමග පැමිණි තවත් වෙනසකි. කතෝලිකයන් හැටියට ඉතිහාසයද අපට වටිනේය.

කොහොම උනත් අප අතින් වන වැරදි පිළිබඳව අදත් අපි කතා කරමු. පසුගිය දිනක කාන්තා පාර්ශවයෙන් පල්ලියට වන සේවය පිළිබඳව ආඩම්බරයෙන් කතා කළද පිරිමි පාර්ශවයද ඒ හා සමානවම සිදුකරනා සේවය දෙවියන් වහන්සේට ප්‍රසන්නවම බැව් සඳහන් කරමු.

මංගල්‍යයට කොඩි ගසේ කොඩි එල්ලන්නේ කාන්තාවන් වුවද කොඩි ගහ ඉහළට ඔසවන්නේ පිරිමි පාර්ශවයය. එය භාරදූර කටයුත්තකි. ඊට අමතරව තොරණ ඉදිකරනුයේද තරුණ ගැටව්ය. මේ අතින් බලනවිට පල්ලියේ සේවයට වයස් භේදයක් නැත.

දිව්‍ය පූජාවේදී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වඩම්වන විට උන්වහන්සේව දොහොත් මුදුන් දී වන්දනා කර දණ ගසා ගෞරව දැක්වීම කිතුණුවන්ගේ යුතුකමකි. වගකීමකි. එය අප පව් උදෙසා දිවිපිදූ ස්වාමීන් වහන්සේට දක්වනා උත්තුංග පූජාවකි.

ඒ ඒ වේලාවන්වලට පල්ලියේ සීනුව නාද කිරීම අන්නාවි තැන හිටියට මට පැවරී ඇති තවත් වගකීමකි. එය උදෑසන, දහවල හා සවස් යාමය ලෙස තුන් වරකට සභාව විසින් වෙන්කර ඇත. මීසම් වාසීනට කිතුණු අවමංගල්‍යයක් දැනුම් දීමට විශේෂ වූ නාද ක්‍රමයක් ඇත. දහවල සීනුව නාද කිරීම හඳුන්වන්නේ තිරින්දාදිය යන ලතින් නාමයෙනි.

ආදියේ දිව්‍ය පූජාව පැවැත්වූයේ ප්‍රංශ ජාතික, පිලිපීන ජාතික පූජකතුමන්ලාය. ඒ ලතින් භාෂාවෙනි. මේ නිසා අන්නාවි තැනට හා ගීතිකා කණ්ඩායමට ලතින් භාෂාව පිළිබඳව විශේෂ දැනුමක්ද තිබිය යුතුය. එකල එය මොනවට විදහා දැක්වීද? එකල ලතින් පූජාවේ තිබූ ගාම්භීර භාවය සිංහල පූජාවේද එලෙසම ගැබ්ව ඇත. එය රැකගැනීම කිතුණු අපගේ වගකීමය.

අද අප කතා කළේ අන්නාවි ධුරය හා එහි වගකීම පිළිබඳවය. ඒ පිළිබඳව ද දැන ගැනීම වටිනේය. පල්ලියක පියතුමෙකු කෙතරම් භාරදූර කටයුත්තක නියැලී සිටිනා පුද්ගලයකු දැයි මා දැන ගත්තේ අන්නාවි ධුරය ලැබීමෙන් පසුවය. උන්වහන්සේ සමග එකට බද්ධව හරි හරියට වැඩ කරන්න අවස්ථාව සැලසෙන්නේ මා හටය.

ඉතින් ඒ ළඟ ඇසුර හේතුවෙන් පියතුමාගේ තිබනෙ අවිවේකීභාවයද නිමක් නැති වැඩ කටයුතු ද පූජක තනතුරේ භාරදූරභාවයද මම හොඳින් දනිමි. ජලයේ ගැඹුර මනින්න ජලයට බැසම බලන්න ඕනෑය.

මේ නිසා ඇතැමුන් පල්ලියේ පියතුමා විවේචනය කරනවා මා අසා තිබෙනවා. එසේ නොකරන්න. උන්වහන්සේ මව්පියන්, සහෝදර සහෝදරියන්, ඥාතීන්ගෙන් ඈත්ව තනියම උතුම් දිවියක් ගත කරන්නේ අපට සේවය කිරීමටයි. මේ කරනා දේව සේවයට අප උන්වහන්සේට උදව් කර ස්තූතියද පුදකළ යුතුයි.

එසේ නම් ලබන සතියේත් අප සුපුරුදු මාතෘකාවෙන් හමුවෙමු. සැමටම ජේසු පිහිටයි.

ලයනල් පී. පෙරේරා

අන්නාවිරාළ
advertistmentadvertistment
advertistmentadvertistment